ජාතියේ විනය...!

රටක ජනතාවගේ විනය හා හැදියාව එම රටේ ඉදිරි ගමනට බලපාන ප්‍රධාන සාධකයක් ලෙස පවතී. මීට අදාළ නිර්වචන හා විග්‍රහ බුද්ධිමතුන් විසින් සිදුකර තිබේ. ඒ හැරත් ලෝකයේ දියුණු රටවල් දෙස බලනවිට බැලූ බැල්මටම දකින්නට ලැබෙන සත්‍යය වන්නේ එම රටවල ජනතාව විනයගරුක ලෙස ජීවත්වන බව ය. මෙහි දී ජනතාව යනුවෙන් අදහස් කරනුයේ දේශපාලකයන්, නිලධාරීන්, වෘත්තිකයන්, ශිෂ්‍යයන් ඇතුළු සමස්ත ප්‍රජාව බව ද කිව යුතුය. එක සමාජ කණ්ඩායමක් හැර තවත් සමාජ කණ්ඩායමක පමණක් විනය ගැන විශේෂයෙන් කතා කිරීම පලක් නැති කාරණයෙකි.

රටේ සිදුවන දෛනික සිදුවීම් දෙස බලන්න! ශිෂ්‍යයෝ සිය වාර අවසාන නිවාඩුව සැමරීම සඳහා සිහි නැති වන තුරු මත්පැන් පානය කරති. ඇතැම් දේශපාලකයෝ මැයි දිනය සමරන අතර ජනාධිපති කාර්යාලය හා අගමැති කාර්යාලය වටලන බවක් කියති. එය තර්ජනයක් ලෙස සැලැකිය හැකි ය. වෛද්‍යවරු වැඩ වර්ජනයකට අර අඳිති. ඒ රටේ උණ වසංගතයක් පැතිර යමින් තිබියදී ය. මේ අතර අලුත් ම වාර්තාවකින් කියැවෙන්නේ අමාත්‍යංශ ගණනාවක් තම වාර්ෂික මුදල් ප්‍රතිපාදන නිසි අයුරින් සංවර්ධන කටයුතුවල යොදාගෙන නැති බව ය. මේවා මෙසේ සිදුවන්නේ මන්දැ’යි සොයා බැලිය යුතුය.

විද්‍යා දදාති විනයං යන පාඨය බොහෝ පාසල්වල මහ ඉහළින් ප්‍රදර්ශනය කර තිබේ. එහි අර්ථය වන්නේ විද්‍යා - ශාස්ත්‍ර ඉගෙන ගන්නා තරමට පුද්ගලයාගේ හැදියාව හෙවත් විනය වර්ධනය වන බව ය. මෙය එලෙස ම වටහා ගතහොත් හොඳ පාසල්වල විනය ඉතා හොඳින් පැවැතිය යුතු බව ය. එහෙත් කලබැගෑනි ආරවුල් හා විනය - විරෝධී ක්‍රියා බොහොමයක් ඇත්තේ ලොකු පාසල්වලය. පෙම් පටලැවිලි මුල්කරගෙන කොළඹ ලොකු පාසල්වල ළමයි පාරවල් දිගේ යුද වදිති. බිග් - මැච් කාලයට බාලිකා පාසල්වලට පැන යකා නටති. මේ හැරෙන්නට එක ම පාසලේ දරුවෝ ද පන්තිවලට බෙදී ගහ ගනිති. පාසල්වල විනය අන්තයට ම පිරිහී ඇත.

පාසල් ශිෂ්‍යයන්ගේ විනය පිරිහීම ගැන මීට වැඩි අවධානයක් යොමු කළ යුතුය. කලකට පෙර පාසලක විනය සම්බන්ධයෙන් මුළු වගකීම දැරුවේ එම පාසලේ විදුහල්පතිවරයා ය. සෑම විදුහල්පතිවරයකුම තම පාසලේ විනය පවත්වා ගැනීම සඳහා විශේෂ පරිශ්‍රමයක් දරා ඇති බව අප පිළිගත යුතුය. එහෙත් එදා පැවැති තත්ත්වය අද නැත. ඇතැම් විදුහල්පතිවරුන් ශිෂ්‍යයන්ගේ දාමරික ක්‍රියාවලට අනුබල දෙන අවස්ථා ද අප දැක තිබේ. උඹලා අසවල් ඉස්කෝලෙට පරාද වෙන්න එපා! මොන අතකින්වත් පරාද වෙන්න එපා! යැයි උපදෙස් දෙන විදුහල්පතිවරු සිටිති. ගැහුවොත් ගහපල්ලා වැනි අදහසක් එහි ඇත.

පාර්ලිමේන්තුව රටේ උත්තරීතර ආයතනය ලෙස ද ආදර්ශවත් ස්ථානය ලෙස ද සලකනු ලැබේ. රටේ ආර්ථිකය, නීති - සම්පාදනය ආදී විෂයයන් පිළිබඳ උගෙනීමට පාසල් ශිෂ්‍යයෝ එහි ගියහ. එහෙත් අද එහි ඉගෙනීමට ඇත්තේ කුමක් ද? නූතන පාර්ලිමේන්තුව එක අතෙකින් ගාලගෝට්ටියකි. තව අතෙකින් උද්ඝෝෂණ පවත්වන තැනකි. තවත් අතෙකින් කුණුහරප කියන තැනකි. මේ අයුරින් කෙනකු තර්ක කළහොත් එය පිළිගැනීමට අපට සිදු වේ. සමහර විදුහල්පතිවරු ස්වකීය ශිෂ්‍ය ප්‍රජාවට පාර්ලිමේන්තුව පෙන්වීම ප්‍රතික්ෂේප කරති. විශේෂයෙන් එහි වාද - විවාද පෙන්වීම මඟ හරිති. සිදු වී ඇති විපර්යාසය මෙබඳු සිදුවීම්වලින් හොඳහැටි පැහැදිලි වෙයි.

වෛද්‍ය වෘත්තිය සෑම රටකම පාහේ උසස් වෘත්තියක් ලෙස සලක යි. බොහෝ විට ගුරුවරුන්ට ද මේ සැලකීම හා ගෞරවය පවතී. එහෙත් අද වන විට මේ දෙපාර්ශ්වයම දැඩි විවේචනයට ලක් වී ඇත. බොහෝ රටවල වෛද්‍යවරුන් වැඩ වර්ජන සිදු කරන්නේ නැත. එය සදාචාර විරෝධී ක්‍රියාවක් ලෙස සලකනු ලැබේ. එහෙත් අපේ රටේ වෛද්‍යවරු ප්‍රමාණවත් හේතු - සාධක නැතිව ද වැඩ වර්ජන කරති. ඔවුන් දේශපාලන ව්‍යාපාරවල අරමුණු මුදුන් පමුණුවා ගැනීම සඳහා ක්‍රියා කරන බවක් ද පෙනෙන්නට තිබේ. ගුරුවරුන්ට තිබිය යුත්තේ ආදර්ශවත් චරිතයකි. එහෙත් අපේ රටේ ඇතැම් ගුරුවරු පාසලේ දී ම මත්පැන් පානය කරති. ඉතින් දරුවන් හදාගන්නේ කෙසේ ද?

රටේ බොහෝ ක්ෂේත්‍රවල විනය පිරිහී ඇතැ’යි කියන්නට පුළුවන. ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ දී පවා එය හොඳින් පෙනී යයි. සමාජයට වැදගත් දේ මෙන් ම නොවැදගත් දේවල් ද ජනමාධ්‍ය විසින් වාර්තා කරනු ලැබේ. කිව යුත්ත කුමක් ද? නොකිව යුත්ත කුමක් ද? එබඳු තෝරා ගැනීමක් දකින්නට නැත. ඇතැම් වාර්තාකරණයක් නිසා සමාජය වරදට පෙළඹෙන්නට පුළුවන. තවත් වාර්තාකරණයක් නිසා චරිත ඝාතන සිදුවන්නට පුළුවන. ගැටුම් ඇති වන්නටත් පුළුවන. ජනමාධ්‍ය මුළුමනින් ම පාහේ ඕපාදූප විකිණීමට හුරු වී ඇතැ’යි කියන්නට පුළුවන. ආසියාවේ ඇතැම් ජනමාධ්‍ය ආයතන වසා දමන්නට සිදුවූයේ සදාචාර විරෝධී ලෙස ක්‍රියා කිරීම නිසා ය.

බැලූ බැල්මට නම්; ජාතියේ විනය පිරිහීමට හේතුවක් නැත. හැම හන්දියක් ගණනේ ම පින්කම් පැවැත්වෙයි. උදේට - රෑට - දවල්ට පිරිත් හා ධර්ම දේශනා අසන්නට ලැබේ. ජනමාධ්‍යවල ද විශේෂ ඉඩක් ධර්ම සාකච්ඡාවලට ලැබෙයි. එහෙත් ජනතාව නිවැරැදි තැනක පිහිටා තිබේ ද? එක අතෙකින් මතට ලොල් සමාජය ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙයි. තව අතෙකින් අපරාධ වර්ධනය වෙයි. සමාජය පුරා නොසන්සුන්තාව පැතිර ඇතැ’යි ද කියන්නට පුළුවන. මීට හේතුව කුමක් ද? දේශපාලනය ද? උග්‍ර තරගය ද? ඇබ්බැහිවීම ද? නැතහොත් කුමක් ද? මේවා පිළිබඳ පුළුල් කතිකාවක් ඇති කළ යුතු කාලය පැමිණ තිබේ.

මහ පාරට ගිය විට ද දකින්නට ලැබෙන්නේ මරාගෙන මැරෙන තරගයකි. රියදුරන් මාර්ග නීති සලකන්නේ නැත. පදිකයන්ගේ හා මගීන්ගේ ජීවිත ගැන සලකන්නේ ද නැත. මේ නිසා ම ශ්‍රී ලංකාව රිය අනතුරු අධික රටක් ලෙස සැලකේ. ඇතැම්විට තමන්ගේම ජීවිතය තුට්ටුවකට නොසලකා රිය ධාවනයෙහි යෙදෙන රියදුරන් ඇත්තේ ශ්‍රී ලංකාවේ ය. නීතිය හා විනය යන කරුණු දෙකම අපට වැදගත් ය. එක අතෙකින් නීතිගරුක සමාජයක් බිහි කළ යුතුය. තව අතෙකින් සදාචාරවත් සමාජයක් බිහි කළ යුතුය. මෙහි නායකත්වය ගත යුත්තෝ කවරහුද? අපගේ පිළිගැනීමට හා අවබෝධයට අනුව සමස්ත සමාජය ම මෙහි නායකත්වය ගත යුතු ය. 


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 6 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.

Or log in with...