ප්‍රතිපාදන නැත!

 දුප්පත් ම රටවල ආර්ථිකය මන්දනයකට හෙවත් එක තැන පල්වීමකට ලක් වී ඇතැ’යි කියති. මීට බලපාන ප්‍රධාන හේතුවක් වන්නේ අකාර්යක්ෂමභාවය යි. මේ අකාර්යක්ෂමභාවය විශේෂයෙන් ප්‍රකට වන්නේ රාජ්‍ය අංශය තුළ ය. දුප්පත් රටවල් බොහොමයක ජාතික ආර්ථිකයේ ප්‍රධාන තැන රාජ්‍ය අංශයට හිමි වන අතර එහි ඒකාධිකාරයක් දකින්නට ලැබේ. ලාභ ලැබීම හෝ නිෂ්පාදනය ඉහළ නැංවීම හෝ රාජ්‍ය අංශයට හුරු නැත. ඇතැම් නායකයන් රාජ්‍ය අංශයේ ආයතන, පෞද්ගලික අංශයට විකුණා දමන්නේ ද ඇතැම් විට එහි කළමනාකාරීත්වය පෞද්ගලික අංශයට පවරනු ලබන්නේ ද ඒවා දිගින් - දිගට ම අසාර්ථක වන බැවින් ය.

මැලේසියාව ගොඩනැඟූ මහතීර් මොහොමඩ් එරටේ රාජ්‍ය අංශය ශක්තිමත් කිරීම සඳහා ප්‍රතිසංස්කරණ ගණනාවක් හඳුන්වා දුන්නේ ය. ඇතැම් විට අසාර්ථක නිලධාරීන් අස්කළේ ය. අසාර්ථක ඇමැතිවරුන් මාරු කළේය. සෑම ආයතනයක් කෙරෙහි ම පෞද්ගලිකව සොයා බැලූ මහතීර් මොහොඩම් අවසානයේ ලෝකයේ හොඳ ම රාජ්‍ය අංශය තම රටේ ස්ථාපිත කළේ ය. රාජ්‍ය අංශයේ සාර්ථකත්වය හා කාර්යක්ෂමතාව මනාව දැක්වීමට උපුටා ගනු ලබන නිදර්ශකයක් ලෙස මැලේසියාවේ රාජ්‍ය අංශය හැඳින්විය හැකි ය. අපේ රටේ වසර දහයකින් නිමාකරන ව්‍යාපෘතියක් මැලේසියාව වසර දෙකකින්වත් නිමාකරනු ඇත.

ඉහත පූර්විකාව ලියා තැබූයේ අපේ රාජ්‍ය අංශය පිළිබඳ පුංචි සංවාදයක් ගොඩනැඟීමට අවශ්‍ය පසුබිමක් හැටියට ය. අගමැතිතුමා අපේ අමාත්‍යාංශවල කාර්යක්ෂමතාව හා සාර්ථකත්වය පිළිබඳ පසුවිපරම් වාර්තාවක් කැබිනට් සාකච්ඡාවේදී ඉදිරිපත් කර තිබේ. එම වාර්තාවේ තොරතුරු දෙස බලන විට පෙනී යන්නේ කිසිදු අමාත්‍යාංශයක් සිය ඉලක්ක පරිපූරණය කර නැති බව ය. අමාත්‍යාංශ ගණනාවක් ම 2016 වසර සඳහා ලබා දුන් ප්‍රතිපාදනවලින් නිසි ඵල නෙළාගෙන නැත. ඇතැම් අමාත්‍යාංශ ප්‍රතිපාදනවලින් අඩක් ම වියදම් කර නැත. එහි අර්ථය වන්නේ ඉලක්කගත වැඩ කොටස ඉටුකර නැති බව ය.

ප්‍රවාහන, සෞඛ්‍ය, බලශක්ති හා වාරිමාර්ග යන අමාත්‍යාංශ මේ දුර්වලතාව අතින් ප්‍රමුඛතාව ගන්නා අතර තවත් අමාත්‍යාංශ ගණනාවක් ද ඉලක්ක ගත වැඩ කොටස් ඉටුකර නැතැ’යි වාර්තාව සඳහන් කරයි. පළමුව කිව යුත්තේ මෙබඳු පසුවිපරමක් සිදු කිරීම මෙන් ම එය සාකච්ඡාවට ගැනීම ද ඉතා වැදගත් බව ය. ඇතැම් අමාත්‍යාංශ වෙතින් ඉටුවන්නේ ආයතනවල ගොඩනැගිලි හා දේපොළ පවත්වා ගැනීමත් සේවක මණ්ඩලවල පඩි ගෙවීමත් පමණකැ’යි කියන්නට පුළුවන. මහජන මුදලින් පවත්වාගෙන යනු ලබන රාජ්‍ය - ආයතන පෙරළා මහජන සේවාවක හෝ නිෂ්පාදනයක හෝ යෙදිය යුතුය. නැතහොත් ‍එම ආයතන ජාතික ආර්ථිකයට බරක් සේ පවතිනු ඇත.

මේ වාර්තාව තවත් වැදගත් තොරතුරක් හෙළිකර තිබේ. එනම්; අමාත්‍යාංශයක් සඳහා අයවැය ලේඛනය මඟින් ලබාදෙන රුපියල් බිලියන දහයක මුදල ද ඇතැම් අමාත්‍යාංශ නිසි ලෙස පරිහරණය කර නැති බව ය. අමාත්‍යාංශ දහසයක් බිලියන දහයක මුදලින් අඩක් ම, එනම්; සියයට පනහක් ම ප්‍රයෝජනයට ගෙන නැත. බොහෝ ආයතන මහජන සේවා හරිහැටි ඉටුකරන්නේ නැත. මේ ගැන විමසන විට ලැබෙන පිළිතුර වන්නේ ප්‍රතිපාදන අවසන්, මුදල් නෑ, ඊළඟ අවුරුද්දේ බලමු! වැනි වාක්‍ය ඛණ්ඩයන් ය. වී වගාව රටේ ප්‍රධාන ආහාර භෝගය වුව රටේ බොහොමයක් වාරිමාර්ග අබලන් ය. ඇතැම් රෝහල්වල බෙහෙත් නැත. තවත් රෝහල්වල දොස්තරලා නැත.

මහනුවර පළාතේ පාසලක වහලය කඩා වැටී සිසුන් විසි ගණනක් රෝහල් ගතකොට වැඩි කාලයක් ගෙවී ගියේ නැත. මේ ගැන විමර්ශනය කරන විට පෙනී ගොස් ඇත්තේ අබලන් වහලය ගැන අධ්‍යාපන කන්තෝරුවට කිහිප වරක් දැනුම් දී ඇති බව ය. ඒ පමණක් නො ව; ප්‍රාදේශීය දේශපාලකයන් කිහිපදෙනකුට ද මේ තත්ත්වය දැනුම් දී තිබුණු බව හෙළිදරව් වී ඇත. අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ පිළිතුර ප්‍රතිපාදන නැත යන්න විය හැකි ය. එහෙත් පළාත් සභාවේ අධ්‍යාපනයට වෙන්කළ මුදලින් සැලැකිය යුතු අනුපාතයක් ආපසු භාණ්ඩාගාරය වෙත යවා ඇති බව ද ජනමාධ්‍ය වාර්තා කර තිබිණි. එක අතෙකින් ප්‍රතිපාදන නැතැ’යි කියති. තව අතෙකින් වෙන්කළ ප්‍රතිපාදනවලින් කොටසක් ආපසු භාණ්ඩාගාරයට යවති.

දේශපාලකයන් සම්බන්ධයෙන් ද රජයේ ඉහළ ම නිලධාරීන් සම්බන්ධයෙන් ද බරපතළ විවේචනයක් රට තුළ පවතී, සමහර අමාත්‍යාංශ සම්බන්ධයෙන් ද එබඳු විවේචන පවතී. ඇතැම් දේශපාලකයන් කටින් බතල සිටුවමින් කයිවාරුවලට ම සීමා වී ඇති බවට ද විවේචනයක් පවතී. මහජනයාට හමුවිය නොහැකි දේශපාලකයෝ ද සිටිති. අමාත්‍යාංශවල වැඩ නිරීක්ෂණය කරන්නේ නැති ඇමැතිවරු ද සිටිති. එබඳු අමාත්‍යාංශවල වැඩ කටයුතු සිදු වෙන්නේ නිලධාරීන්ගේ අභිමතය පරිදි ය. තවත් අමාත්‍යාංශවලට ඉදිරි වැඩසටහන් නැත. ඉලක්ක නැත. ඉලක්ක සපුරාගත හැකි උපාය මාර්ග ද නැත. ඉතින් රටක් ඉදිරියට යන්නේ කෙසේ ද? සංවර්ධන අපේක්ෂා ජයගන්නේ කෙසේ ද?

රටේ අනාගත ආර්ථික වෘද්ධිය, රැකියා සම්පාදනය හා අපනයන සංවර්ධනය ගැන බරසාර සාකච්ඡා පැවැත්වෙයි. මේවා වැඩිදියුණු කළ හැකි උපාය මාර්ග ගැන යෝජනා ඉදිරිපත් වෙයි. පාර්ලිමේන්තුව තුළ ඊට අදාළ විවාද පැවැත්වෙයි. රට විශාල ණය කන්දරාවකට යට වී ඇතැ’යි ද කියති. මේ අතර අයවැයෙන් වෙන්කරන ප්‍රතිපාදන නැවත භාණ්ඩාගාරයට ම එයි. මේවා මෙසේ සිදුවන්නේ ඇයි? එය දේශපාලනයේ වරදක් ද? රාජ්‍ය අංශයේ වරදක් ද? නිලධාරීන්ගේ වරදක් ද? අමාත්‍යාංශ තිස් අටක් 2016 වසරේ දී අසාර්ථක වී ඇත. යම් සාර්ථකත්වයක් පෙන්නුම් කර ඇත්තේ අමාත්‍යාංශ දහයක් පමණි. එම අමාත්‍යාංශ ද වියදම් කර ඇත්තේ සිය ප්‍රතිපාදනවලින් 80% ක් පමණි. මේ අනුව ප්‍රතිපාදන නැතැ’යි කීම ප්‍රයෝගයක් නො වන්නේ ද?

අපට නිවැරැදි හා සාර්ථක සැලැසුම් නැත. ඒවා ක්‍රියාත්මක කළ හැකි දක්ෂ නිලධාරීන් ද නැත. මෙය එක අතෙකින් නැ‍ඟෙන තර්කයකි. ජනතාවගේ පැත්තෙන් වුව මේ ගැන සොයා බැලීමක් සිදුවන්නේ නැත. අලුත් ම ප්‍රවෘත්තියකින් කියැවෙන්නේ කොළඹට ලබා දෙන ජලයෙන් 45% ක් අපතේ යන බව ය. ඉතින් අප ඉදිරියට යන්නේ කෙසේ ද?


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.

Or log in with...