වැලන්ටයින්දා තම පෙම්වතා මැරූ අපූරු පෙම්වතිය

හැටතුන් හැවිරිදි වෝල්ටර් මැක් ක්ලාක් වැලන්ටයින් දා සිටියේ ඔහුගේ දික්කසාද වූ බිරිඳ සහ දරු මුනුුබුරන් සමඟ ය.

 

 

රාත්‍රියේ රාත්‍රි ආහාර වේල සඳහා පිළියෙල කර තිබුණේ සැමන් මාළු කරිය සමඟ බත් වේලකි. වෝල්ටර් තම දික්කසාද බිරිඳ සමඟ නටමින් ගයමින් සතුටින් සිටි අතර ඔවුන් දෙදෙනාගේ නැටුම ඔවුන්ගේ දියණියක් විසින් වීඩියෝ ගත කරනු ලැබුවාය. මුනුබුරා සහ මිනිපිරිය ද මෙම නැටුමට සහාය දුන්හ. දික්කසාද බිරිය හා දරුවන් සමඟ ඉතාම සතුටින් කාලය ගත කළ වෝල්ටර් ඔවුන්ගෙන් සමුගෙන වොෂිංටන් නගරයේ නොක්ස් හිල් ප්‍රදේශයේ පිහිටි සිය තට්ටු නිවාසය වෙත ගියේ

 

 

 

හොඳටම රෑ බෝ වීමෙන් පසුවය. ඔහුගේ බිරිඳත් දරුවනුත් වෝල්ටර් දුටු අන්තිම අවස්ථාව එය විය. එදා පටන් වෝලටර් ආගිය අතක් නැති විය. මෙම අබිරහස් අතුරුදන් වීම කා තුළත් විමතියක් ඇති කළහ. සෞඛ්‍ය තත්ත්වය පරීක්ෂා කිරිම සඳහා සෞඛ්‍ය පරීක්ෂක කාන්තාවක් මේ නිවෙසට නිතරම ආවා ගියාය. ක්ලාක්ගේ හදිසි අතුරුදන් වීම

 

ඇයට ද ගැටළුවක් විය. ක්ලාක් හමුවීමට නිතර නිතර මහළු කාන්තාවක් පැමිණි බවත් අවසන් වරට තමා වෝල්ටර් දුටුවේ එම වයසක කාන්තාව සමඟ කෑම කමින් සිටිය දී බවත් ඔහුගේ අතුරුදන් වීම ගැන විමසු නෑහිතවතුනට ඇය පැවසුවාය.

වෝලටර් ක්ලාක්ගේ අතුරුදන් වීම සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත් වූ පොලිස් නිලධාරීන් ඊළඟට ගියේ වොෂිංටනයේ කාවර් ලාන්ස්ටන් හි පිහිටි තට්ටු නිවාසයේ පදිංචි එම වයෝවෘද්ධ කත සොයාගෙනය. ඇගේ නිවෙස සෝදිසි කළ පොලිස් නිලධාරින් දුටුවේ ක්ලාක් නිරුවතින් වකුටු වී නිවසේ ගබඩා කාමරයේ වැතිර සිටින අයුරුය. සිහිය නොමැතිව සිටි ඔහු හාවඩ් විශ්ව විද්‍යාලයීය රෝහලට ගෙන ගියද ඒ වන විටත් ක්ලාක් මරුමුවට පත් ව සිටියේය.

තැලී පොඩි වී තිබු වෝලටර් ක්ලාක්ගේ සිරුර පරීක්ෂා කළ පොලිස් නිලධාරීන් ක්ලාක්ගේ මරණය දැඩි ලෙස පහරදීමක් නිසා සිදු වී ඇති බව සලකා 76 හැවිරිදි තෝමාසින් බෙනට් නමැති නිවාස හිමි කාන්තාව ප්‍රශ්න කිරීම සඳහා අත්අඩංගුවට ගත්තේය.

ක්ලාක් හා තමා අතර තිබු ආදර කතාව මිනීමැරුමකින් අවසන් වූ අන්දම ඇය පොලීසිය ඉදිරියේ පාපොච්චරණය කළාය.

ක්ලාක් විශ්‍රාම ගිය කෝකියකු වූ අතර වසර 23ක විවාහයකින් පසු දික්කසාද වූ අයෙකු විය. ක්ලාක් තමාට හමු වුයේ තමා ජීවත් වු මහළු මඩමේදී බව පැවසු ඇය එහිදී ඇති වූ මිතුරුකම පසුව ආදරයකට හැරුණු බව ද පැවසුවාය. වැලන්ටයින් දිනයේදී ඔහු තමා සමඟ විවාහ වීමට පොරොන්දුව සිටි බවද ඇය වැඩිදුරටත් පොලිසිය හමුවේ කියා සිටියා ය. වැලන්ටයින් දිනයට දින දෙකකට පෙර ඔහු තමාට මර්ජුවානා මිශ්‍ර “ලව් බෝට්” නමැති මත්ද්‍රව්‍යයක් පානය කිරීමට සැලස්වු බවත් ඇය පොලිසිය හමුවේ කියා සිටියාය. කෙසේ වෙතත් ඔහු සිය දික්කසාද බිරිඳ යළි යළිත් ඇසුරු කරන බව තමන්ට දැන ගැනීමට ලැබුණු පසු ඔහු පිළිබඳව පැවති ආදරය ක්‍රමයෙන් තුරන් වූ බවත් පසුව ඔහු සමඟ රණ්ඩු සරුවල් ඇති වූ බව ද ඇය කියා සිටියාය.

මේ අතර ඇයගේ නිවසට යාබද නිවසක විසූ සාක්කිකරුවකු ගෙන් ද මොවුන් දෙදෙනා අතර පැවති කෝලහාලය ගැටුම් දක්වා වැඩි වූ අයුරු ද පොලිසියට දැනගත හැකි විය. නම සඳහන් නොකරන ලද මෙම සාක්කිකරුවා පවසන අන්දමට එදින තෝමාසින් මහ හඬින් ක්ලාක්ට බැන වැදුණු ආකාරයත් එසේම ඔහුට පහර දුන් ආකාරයත් පොලිසියට හෙළි කර ගත හැකි විය. එහෙත් ක්ලාක්ට පහරදීමට තෝමාසින් පෙළඹුණේ ඇයි ද යන්න හරි හැටි තමා නොදන්නා බවද සාක්කිකරු වැඩිදුරටත් පොලිසියට ප්‍රකාශ කර සිටියේය.

මෙහිදී පොලිසිය හමුවේ සැකකාර තෝමාසින් මෙසේ සඳහන් කරන්නට වුවාය.

“මුලින් මම එයාට ආදරේ කළා. ඒත් එයාගේ වෙනත් සබඳතා නිසා මගේ හිතේ කළකිරිමක් වගේම කෝපයකුත් ඇතිවෙලයි තිබුණේ. මට හිතුණා එයාට ආදරේ කළා ඇතියි කියලා. ඒ නිසා මම දවස් දෙකක් තිස්සේ මේ බේස්බොල් පිත්තෙන් එයාට පහර දුන්නා.”

තෝමාසින් තමන් කළ වරද පිළිගනිමින් ප්‍රකාශ කරන්නට වුවාය.මේ අතර තෝමාසින් හා ක්ලාක් අතර ආදර සබඳතාවයක් තිබුණේ යැයි තමන් විශ්වාස නොකරන බවත් තෝමාසින්ගේ අරමුණ වුයේ මෑතකදී ක්ලාක්ට ලැබුණු අති විශාල රක්ෂණ මුදල ලබාගැනීම විය හැකි බවද ක්ලාක්ගේ දික්කසාද බිරිය පොලිසිය හමුවේ ප්‍රකාශයක් දෙමින් කියන්නට වුවාය.

මෙම සියලු කරුණු හා සාක්ෂි සලකා බැලු පොලිසිය ක්ලාක්ගේ මරණය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් 76 හැවිරිදි තෝමාසින් බේනට් අධිකරණය වෙත පමුණුවනු ලැබීය. අනතුරුව ඇය රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණ. වැලන්ටයින් දිනයේ සිදුකරනු ලැබු මෙම අපරාධය “ආදරයේ ආදීනව“ කියාපාන කදිම උදාහරණයක් ලෙසටද හැඳින්වීම සුදුසු වේ.


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 11 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.

Or log in with...