රැල්ලට හසු නොවී හොඳ ගීත ගයනවා - හිරුෂි ජයසේන | දිනමිණ

රැල්ලට හසු නොවී හොඳ ගීත ගයනවා - හිරුෂි ජයසේන

හිරුෂි ජයසේන යොවුන් ගායන ශිල්පිණියකි. ඇය මෙරට ජනප්‍රිය වෛද්‍යවරයකුගේ දියණියකි. වෛද්‍ය රනිල් ජයසේන හිරුෂිගේ පියාය. ඔහු වඩාත් ප්‍රකට වනුයේ වෛද්‍ය වෘත්තියටත් වඩා කලාකරුවකු ලෙසටය. මිල්ටන් මල්ලවාරච්චි සහ චන්ද්‍රලේඛා ගැයූ ජනප්‍රිය ගීතයක් වන සත්කුළු පව්ව වගේ රචනා කරන ලද්දේ දොස්තර රනිල් විසිනි. එමෙන්ම ඔහු ගායකයකු වශයෙන් ද රූපවාහිනි වැඩසටහන් ඔස්සේ අපට හමු විය. හිරුෂි පියා මෙන්ම කලාවට ඇඟෑලුම් පාන අයෙකි. ඇය මේ වන විට චිත්‍රපට පසුබිම් ගායනට ද යොමුව තිබේ. ඒ මායා සිනමාපටය හරහායි. හිරුෂි වත්මනහි පදිංචිව සිටින්නේ අමෙරිකාවෙහිය. ඒ තම අධ්‍යාපන කටයුතු හේතුවෙනි. ඇගේ කලා ජීවිතය වෙනුවෙන් මෙලෙස සරසවියේ පිටුවක් වෙන් කළෙමු.

* හිරුෂි, විදේශයක ගත කරන ජීවිතය කොහොමද ඔබට දැනෙන්නේ?

පළමුව කියන්න ඕනෑ මට මෙහෙ ලංකාව වගේ දැනෙන්නේ නැහැ කියන කාරණය. මගේ සියලු හිතවත් අය ඉන්නේ ලංකාවේ. එහෙත් වැඩිපුරම අධ්‍යාපනයට හිත යොමු කරලා තියෙන නිසා වෙනස තදින් දැන්නේ නැහැ. ඇමරිකාවේ ෆ්ලොරිඩා ප්‍රාන්තයේ තමයි මං දැනට ජීවත් වෙන්නේ. ගොඩක් වෙලාවට ලංකාව මතක් වෙනවා.

* මොන අංශයෙන් ද ඔබ අධ්‍යාපනය හදාරන්නේ?

ජීව විද්‍යා අංශයෙන්. ලබන සතිය වෙනකොට මං උපාධිධරිනියක්.

* අමෙරිකාවේ ඉන්නකොට කලා කටයුතු තරමක් අතපසු වෙනවා නේද?

මෙහෙදි කලා කටයුතුවලට යොමු වුණේ නැති තරම්. නමුත් කලා කටයුතු වෙනුවෙන්ම මං ලංකාවට ආවා. ඒවා නිම කළ සැණින් යළිත් විදෙස් ගත වුණා.

* ඔබ පසුබිම් ගි ගැයූ මායා චිත්‍රපටය ඉතාමත් ජනප්‍රිය වුණා?

ඔව්. මං ඒකේ ගැයුවේ හීනෙන් ඇවිදින්න ආවාදෝ මේ සංසාරේ කියන ගීතය. මාත් එක්ක සුරේන්ද්‍ර පෙරේරා එයට හඬ මුසු කළා. ඒ සින්දුව තරුණ පරම්පරාව අතර ජනප්‍රිය වුණා. මේක මගේ පළමු චිත්‍රපට ගීතයනෙ. ඒත් මං හිතුවට වඩා එය ප්‍රේක්ෂකයන් අතරට ගියා.

* එම ගීය ගැයීමට ඔබට කොහොමද ඔබට අවස්ථාව හිමිවන්නේ?

රූපවාහිනි වැඩ සටහනකට මං ගීතයක් ගයනවා දැකලා පුබුදු චතුරංග අයියා තමයි මාව මායා සඳහා අවස්ථාව ලබා දෙන්නේ. මේ වෙලාවේ ඔහුට තුති පුදන්නත් මං අවස්්ථාවක් කරගන්නවා.

* මායා සිනමාපටයෙන් පසුව ඔබට තවත් චිත්‍රපට සඳහා පසුබිම් ගීත ගයන්න ආරාධනා ලැබුණාද?

කිහියකටම ලැබුණා. නමුත් අධ්‍යාපන වැඩ කටයුතු නිසා ඒවා මගහැරුණා. ගායනය සඳහාම නෙවෙයි මට ආරාධනා ලැබුණේ.

* එහෙනම්?

ඒ ලද ආරධනා අතර වැඩිපුරම තිබුණේ රංගනය සඳහා ආරාධනා. ඒකයි වැඩි වශයෙන්ම ඒ අවස්ථා මඟහැරුණේ. රඟපාන්න ගියාම කාලයක් ඒ සඳහා යොමුවෙන්න ඕනෑ. නමුත් ගීතයක් ගයන්න එහෙම නැහැ.

* ඔබ පොඩි කාලේ ටෙලි නාට්‍ය කිහිපයකම රඟපෑවා නේද?

ඔව්. එතකොට මං ගොඩක් පුංචියි.

* ඔබේ පියා කැමැති ඔබ ගීත ගායනවටද රංගනයේ යෙදෙනවාටද?

තාත්තාගෙන් මට කිසිම බලපෑමක් නැහැ. ඔහු කැමැතියි කලාවට ඇති මගේ දක්ෂතා තේරුම් අරන් ඒ ඔස්සේ ගමනක් යනවට. ඔහු මට කවදාවත් තහංචි පනවලා නැහැ. අම්මත් එහෙමයි.

* හිරුෂි කොයි කාලෙද මුලින්ම ගීතයක් ගයන්නේ?

මට මතක විදිහට මට එතකොට අවුරුදු හයක් විතර ඇති. පොකුරු පොකුරු කියලා ගීතයක් තමයි මුලින්ම පටිගත කළේ. එය සමන් චන්ද්‍රනාත් වීරසිංහ මහත්මයා ලිව්වේ. සංගීතවත් කළේ එච්. එම්. ජයවර්ධන මහත්මයා. ඊට පසුව ළමා ගී ගොඩක් ගැයුවා.

* ඒ අතරින් වඩාත් ජනප්‍රිය වුණේ?

දුර ඈත රටක ඉසුරු සොය කියන ගීතය. තාත්තා තමයි ඒක ලීවේ. සංගීතවත් කළේ ප්‍රියන්ත නාවලගේ.

* පියාගෙන් ඔබට ඔබගේ කලා කටයුතු සඳහා මොන වගේ සහායක් ද ලැබෙන්නේ?

පියාට මේ ක්ෂේත්‍ර්යේ සෑහෙන පිරිසක් සමඟ සබඳකම් තියෙනවා. ඒ ඔස්සේ මට ඔහු අවස්ථාවන් ලබලා දීලා තියෙනවා. මගේ අම්මවත් මේ වෙලාවේ මතක් කරන්න ඕනෑ. ඇයත් ගායනයෙහි යෙදෙනවා. මමත් අම්මත් ගීත කිහිපයක් ගැයුවා. ඇයගෙනුත් මට ලොකු සහායක් ලැබෙනවා.

* ගායනයට සහ රංගනයට අමතරව ඔබ සතුව ඇති වෙනත් කලා හැකියාවන් මොනවාද?

මට හොඳට වයලින් ප්ලේ කරන්න පුළුවන්. පියාමෝවත් පුළුවන්.

* පුංචි තිරයේ නිර්මාණයක් සඳහා ගායනයට ඔබටබ තවමත් ආරාධනා ලැබණේ නැතිද?

මං සරණ සමනලි කියලා නාට්‍යයක තේමා ගීතය ගැයුවා. එහෙත් තවමත් එය විකාශය වූයේ නැහැ. ඉදිරියේදී බලාපොරොත්තුවෙන් ඉන්නවා පුංචි තිරය වෙනුවෙන් ගයන්න.

* වර්තමානයේ පවතින ගීත රැල්ලට ගීයක් ගයන්න අදහසක් නැතිද?

ඒ රැල්ලටම නෙවෙයි, නමුත් වර්තමානයේ පවතින ඉල්ලුමට සරිලන ගීතයක් ගයන්න අපේක්ෂාවෙන් ඉන්නවා. ඒ වගේම ඒ සඳහා මියුසික් වීඩියෝවකුත් කරනවා.

 

නව අදහස දක්වන්න