උණට බයද?

උණ රෝගය මුළු මහත් ශ්‍රී ලංකාවටම බලවත් තර්ජනයක් වී තිබේ. දැනට පවතින තත්ත්වය විග්‍රහ කළහොත් උණ වර්ග තුනක් රට පුරා ශීඝ්‍රයෙන් පැතිරයමින් පවතී. එක ඩෙංගු උණ ය. දෙක ඉන්ෆ්ලුවන්සා උණ ය. තුන වෛරස් උණ ය. මේ හැරෙන්නට කුරුලු උණක් ගැන සැකයක් ද පැතිරයමින් පවතී. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සියලු පීඨ වසා දමා අධ්‍යාපන කටයුතු නැවැත්වීමට පාලන අධිකාරිය තීරණය කර තිබේ. රුහුණු විශ්වවිද්‍යාලයේ පීඨ කිහිපයක් ද උණ රෝගය නිසා වසා දමා ඇත. මේ වනවිට දින කිහිපයක කාල පරාසය තුළ දාහත් දෙනකු උණ රෝගයෙන් මිය ගොස් ඇත.

යුරෝපයේ, ලතින් අමෙරිකාවේ හා අප්‍රිකාවේ උණ රෝගය නිසා දහස් ගණන් මිය යන ආකාරය අපි දැක ඇත්තෙමු. එම රටවල වසංගත රෝග ඉතා ශීඝ්‍රයෙන් පැතිර යයි. නූගත්කම හා සෞඛ්‍ය ප්‍රතිපත්ති අනුගමනය නොකිරීම ඊට බලපාන ප්‍රධාන සාධකයක් ලෙස පවතී. ඒ කුමක් වුව ශ්‍රී ලංකාවේ එබඳු තත්ත්වයක් වාර්තා වී තිබුණේ 1930 ගණන්වලය. ඒ මැලේරියා උණ පැතිරයෑම නිසා සිදුවූ විනාශය යි. මැලේරියා උවදුරට ශ්‍රී ලංකාව ඉතා සාර්ථක අන්දමින් මුහුණ දුන් බව ලෝක සෞඛ්‍ය සංවිධාන ප්‍රකාශ කර තිබේ.

අද ඇත්තේ මැලේරියා වසංගතයක් නොවේ. මැලේරියා වසංගතය මුළුමනින්ම බැහැර කළ රටක් ලෙස ද ශ්‍රී ලංකාව හඳුන්වනු ලැබේ. කුමක් වුව අලුත් තත්ත්වය අපට බලවත් අභියෝගයකි. එකවර උණ රෝග තුනකට හෝ හතරකට හෝ අපට මුහුණදීමට සිදු වී ඇත. ඩෙංගු වැනි රෝග පතුරුවන්නේ මදුරුවෙකි. මදුරුවා විනාශ කළහොත් ඩෙංගු රෝගයෙන් මුළුමනින්ම වැළැකිය හැකිය. එහෙත් මදුරුවන් මර්දනය කළ හැකි සාර්ථක ක්‍රමයක් තව ම අප අත්හදා බලා නැත. දූමායනය ඒ සඳහා ඇති සාර්ථක ක්‍රමයක් ලෙස නොසැලකේ.

ඩෙංගු උණ මර්දනය කිරීමේ පළමු සාධකය ලෙස සැලැකිය හැක්කේ ගෙවත්ත හා පරිසරය ඉතා පිරිසුදුව මදුරු මර්දනයෙන් යුතුව පවත්වා ගැනීම ය. එහෙත් ‍ඩෙංගු විමර්ශන කණ්ඩායම්වලට නගරයෙහි මෙන් ම ගමෙහි ද ඩෙංගු තවාන් හමු වී ඇත. මෙයින් පෙනී යන්නේ ඩෙංගු මර්දනයට අදාළ මූලික සැලැසුම් පවා ඇතැමුන් ක්‍රියාත්මක නොකරන බව ය. එය හොඳ දෙයක් නොවේ. අමතක නොකළ යුතු කාරණය වන්නේ විශේෂඥ වෛද්‍යවරුන් පවා ඩෙංගු රෝගයෙන් මිය යන බව ය.

වසංගත රෝග වැළැක්වීම සඳහා ක්‍රියාත්මක වන වැඩසටහන් රාශියක් ක්‍රියාත්මක වී තිබේ. ඒ අතර විශේෂ තුනක් ඩෙංගු මර්දනයට ද යොදවා තිබේ. ඩෙංගු විමර්ශන කණ්ඩායම් සිටිති. ඊට පොලීසිය හා හමුදාව ද එක්ව සිටිති. මේ සහභාගිත්වය නරක නැත. ඒවා දිනපතා ක්‍රියාත්මක වන්නේ වුව; ඩෙංගු උණ අඩුවන බවක් පෙනෙන්නට නැත. කොළඹ ජාතික රෝහල් තාක්ෂණික ශිල්පියකු මිය ගොස් සිටියේ ඩෙංගු රෝගය වැළඳීමෙන් ය. මහනුවර, කෑගල්ල, බදුල්ල, ගම්පහ යන ප්‍රදේශවල ද මේ අයුරින්ම විශාල රෝගීහු ප්‍රමාණයක් මිය ගොස් සිටිති.

උණ රෝගයෙන් අකාලයේ මිය යන මිනිසුන් දෙස බලන විට රජය ගැන කෝපයක් ඇති ‍ෙව්. පැවැති වැඩසටහන් මොනවද? ඉතිරි වැඩසටහන් මොනවද යන්න ගැන නිශ්චිත වැටහීමක් ගමේ මිනිසාට නැත. එය සාමාන්‍ය ස්වභාවයකැයි සිතන්නට පුළුවන. බෙහෙත් විදිනවද නැද්ද? ඊළඟ පෙත්ත කුමක්ද? වැනි ප්‍රශ්න ජනතාවට තිබේ. ජනතාව තමන්ගේ වැරැදි ගැන කල්පනා කරන්නේ නැත. තවමත් පරිසරය ගැන කල්පනා කරන්නේ ද නැත. එහෙත් ඔව්හු ඩෙංගු රෝගය ගැන හා ඩෙංගු රෝගීන් ගැන උනන්දු වෙති. අප බොහෝවිට දකින්නේ තමන්ගේ යුතුකම් ගැන නොසලකා අනතුරු ගැන පමණක් සිතන - මතන ජනතාවකි. රට හා ජාතිය ගැන ද අනාගතය ගැන ද කල්පනා කරන කෙනකු පළමුව අවධානය යොමුකළ යුත්තේ තමන්ගේ පරිසරය ගැන ය.

උණ රෝග තුනක් රට තුළ ශීඝ්‍රයෙන් පැතිර යන්නේ මන්දැ’යි සෞඛ්‍ය බලධාරීන් අවධානය යොමු කර ඇති බවක් දැක ගන්නට ඇත. වසංගත රෝග අංශය මේ වනතෙක් ද උණ අර්බුදය ගැන වැදගත් ප්‍රකාශයක් සිදු කර නැත. එක අතෙකින් ජනතාව දැනුම්වත් කළ යුත්තේ උණ රෝගයෙන් වැළකීමට අදාළ සාධක දැක්වීම සඳහා ය. තව අතෙකින් මහජනයා දැනුම්වත් කළ යුත්තේ රෝගයට අදාළ ප්‍රතිකාර ලබා ගත යුතු පිළිවෙළ ගැන ය. තවත් අතකින් මහජනතාව දැනුම්වත් කළ යුත්තේ උණ රෝගය වැළැක්වීම සඳහා ගත යුතු පියවර කවරේද යන්න ගැන පුළුල් සාකච්ඡාවක් ඇතිකොට ඒ මගින් ක්‍රියාකාරී වැඩසටහනක් සකස් කිරීම සඳහා ය. ජනතා සහභාගිත්වයකින් තොරව මේ කිසිදු අර්බුදයක් ජයගත නොහැකිය.

කියුබාව මෙන්ම ලතින් අමෙරිකානු රටවල් ද විවිධාකාර උණ රෝගවලට කලින් කල මුහුණ දී ඇත. එබඳු අවස්ථාවලදී විශාල වශයෙන් මිනිස් මරණ සිදුවී ඇති බවද සත්‍යයෙකි. එහෙත් ඊට පසු මරණ සංඛ්‍යාව අඩුවිය. රෝගීන් අඩුවිය. ඒ සඳහා අමුතු උපක්‍රම භාවිත කළේ නැත. ගමේ ඇත්තෝ කව්රුත් දන්නා හඳුනන ක්‍රමය ම භාවිත කළහ. මෙය එතරම් සාර්ථක ක්‍රමයක් ද නොවේ. රෝග වැළැක්වීම සඳහා නූතන වෛද්‍ය විද්‍යාත්මක ක්‍රම අනුගමනය කිරීම වඩා හොඳය. උණ රෝගය සම්බන්ධයෙන්ද අප කළ යුත්තේ එයමය. උණ යනු වැළැක්විය යුතු රෝගයකි. ඒ සමඟ විහිළු කිරීම හොඳ නැත.


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.

Or log in with...