පාස්කු නාට්‍ය පෙළ­කට විශිෂ්ට පර­මා­ද­ර්ශ­යක් | දිනමිණ

පාස්කු නාට්‍ය පෙළ­කට විශිෂ්ට පර­මා­ද­ර්ශ­යක්

සුනිල් මිහිඳුකුල

කොරැස්ම කාලය හෙවත් චතාරික සමය ආරම්භ වන්නේ අළු බදාදායින්. කොරැස්ම (QUARESMA) යනු පෘතුගීසි වචනයක්. දින හතළිහක් පමණ වූ මෙම කාලාන්තරයේ තවත් වැදගත් දිනයක් වන්නේ මහ සිකුරාදා.

චතාරික සමයේදී මෙරට කතෝලිකයන් නොයෙක් භක්ති අභ්‍යාසයන්හි නිරත වෙනවා. එයින් පාස්කු නාට්‍ය රඟදැක්වීමත්, පසම් ගී ගායනා කිරීමත් සුවිශේෂ වන්නේ ඒවා ආගමික ධාරණාවන්ගෙන් ඔබ්බට ගිය කලාත්මක භාවිතාවක් ද වන නිසාවෙනි. පාස්කු නාට්‍ය රඟදැක්වීමේත් පසම් ගී ගායනයෙත් මූලික අභිප්‍රාය ක්‍රිස්තුන් වහන්සේගේ දුක් ප්‍රාප්තිය සැමරීමය යැයි කියන්ට පුළුවන්.

පාස්කු නාට්‍ය රඟදැක්වෙන්නේ මහ සිකුරාදා දිනයේ. මෙරට පාස්කු නාට්‍ය අතරින් අති සුවිශේෂ ස්ථානයක් හිමිකර ගන්නේ මීගමු දූවේ පාස්කු නාට්‍යයයි.

එය දීර්ඝ ඉතිහාසයකට ද (අවුරුදු 175 ඉක්මවූ) හිමිකම් කියන්නක්. මීගමු දූවේ පාස්කු නාට්‍යය සඳහා උපයුක්ත කරගන්නා ක්‍රිස්තුන් වහන්සේගේ සුරුවම (ප්‍රතිමාව) මුල්වරට යොදාගෙන 1839 දී පාස්කු නාට්‍යයක් රඟදැක්වූ බවට සාක්ෂි තියෙනවා. 1989 දී එහි 150 ජුබිලි උත්සවය සැමරුවේ ඒ අනුවයි. මුල් යුගයේ පාස්කු නාට්‍ය රඟදැක්වූයේ රූකඩ අනුසාරයන් බවත් මෙහිලා කිව යුතුය.

දූවේ ඉපැරණි පාස්කු නාට්‍යය එසේ වුවත් අද අප දකින පාස්කු නාට්‍යයේ නූතන ස්වරූපය ඇතිවූයේ 1939 දී ඒ නම්; (සියවස් සමරුවේ) දී බවක් පෙනී යයි.

එම නවීකරණයෙහිලා මූලික වූයේ එවක දූව සින්ද්දාත්‍රි දෙව්මැදුරේ මීසම් පාලක වූ මර්සලිනු ජයකොඩි පියනම. උන්වහන්සේ කළ නවීකරණය තෙවැදෑරුම්. පළමුවැන්න නාට්‍ය සඳහා අලුත් රංග පිටපතක් රචනා වීමය. මෙම නාට්‍ය පෙළ ලිවීමේදී තමාට ඩොරති සේස් ‘බෝන් ටූ බී අ කින්ග්’ නම් වූ කෘතිය අනුප්‍රාණයක් වූ බව ජයකොඩි පියනම සඳහන් කර තිබෙනවා.

දෙවැන්න රූකඩ වෙනුවට නළුවන් යොදා ගැනීමය. ක්‍රිස්තුන් වහන්සේ හා මරියතුමී යන චරිත හැරුණුවිට සෙසු චරිත නළුවන් විසින් රඟදක්වනු ලැබුවා. එහිදී කාන්තා චරිත සඳහා ද යොදා ගැනුණේ නළුවන්. කාන්තා චරිත සඳහා නිළියන් යොදා ගැනුණේ පසු කලෙකයි. (මැගිලින් ලිවේරා දූව පාස්කු නාට්‍යයේ රඟපෑ ප්‍රථම නිළිය වන්නීය.)

තෙවැනි නවීකරණය වූයේ ජයකොඩි පියනම වෙතින්ම පාස්කු නාට්‍යය උදෙසා අලුත් ගී කීපයක්ම රචනා වීමය. ‘කුරුසේ නැඟ අත් විහිදා’, ‘හඳපානේ පිපි වැටකෙයි මල සේ’, ‘රුදුරු වීද මල් උයනේ’, ‘ඔබ සිරි මරණේ’ වැනි ගීත ඊට නිදසුන්. පාස්කු නාට්‍යවල එන ගීත සාමූහික හා හුදෙකලා යනුවෙන් කොටස් දෙකකට බෙදෙනවා. ‘ඔබ සිරි ම‍රණේ’, ‘සාදුකාර ගීත ශ්‍රිය’, ‘බලනු බලනු සෙනඟිනි මෙන්න ඔබ රජා’ වැනි ගී සාමූහික ගීත වන අතර වෙරෝනිකා ස්ත්‍රිය විසින් ගයනු ලබන ‘හඳපානේ පිපි වැටකෙයා මල සේ’ නම් වූ ගීය මෙහි එන එකම හුදෙකලා ගායනය වෙයි.

1962 දූව පාස්කුවට යළිත් නව මුහුණුවරක් ලැබිණි.

එම නවීකරණයෙහි ප්‍රධානම දේ වූයේ ක්‍රිස්තුන් වහන්සේගේ චරිතය නළුවකු විසින් රඟදක්වනු ලැබීමයි. එම්. ක්‍රිස්ටි ප්‍රනාන්දු එහි ක්‍රිස්තු චරිතය රඟපෑ මුල්ම නළුවා ලෙස ඉතිහාසයට එකතු වෙනවා. ඔහු චිත්‍රසේනයන් වෙතින් නැටුම් උගත්, එසේම ලෙස්ලි බොතේජු හා එක්ව ‘රසාංජලි’ නම් වූ සංස්කෘතික සංවිධානය පිහිටුවාලීමට දායක වූ‍ෙවක්.

ඊට දස වසරකට පසු එනම් 1972 දී දූව පාස්කු නාට්‍යය යළිත් නවීකරණයට භාජනය වුණා. ඊට මැදිහත් වූයේ එම්. ක්ලෙමන්ට් ප්‍රනාන්දු ය.

ඔහු අතින් මුල් නාට්‍යය පිටපත යම් යම් සංස්කරණයන්ට ලක්කෙරුණා. දැනටත් පවතින්නේ එම රංග පෙළ. (එය 2001 දී බර්නාඩ් ශ්‍රීකාන්තගේ සංස්කරණයක් ලෙස ප්‍රකාශනයට පත්ව ඇත.)

ක්ලෙමන්ට් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ ගෝලයෙකි. ඔහු 1972 දී පේරාදෙණි විශ්වවිද්‍යාල නාට්‍ය මණ්ඩලයේ සභාපති ධුරය දැරුවා. ‘කටු ඔටුන්න’ නම් වූ නාට්‍යයේ නිෂ්පාදක වූයේ ද ක්ලෙමන්ට්. එය ක්‍රිස්තු චරිතය නූතන වේදිකාවට ගෙනඒමක්.

නව අදහස දක්වන්න