මෝඩයාගේ දිනයේ අපේ වැඩ | දිනමිණ

මෝඩයාගේ දිනයේ අපේ වැඩ

අප්‍රේල් මස පළමු වැනිදා නෙදර්ලන්තයේ පුවත්පතක පුදුම සහගත පුවතක් පළවිය. එය එරට සත්ව උද්‍යානයක ජීවත් වන කතා කරන වඳුරෙකු පිළිබඳ පුවතකි. මේ වඳුරා මහජනතාවට තේරෙන භාෂාවෙන් කතා කරන බවත්, වඳුරාගේ ගතිගුණ තේරුම් ගැනීම පිණිස එක්තරා යන්ත්‍රයක් යොදා ඇති අතර, එමගින් ඒ සතාගේ සිතුම් පැතුම් ආදී නොයෙකුත් විස්තර අසා දැනගත හැකි බවත් එම පුවතින් අනාවරණය විය. වඳුරා පිළිබඳ සියලු විස්තර සත්ව උද්‍යානයේ අධ්‍යක්ෂවරයා විසින් පුවත්පත්වලට හෙළිකරන ලද බවත් පුවතේ වැඩි දුරටත් සඳහන් විය. මෙම ප්‍රවෘත්තිය දුටු වෙනත් පුවත්පත් කතුවරුන්, සඟරා සංස්කාරකවරුන්, ඡායාරූප ශිල්පීන්, ගුවන් විදුලි වාර්තාකරුවන් ආදී පිරිස් වැල නොකැඩී සත්තු වත්ත කරා ඇදී එන්නට වූහ. එහෙත් ඔවුනට සත්තු වත්තේ කවදත් කෙළිදෙලෙන් ජීවත්වන සාමාන්‍ය වඳුරෙකු විනා අරුම පුදුම වඳුරකු දක්නට ලැබුණේ නැත. එදා අප්‍රේල් පළමු වැනිදා බව ක්ෂණයකින් අවබෝධ කරගත් සියල්ලෝම ආපසු හැරී ගියේ එකිනෙකාගේ මුහුණු බලමිනි.

වසර ගණනාවකට පෙර ශ්‍රී ලංකාවේද එක්තරා පුවත්පතක අප්‍රේල් පළමු වැනි දිනක පිටරටක සිට දෙහිවල සත්ත්ව උද්‍යානයට අරුම පුදුම සතුන් කිහිප දෙනෙක් ගෙනැවිත් තිබෙන බව ඡායාරූපත් සමඟ මුල් පිටුවේ පළ විය. සිංහ මුහුණ සහිත කැණහිලකු සහ වානර මුහුණක් සහිත ජිරාෆ් සතෙකුද මෙම සතුන් අතර වූහ. නැවෙන් ගොඩබාන විටම මෙම සතුන්ගේ ඡායාරූප ගෙන තිබූ අතර, සියලුම සතුන් දෙහිවල සතුන් වත්තේ ප්‍රදර්ශනය කෙරෙන බවද එහි පළ විය. අරුම පුදුම සතුන් බැලීමට විශාල පිරිසක් සත්ව උද්‍යානයට පැමිණියහ. නමුත් එවැනි කිසිම සතෙක් ඔවුනට දක්නට නොලැබිණි. එදින මෝඩයින්ගේ දිනය බව සියල්ලන්ටම අවබෝධ වූ බැවින් සිනාසෙමින් ආපසු ගියහ.

මේ අප්‍රේල් පළමුවැනිදා සිදුවූ සිද්ධීන් කිහිපයකි. සෑම වසරකම අප්‍රේල් මස පළමුවැනිදා ලොව හැම රටකම පාහේ ජනතාව විමසිල්ලෙන් සිටින දවසකි. ඒ අන් කිසිවක් නිසා නොව එදින මෝඩයින්ගේ දිනය ලෙස අනුන් රැවටීම සඳහා විහිළු තහළු කිරීමට යොදාගනු ලබන දිනයක් නිසාය. අප්‍රේල් 01 දා ඇත්තක් කීවත් බොරුවක් ලෙස සලකන දවසය.

අප්‍රේල් පළමු වැනිදා මෝඩයින්ගේ දිනය ලෙස සැලකීම ආරම්භ වූයේ ප්‍රංශයෙන් බව සඳහන් වේ. ක්‍රි.ව.1564 දී 14 වැනි චාල්ස් රජු සෑම වසරකම ජනවාරි මස පළමු වැනිදා වර්ෂයේ මුල්ම දිනය ලෙස ප්‍රකාශයට පත් කළේය. එතෙක් වර්ෂයේ මුල්ම දිනය නැතහොත් වර්ෂය ආරම්භක දිනය වශයෙන් සලකා ඇත්තේ අප්‍රේල් පළමු වැනිදාය. එකල ලොව බොහෝ රටවල් මේ දින දෙකම අලුත් අවුරුදු උත්සව පැවැත්වීමට පුරුදුව සිටියහ. ඇතැම් රටවල් පරණ පුරුද්දට අප්‍රේල් පළමුවැනිදා අවුරුදු උත්සව පැවැත්වූ අතර, තවත් සමහරු ජනවාරි පළමු වැනිදා උත්සව පැවැත්වූහ. චාල්ස් රජුගේ නීතිය නිසා වසරේ මුල් දවස නිමිත්තෙන් උත්සව පැවැත්වීම සෑහෙන අවුලක් බවට පත් විය. ජනවාරි 01 දා වසරේ මුල්ම දිනය ලෙස පිළිගැනීම නිසා අප්‍රේල් 01 දා උත්සව පැවැත්වීම මෝඩයින් උත්සව පවත්වන දිනය ලෙසත් පසුව එය මෝඩයින්ගේ දිනය ලෙසත් ප්‍රකට වූ බව පැවසේ.

බ්‍රිතාන්‍යය “මෝඩයින්ගේ දවස” පිළිගත්තේ 18 වැනි ශත වර්ෂයේදීය. ප්‍රංශයේ ක්‍රියාත්මක වූ මෝඩයින්ගේ දවස 16, 17 යන ශත වර්ෂවලදී බටහිර රටවලට පැතිර ගියේය. පෙරදිග රටවල අප්‍රේල් පළමුවැනිදා මෝඩයින්ගේ දවස ලෙස සැලකීමට පුරුදු වී ඇත්තේ බටහිර ආක්‍රමණවලින් පසුව බව සඳහන් වේ.

මෝඩයින්ගේ දිනය ලෙස සැලකෙන අප්‍රේල් 01දා ලෝකයේ බොහෝ රටවල වැසියන් විහිළු තහළු කරමින් විනෝද වෙති. ඇතැම් රටවල විහිළු තහළු කිරීමෙන් කුඩා ළමුන් අතිශය ප්‍රීතියට පත්වන්නා සේම වැඩිහිටියන්ද නොයෙක් අයුරින් විනෝද වෙති. එමෙන්ම බොරු ප්‍රචාරවලින් මුලාවන්නෝද වර්තමානයේ විරල නොවෙති. ලෝකයේ බොහෝ රටවල පුවත්පත් මඟින් මෝඩයින්ගේ දිනය නිමිත්තෙන් නොයෙකුත් ප්‍රවෘත්ති හා පිංතූර පළකරනු දක්නට ලැබේ. ඇතැම් රටවල ගුවන් විදුලිය හා රූපවාහිනියද එයට හවුල් වෙති. අප්‍රේල් පළමුවැනිදා මෝඩයින්ගේ දිනය වෙනුවෙන් බොහෝ දෙනා මාස ගණනක සිට ‍තොරතුරු සෙවීමෙහි නිරත වෙති. එසේම බොහෝ රටවල නොයෙකුත් අන්දමේ විහිළු තහළුවලින් ජනතාව විනෝදමත් කරවීමට ඇතැම් පුවත්පත් දරන උත්සාහය සුළුපටු නොවේ. එහෙත් බොරුවලට රැවටුණු කිසිවකු එයින් සිත් අමනාප කරගත් අවස්ථාවක් ගැන මෙතෙක් දැනගන්නට නැත. කෙසේ වෙතත් සෑම වසරකම අප්‍රේල් පළමු වැනිදාට ඉතාමත් රසවත් විහිළු ලියා එවන පාඨකයන්ට පිටරටවල ඇතැම් පුවත්පත් මගින් තෑගි බෝග පිරිනැමීමටද කටයුතු කරති. පුවත්පත්වල විහිළු පළ කිරීමෙන් පාඨකයාගේ සිත් රිදවීමක් හෝ නොමග යැවීමක් කිසිවිටෙකත් අපේක්ෂා නොකරන අතර, වසරකට වරක්වත් හොඳ විහිළුවක් කිරීමෙන් ජනතාව විනෝදමත් කිරීමට මෙම දිනය යොදාගෙන ඇති බව පෙනේ.

මහානාම ගලහිටියාව

නව අදහස දක්වන්න