අවුරුදු සමයේ ආහාර අෙලවිසල් පරීක්ෂාවට උපදෙස් | දිනමිණ

අවුරුදු සමයේ ආහාර අෙලවිසල් පරීක්ෂාවට උපදෙස්

සිංහල හා හින්දු අලුත් අවුරුදු සමයේ දී ජනතාවට ගුණාත්මක හා පිරිසිදු ආහාර ලබාදීමේ අරමුණින් වෙළෙඳසැල්, හෝටල් සහ ආපනශාලා පරීක්ෂා කිරීමේ වැඩපිළිවෙළක් ආරම්භ කරන ලෙස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට උපදෙස් ලබා දී ඇත.

ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සමඟ සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී පැවැති සාකච්ඡාවක දී සෞඛ්‍ය අමාත්‍යවරයා මෙම උපදෙස් ලබා දෙන ලදී.

 මෙම වැඩපිළිවෙළේ දී පිටකොටුව ප්‍රදේශයේ සහ වෙනත් ප්‍රදේශවල ඇති තොග ගබඩා ද පරීක්ෂා කිරීමට නියමිත අතර, දුරගමන් බස් නැවතුම්පොළ ආපන ශාලා ද පරීක්ෂා කෙරේ.

තව ද මැයි මස 02 සිට වෙසක් සහ පොසොන් උත්සව සමය වෙනුවෙන් ආහාර සුරක්ෂිතතා සතියක් ප්‍රකාශයට පත් කරන ලෙස සෞඛ්‍ය අමාත්‍යවරයා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර මහතාට දැනුම් දෙන ලදී. එහිදී ආහාර පරිහරණය කරන ස්ථාන වර්ගීකරණ ක්‍රමවේදය විධිමත් කිරීමට ද නියමිතය. මෙම සතිය තුළ දී මිනිස් පරිභෝජනයට නුසුදුසු ආහාර අලෙවි කරන ස්ථාන වසා දැමීමට ද තීරණය විය. විශේෂයෙන්ම දුම්වැටි, අත්‍යාවශ්‍ය ආහාර සහ ඖෂධ වැටලීම් අඛණ්ඩව සිදු කරන ලෙස සෞඛ්‍ය අමාත්‍යවරයා උපදෙස් ලබා දෙන ලදී. දුම්වැටිවලින් තොර නගර 27ක් දිවයින පුරා ක්‍රියාත්මක බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා මෙහි දී ප්‍රකාශ කළේය.

පරීක්ෂා කිරීම්වලදී ලබාගන්නා ආහාර සාම්පල පරීක්ෂා කිරීම විධිමත් කිරීම සඳහා සෑම පළාතකටම එක් පරීක්ෂණාගාරය බැගින් ස්ථාපිත කිරීමට ද තීරණය විය. දැනට බොරැල්ල වෛද්‍ය පර්යේෂණායතනය , අනුරාධපුර සහ කළුතර ඇති ආහාර පරීක්ෂණාගාර සංවර්ධනය කිරීමටත්, නවීන උපකරණ ලබාදීමටත්, තීරණය කෙරුණි.

ක්ෂේත්‍ර රාජකාරි සඳහා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සඳහා යතුරුපැදි ලබාදීමට ද තීරණය කළ අතර, ඒ සඳහා අමාත්‍ය මණ්ඩල සංදේශයක් සකස් කරන ලෙස නිලධාරීන්ට උපදෙස් ලබා දෙන ලදී. වැටලීම් අඛණ්ඩව ක්‍රියාත්මක කිරීම සඳහා ඉදිරියේ දී නවක මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් 400ක් බඳවා ගැනීමට ද තීරණය විය. දැනට 2000ක් පමණ වන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංඛ්‍යාව 5000 දක්වා වැඩි කළ යුතු බව ද සෞඛ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. මෙම අවස්ථාවට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් ජයසුන්දර බණ්ඩාර මහතා, නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරුන් වන සරත් අමුණුගම, සුනිල් ද අල්විස් ඇතුළු අමාත්‍යාංශ නිලධාරීහු රැසක් එක්ව සිටියහ. 

නව අදහස දක්වන්න