කොළඹ ජල සැපයුම වැඩිදියුණු කිරීමට රු. බිලියන හතළිහක ව්‍යාපෘතියක් | දිනමිණ

කොළඹ ජල සැපයුම වැඩිදියුණු කිරීමට රු. බිලියන හතළිහක ව්‍යාපෘතියක්

උපාලි කරුණාරත්න

රුපියල් බිලියන හතළිහක් වැය කරමින් කොළඹ ජල සැපයුම් සේවා වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය ආරම්භ කෙරේ.

නගර සැලසුම් හා ජල සම්පාදන ඇමැති රවුෆ් හකීම්, මුදල් ඇමැති රවි කරුණානායක, රාජ්‍ය ඇමැති සුදර්ශණී ප්‍රනාන්දු පුල්ලේ මහත්ම මහත්මීන් සහ ආසියානු සංවර්ධන බැංකු නියෝජිතයන්ගේ සහභාගිත්වයෙන් මෙය පෙරේදා (27) කොළඹදී ආරම්භ වු අතර මෙය ඉතා සංකීර්ණ කටයුත්තක් බව ඇමැති රවුෆ් හකීම් මහතා මෙහිදී ප්‍රකාශ කළේය. ආයතන ගණනාවක සහයෝගය මේ සඳහා හිමිවන බව කී ඇමැතිවරයා මෙය කඩිනමින් අවසන් කළ යුතු යයිද ප්‍රකාශ කළේය. මෙහිදී කොළඹ ජල සැපයුම් සේවා වැඩි දියුණු කිරීමේ ව්‍යාපෘතියට අදාළ වෙබ් අඩවියද ඇමැතිවරයා අතින් ආරම්භ කෙරිණ.

කොළඹ නගරය මහා ආර්ථික නගරයක් බවට පරිවර්තනය කිරීමේ කටයුත්තේදී පිරිසිදු පානීය ජලයට ලැබෙන්නෙ ප්‍රම්‍රඛස්ථානයක්. අතීතයේ සිට නල ජලය ලබා දීමේ නගර අතර කොළඹ නගරය ඉදිරියෙන් සිටි බව නගර සැලසුම් සහ ජල සම්පාදන අමාත්‍යාංශය ප්‍රකාශ කරනවා. වර්තමානයේ එම තත්ත්වය පිළිබඳව ගැටලු ඇති වෙලා. පවතින වැඩි ඉල්ලුමට ජලය සැපයීම අද අභියෝගයක් බවට පත්වෙලා. කොළඹ ජීවත්වන අධික ජනගහනයට සහ රැකියා, විවිධ කටයුතු සඳහා පැමිණෙන ජනතාවට පිරිසිදු ජලය ලබාදීය යුතුයි. ජාතික ජල සම්පාදන හා ජලා පවාහන මණ්ඩලය ඝන මිටර් දෙලක්ෂ අනූ දහසක ජල ධාරිතාවක් නගරය තුළ බෙදා හැරියත් නල පද්ධතියේ පවතින දුර්වලතා හේතුවෙන් ගැටලු හේතුවෙන් සියයට හතලිහක් පමණ දිනපතා ජලය අපතේ යයි. සමහර ප්‍රදේශයන්ට ජලය ලැබෙනුයේ අඩු පීඩනයකිනි.

මෙම බාධක ජය ගැනීම සඳහා ශ්‍රී ලංකා රජයේ සහ ආසියානු සංවර්ධන බැංකුවේ දායකත්වයෙන් හා මඟ පෙන්වීමෙන් රුපියල් බිලියන හතළිහක් වැය කෙරෙමින් කොළඹ ජල සැපයුම් සේවා වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය ආරම්භ කළ බව එහි ව්‍යපෘති අධ්‍යක්ෂක එස්. අබ්දුල් රෂිඩ් මහතා ප්‍රකාශ කළා. මෙය මහ කොළඹ ජල සහ අප ජල කළමනාකරණ වැඩිදියුණු කිරීමේ ආයෝජන වැඩසටහනට අයත් ව්‍යාපෘතියේ කොටසකි.

යන්ත්‍ර සූත්‍ර සහ පුහුණු මිනිස් ශ්‍රමයද මේ කටයුත්ත සඳහා යොදා ගන්නා බව එම ව්‍යපෘතියට සම්බන්ධ නිළධාරීහු ප්‍රකාශ කළහ. මෙම ව්‍යාපෘතිය සාර්ථක කර ගැනීම සඳහා කොළඹ නගරයේ ජීවත්වන ජනතාවගේ, කොළඹට දිනපතා පැමිණෙන ජනතාවගේ සහයෝගයද අත්‍යවශ්‍ය බව ප්‍රකාශ කරන නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍යාංශය ව්‍යාපෘතිය ක්‍රියාත්මක වීමේදී ජනතාවට විටින් විට සිදුවන අපහසුතා පිළිබඳව කනගාටු වන බව ප්‍රකාශ කළේය.

ඡායාරූපය- විමල් කරුණාතිලක 

නව අදහස දක්වන්න