ජෝන් රෝඩ්ස් සහ ඔක්ස්ෆර්ඩ් සර­ස­විය | දිනමිණ

ජෝන් රෝඩ්ස් සහ ඔක්ස්ෆර්ඩ් සර­ස­විය

හිමාලි එන්. ලියනගේ

සිසිල් ජෝන් රෝඩ්ස් (Cecil John Rhodes) ඔවුන්ගේ කාලයේ මිනිසෙකි. දැඩි උත්සාහයත්, වෙහෙසවී වැඩ කිරීමත් අත් නොහළ ඔහු ඒ කාලයේ සුදු ජාතික පිරිමියකුගේ සිහිනය පසුපස හඹා සාර්ථක ගමනක් ගිය කෙනෙකි. අප්‍රිකාව පුරා තමන්ගේ බලය සහ අයිතිය පැතිරවීමේ බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදී සිහිනය සැබෑ කරගන්නට තමන්ගේ දක්ෂකම යොදා ගත් සිසිල් රෝඩ්ස් කපු වැවීමෙන් පටන්ගෙන නූතන දියමන්ති කර්මාන්තයේ පුරෝගාමි ව්‍යාපරිකයකු සහ කේප් කොලනියේ (නූතන දකුණු අප්‍රිකාව) අගමැති වී දකුණු අප්‍රිකාවේ අති බලවත් නායකයකු බවට පත් වූ කෙනෙකි.

1853, ජූලි 5 වැනි දාක එංගලන්තයේ උපන් සිසිල් රෝඩ්ස් බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදය පතුරා බලය අල්ලා ගැනීමේ සාර්ථක ගමන ගොස් අවසන 1902 දී මිය යන්නේ නින්දාශීලී ජාතිවාදී අධිරාජ්‍යාවාදියකුට වඩා සාර්ථක ව්‍යාපරිකයකු, මහා ධනපතියකු, ප්‍රබල පාලකයකු ලෙස මෙන්ම මහජන හිතෛෂී දානපතියකු ලෙස ඉතිහාසයේ ලියා තබමින්ය.

ඔහු විසින් ඉතිරිකර යන පවුම් මිලියන හයක් පමණ වූ බූදලයෙන් වැඩි කොටසක් එංගලන්තයේ, අමෙරිකාවේ, ජර්මනියේ සහ බ්‍රිතාන්‍ය කොලනි වූ රටවල සිසුන්ට ඔක්ස්ෆර්ඩ් සරසවියේ ඉහළ අධ්‍යාපනයක් ලබන්නට ශිෂ්‍යත්ව හිමිකර දීමට යොදා ගැනීමට හැකිවන ලෙසත් ඔහුගේ ඉඩකඩම් දකුණු අප්‍රිකාවේ සරසවි භූමි වන ලෙසත් අවසාන කැමැති පත්‍රයක් ලියා තැබූ සිසිල් රෝඩ්ස්, එම ලියවිල්ලේ හුදෙක් මිනිසුන්ගේ පරිහරණය වෙනුවෙන් තමන්ගේ මුදලින් රේල් පාරවල් පවා තනන්ට උපදෙස් දී තිබිණි. (The last will and testament of Cecil John Rhodes Book, Cecil Rhodes.)

සිසිල් රෝඩ්ස් විසින් පිහිට වූ රෝඩ්ස් ශිෂ්‍යාධාර වැඩසටහන (The Rhodes Scholarship) දැනට ලෝකයේ ඇති ඉහළ පෙලේ නමගත් ගෞරවාන්විත ශිෂ්‍යත්වයකි.

එද මෙදා තුර රෝඩ්ස් ශිෂ්‍යාධර වැඩසටහන නිසා ලෝකය පුරා උගතුන් රැසක් බිහිවී ඇත. 1926 දී රෝඩ්ස් ශිෂ්‍යත්වය ලැබූ ජේම්ස් විලියම් ෆුල්බ්‍රයිට් (James William Fulbright) එවැනි කෙනෙකි. ඔහුද ෆුල්බ්‍රයිට් නැමැති ශිෂ්‍යත්වක් පිහිටුවා අද වනවිට 250,000ක පමණ පිරිසකට අධ්‍යාපන ප්‍රතිපාදන ලබාගැනීමට ඉඩ සැලසූ කෙනෙකි.

ඇලන් ලොකි (Alain Locke) රෝඩ්ස් ශිෂ්‍යත්වය ලද පළමු කළු අමෙරිකානු පිරිමියා වේ. ඔහුගේ ප්‍රවේශය තව කළු ජාතික පුද්ගලයන්ට රෝඩ්ස් ශිෂ්‍යත්ව මඟ විවර කරන්නට විය.

ශිෂ්ට සම්පන්න ලෝකයක් ගොඩනැඟීමට අවැසි නායක නායිකාවන් බිහිකිරීමේ අරමුණින් බොහෝ පිරිසකට සුබසිද්ධියක් ඇතිකරමින් තමන් වෙත කළ පරිත්‍යාගය ඇගයීමක් හැටියට ඔක්ස්ෆර්ඩ් සරසවියේ සිසිල් රෝඩ්ස්ගේ පිළිරුවක් නංවා ඇත. පැරණි සුදු අධිරාජ්‍යාවාදයේ ගින්නෙන් තවමත් දැවෙන අප්‍රිකානු රටවල විරෝධ ව්‍යාපාරවල බලපෑමත් සමඟ, ඔක්ස්ෆර්ඩ් සරසවියේ ඇති සිසිල් රෝඩ්ස් පිළිරුව ඉවත් කරන්නට පසුගිය වසරවල අරගලයක් සිදු විය.

සිසිල් රෝඩ්ස්ගේ සුදු අධිරාජ්‍යවාදී ක්‍රියාකලාපයත් ඔහු විසින් දහස් ගණනක් ශාස්ත්‍රඥයන් බිහිකිරීමට උදාකරදුන් මඟත් එකට පටලවා ගැනීම ප්‍රතික්ෂේප කරන ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලය සිසිල් රෝඩ්ස් පිළිරුව ඉවත් කිරීමට එකඟ වූයේ නැත්තේ, එසේ නොවී නම් ඔවුන් වෙත නොලැබී යන අනාගත ආධාර නිසා දහස් ගණන් උගතුන්ගේ මඟ ඇහිරී යාම වැළැක්වීමට කටයුතු කිරීමක් හැටියට වේ. ඓතිහාසික සහකම්පනයකින් පසුපස හැරී බලන්නට එකඟ නොවී තමන්ට වඩා සංවේදී පරිසරයක් ලබා දෙන්නට ඉල්ලමින් සිසිල් රෝඩ්ස්ගේ පිළිරුව පෙරළා දමන්නට ඉල්ලන සමහරු රෝඩ්ස් ශිෂ්‍යත්වයේ ප්‍රතිලාබ භුක්ති විඳින අයම වේ.

තමන්ගේ සිහිනයේ පල නෙළා ගත් සිසිල් රෝඩ්ස් ඔහුගේ බූදලය අධ්‍යාපනය වෙනුවෙන් කැප නොකර ඉන්නත් ඉඩක් තිබිණි. සිසුන් වෙනුවෙන් අනාගත පරිත්‍යාග මඟ හැරීම ගැන නොසළකා සිසිල් රෝඩ්ස් පිළිරුව ඉවත් කිරීමට ඔක්ස්ෆර්ඩ් සරසවියට ඕනෑ නම් කරන්නට ඉඩක් තිබිණි. නමුත් ඔවුන් අවසන ගත් තීරණ බොහෝ දෙනකුගේ ජීවිත යහපත් කිරීමට ඉඩ හැරීමටය.

දූෂණය, වංචාව සමඟ භීෂණය විසින් රට කරවූ කාලයක, ජනතාවගේ මුදලින් තමන්ගේ දු දරුවන් පිට රට යවා සැප දුන් දේශපාලකයන් සිටි රටක සමහර නායකයන් ජනතාවගේ මුදල් ජනතාවට ලබාදෙන්නට අවම උත්සහයක් ගත්තා කියා පෙන්වන්නට අපට ඇති එක උදාහරණයක් වන්නේ ලලිත් ඇතුලත්මුදලි මහතා විසින් දියත් වූ මහපොළ ශිෂ්‍යාධාර වැඩසටහනයි.

තමන්ගේ පෞද්ගලික මුදල් සමඟ තවත් ආධාර එකතු කර 1981 වසරේදී ශ්‍රී ලංකාවේ සරසවි සිසුන්ට මහපොළ ශිෂ්‍යාධාර ලබා දීම ඇරැඹීමට එවකට වෙළෙඳ හා නාවුක කටයුතු අමාත්‍යවරයා වූ ලලිත් ඇතුලත්මුදලි මහතාට නොකර ඉන්නට ඉඩ තිබිණි.

නමුත් ඔහු විසින් ගැනුණු වෙනස් තීරණයක් නිසා එදා සිට අද වන විට බොහෝ සිසුන් පිරිසකට ප්‍රතිපාදන හිමිවෙමින් පවතී.

පසුව ක්‍රමයෙන් මහපොළවල් පවත්වා එම මුදලින් ශක්තිමත් වූ ශිෂ්‍යත්ව ක්‍රමයට ඇතුළත්මුදලි මහතාට කෘතගුණ හිමිවිය යුතුමය.

ඔහු විසින් කළ සේවය ඇගැයීමක් හැටියට පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිසුන් 400කට නවතැන් ලැබිය හැකි නව නේවාසිකාගාරය නම් කිරීම හෙළාදකිමින් එම නාම ඵලකය සිසුන් කඩා බිඳ දමා විනාස කර ඇත.

සිසිල් රෝඩ්ස් පිළිරුව ඉවත් කරන්නැයි ඉල්ලා ඔක්ස්ෆර්ඩ් සරසවියේ උගතුන් විරෝධතා, පෙත්සම්, සාකච්ඡා සිදු කරද්දී, පේරාදෙණිය සරසවිය විරෝධතා දැක්වීම අරඹා ඇත්තේ අවනීත විනාශකාරී ලෙසයි.

නූතන බුද්ධිමතුන් ඇතුළු සෑම කෙනකුම ඉතිහාසය දෙස නැවැත හැරී බලන්නේ ඓතිහාසික සහකම්පනයක් සහිතවය. සුදු අධිරාජ්‍යවාදයේ යටත් වැසියන් වීමට සිදු වූ නිසා අප වර්තමානයේදී එංගලන්තයේ සහ අනෙක් බටහිර රටවල මිනිසුන්ට වෛර නොබඳින්නෙමු.

ඇතුළත්මුදලි මහතා දේශපාලකයකු වීම ඔහුට වෛරකිරීමට, අගෞරව කිරිමට, ඔහු වෙතින් වූ මහත් සේවයක් ඇගයීමට ලක් නොකර සිටින්නට අපට වරයක් ලබා දෙන්නේත් නැත.

යුද්ධය, ජාතිවාදය යන කාරණාවලදී මෙන්ම මෙවැනි අවස්ථාවලදීත් ඉතිහාසයේ නියම තතු විමසා බලන ඔවුහූ සහ අප පෙර වූ වැරදි නොවෙන්නට මානුෂික පියවර ගන්නට වෑයම් කරනවා වෙනුවට හික්මීමක්, බුද්ධියක් නැති අශිෂ්ට ගති පෙන්වීම අවාසනාවකි. 

නව අදහස දක්වන්න