සාම්පල බෙහෙත් අලෙවියට සකස් කළ ෆාමසිය වටලයි | දිනමිණ

සාම්පල බෙහෙත් අලෙවියට සකස් කළ ෆාමසිය වටලයි

‍අසේල කුරුළුවංශ

‍ඖෂධ ආනයනය කරනු ලබන ප්‍රධාන පෙළේ ආයතන මඟින් වෛද්‍යවරුන්ට සාම්පල වශයෙන් නොමිලේ ලබාදීම සඳහා අලෙවි නියෝජිතයන්ට නිකුත් කරන ‍ඖෂධ තොගයක් රෝගීන්ට මුදලට අලෙවි කිරීම සඳහා කටුගස්තොට ප්‍රධාන පෙළේ ඖෂධ බෙදා හැරීමේ මධ්‍යස්ථානයක් තුළ සකස් කරමින් තිබියදී ජාතික ඖෂධ නියාමන අධිකාරීයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් පෙරේදා (25) එම ස්ථානය වටලා රුපියල් මිලියනයක පමණ ඖෂධ අත්අඩංගුවට ගෙන තිබේ.‍

මෙම ව්‍යාපාරයේ හිමිකරුට මේ 30 දින මහනුවර මහේස්ත්‍රාත් අධිකරණයේ පෙනී සිටින ලෙස දැනුම් දෙමින් ජාතික ඖෂධ නියාමන අධිකාරීයේ නිලධාරීන් විසින් රුපියල් ලක්ෂයක බැඳුම්කරයක් මත මුදාහරිනු ලැබ ඇත. විකිණීමට නොවේ යනුවෙන් සඳහන් ‍ඖෂධ බහාලුම් ඉවත්කර මෙම ස්ථානයේදී අදාළ ඖෂධ වෙනත් පෙට්ටිවල අසුරා ඔවුන්ටම අයත් ඖෂධ අලෙවි මධ්‍යස්ථාන ජාලය හරහා ඒවා රෝගීන්ට අලෙවි කරන බවට ලද තොරතුරු මත අදාළ වැටලීම සිදු කර තිබේ.

දිවයිනේ ප්‍රධාන පෙළේ ඖෂධ සමාගම් අටක පමණ නිෂ්පාදන මෙම ස්ථානයේ සිට බෙදා හැරීම් සිදු කර තිබෙන බවත් වෛද්‍යවරුන්ට සාම්පල වශයෙන් ලබාදෙන ප්‍රධාන රෝග රැසකට අයත් ඖෂධ මෙහි තිබූ බවත් ජාතික ඖෂධ නියාමන අධිකාරිය පවසයි.

අදාළ අලෙවි නියෝජිත සතුව දිවයිනේ ප්‍රදේශ රැසක ‍ඖෂධ අලෙවි සල් තිබෙන අතර මෙම ‍ඖෂධ කලක පටන් එම ස්ථාන හරහා රෝගීන්ට අලෙවි කර තිබෙන බවට සැකකරයි.

වැටලීම සිදු කරන අවස්ථාවේ අදළ ගබඩාව තුළ කල් ඉකුත්වූ ‍ඖෂධද තිබූ නමුත් ‍ඖෂධ අලෙවි නියෝජිතයකු වන සැකකරුට, ඖෂධ සපයන සමාගම් වලට යළි යැවීම සඳහා කල් ඉකුත්වූ ඖෂධ එකරැස් කළ හැකි බැවින් ඒ සම්බන්ධව නීතීමය ක්‍රියාමාර්ග නොගත් බව වැටලීම් සිදු කළ නිලධාරියකු පැවසීය.

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන ආහාර හා ඖෂධ පරීක්ෂක අමිත් පෙරේරා මහතා ඇතුළු කණ්ඩායමක් මහනුවර දිස්ත්‍රික් සෞඛ්‍යය සේවා අධ්‍යක්ෂ සරත් වීරබණ්ඩාර මහතාගේද සහ මහනුවර දිස්ත්‍රික් ආහාර හා ‍ඖෂධ පරීක්ෂක ආර්.පී .ඩබ්ලිව් රාජපක්ෂ යන මහත්වරුන් ඇතුළු පිරිසකගේ සහය ඇතිව මෙම වැටලීම සිදු කර තිබේ.

දියවැඩියාව,අධිරුධිර පීඩනය, ඇඳුම, පීනස ඇතුළු රෝග ගණනාවක් සඳහා නිකුත් කරන ඖෂධ මෙන්ම මිල ඉහළ ප්‍රතිජීවක වර්ගද අත්අඩංගුවට ගත් ඖෂධ අතර තිබෙන බව ජාතික ඖෂධ නියාමන අධිකාරිය පවසයි. 


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...