නව රැකියා දස දහසක් සමඟ ශ්‍රමයට වටිනාකමක් | දිනමිණ

නව රැකියා දස දහසක් සමඟ ශ්‍රමයට වටිනාකමක්

නව රැකියා දස දහසක් සමඟ ශ්‍රමයට වටිනාකමක් සහ හැකියාවට සම්මානයක් ලබාදීමට සූදානම් බව මහ නගර හා බස්නාහිර සංවර්ධන ඇමැති පාඨලී චම්පික රණවක මහතා ප්‍රකාශ කළේය. අද දවසේ තරුණ ඔබේ ශක්තිය හෙට දවසේ ශක්තිමත් ශ්‍රී ලංකාවක් වෙනුවෙන් යොදවන්නට එක් වන ලෙස රැකියා විරහිත තරුණ බලවේගයට ආරාධනා කරන බව ද ඇමැතිවරයා තවදුරටත් සඳහන් කළේය.

ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ 'දෑ අභිමානී හරසර සම්මාන උළෙල' සහ පැල්පත්වාසීන් සඳහා මේ වසරේ දී ලබාදීමට නියමිත නිවාස ව්‍යාපෘති පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීම වෙනුවෙන් ඊයේ (24) නාගරික සංවර්ධන අධිකාරියේ ශ්‍රවණාගාරයේ පැවැති විශේෂ මාධ්‍ය හමුවේදීය. නාගරික සංවර්ධන අධිකාරියේ නාගරික පුනර්ජීවන ව්‍යාපෘතිය මගින් ඉදිකරන නිවාස ව්‍යාපෘතින්හි සේවය කරන ඉදිකිරීම් ක්ෂේත්‍රයේ සියලු ශ්‍රමිකයන්ගේ කුසලතා සඳහා හරසර දක්වමින්, මේ මස 30 වැනිදා ජනපතිගේ ප්‍රධානත්වයෙන් 'දෑ අභිමානී හරසර සම්මාන උළෙල' මේ මස 30 වන දා සුගතදාස ගෘහස්ථ ක්‍රී ඩාංනයේ දී අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්වේ.

තවදුරටත් ඇමැති පාඨලී චම්පික රණවක මහතා මෙසේද කීය.

පොදුවේ මේ රටේ ඉදිකිරීම් ක්ෂේත්‍රයට තිබෙන අභියෝගත්, අපිට තිබෙන අභියෝගත් , නාගරික පුර්ජීවන ව්‍යාපාරය දුගී දුප්පත් කොළඹ ජනතාවට ජීවිතයක් ලබාදීමේ ව්‍යාපෘතියේ ඉදිරි ගමන ගැන ප්‍රකාශ කරන්නත් මම මෙය අවස්ථාවක් කර ගන්නවා. ඒ වගේම කාටත් නොපෙනෙන මේ මහ නගරය නිර්මාණය කිරීමේ දී දාඩිය, ශ්‍රමය, කඳුළු හෙළන අපේ වැඩ කරන ජනතාව සම්බන්ධයෙන් ඔවුන්ට ප්‍රණාමය පළ කිරීමේ, ඔවුන් දිරි ගැන්වීමේ, ඔවුන්ගේ අනාගතය ගොඩනැඟීමේ වැඩසටහනක් මේ මස 30 වැනිදා සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ දී ජනාධිපතිගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙනවා.

පළමුවෙන්ම අපි අපේ ඉදිකිරීම් ක්ෂේත්‍රයට අපේ ප්‍රණාමය පිරිනැමිය යුතුයි. 2015 වසරේ ඇති වූ ආණ්ඩු වෙනසත් එක්ක ඇතිවුණු ප්‍රතිපත්ති සමඟ, ඒ වගේම අතීතයේ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ සිදු වී ඇති අක්‍රමිකතා වල පරීක්ෂණත් සමඟ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ මඟ නතර වීමක් වුණා. රටම වැඩ නතර වෙලා රටේ මුකුත් වැඩක් කෙරෙන්නේ නෑ කියන විදියේ මතවාද පැතිරවීමකුත් සිද්ධ වුණා. නමුත් 2016 ඉදිකිරීම් ක්ෂේත්‍රයේ නැවතත් ලොකු පිබිදීමක් , පරිවර්තනයක් සිද්ධ වුණා. අන්තර්ජාතික මුල්‍ය ආයතනවල වාර්තාවලට අනුව 2016 වර්ෂයේ රටේ ප්‍රගතියක්, ඉදිරි ගමනක් පෙන්නලා තියෙන්නේ ප්‍රධාන ක්ෂේත්‍ර දෙකක් පමණයි . එකක් සංචාරක ව්‍යාපාරය. අනෙක තමයි ඉදිකිරීම් ක්ෂේත්‍රය.

අද නාගරික සංවර්ධන අධිකාරිය පමණක් පෞද්ගලික අංශයේ ව්‍යාපෘති සියයකට ආසන්න ප්‍රමාණයකට අනුමැතිය දීලා තිබෙනවා. ඒවා ආසන්න වශයෙන් රුපියල් බිලියන 275ක පමණ වටිනාකමකින් යුක්තයි. ඒ කියන්නේ පසුගිය වසරේ රාජ්‍ය ආයෝජනයෙන් අඩකට වැඩි ප්‍රමාණයක් නාගරික සංවර්ධන අධිකාරියේ අනුමැතිය ඇතිව පෞද්ගිලක අංශය ක්‍රියාත්මක කර තිබෙනවා. ඒ ගැන අපි පෞද්ගලික අංශයේ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ පිරිස්වලට අපේ ප්‍රණාමය පුද කර සිටිනවා.

ඒ වගේම අපි නාගරික සංවර්ධන අධිකාරිය සහ මේ ආයතනයේ වෙනසක් අපි පසුගිය අවුරුද්දේ මැද භාගයේ සිට ආරම්භ කළා. ඒ අනුව දැන් කාටවත් බලපෑම් කරන්නේ නැතුව , විධිමත් ක්‍රමවේදයකට අනුව අයැදුම්පත් මගින් නිවාස ව්‍යාපෘති හෝ ඉදිකිරීම් ව්‍යාපෘතිවලට අනුමැතිය දීමත් සිදු කරනු ලබනවා. ඒ වගේම නාගරික සංවර්ධන අධිකාරියේ ඉඩම් විකිණීම පිළිබඳව අපි විධිමත් ප්‍රතිපත්තියක් ඇති කර තිබෙනවා. ඒ අනුව තරඟකාරී පදනමෙන්, වෙළෙඳ පොළ වටිනාකමට පමණයි ඒ කටයුතු සිද්ධ වෙන්නේ. ඒ වගේම කිසිම ඉඩමක් අපි සින්නක්කරව ලබා දීමක් සිදු කරන්නෙත් නෑ. මේ දේවල් අනුව පසුගිය කාලයේ තිබුණු විශාල චෝදනා ඉවත් කරලා විධිමත් ක්‍රියාපටිපාටියක් ඒ හැම ක්ෂේත්‍රයකම හඳුන්වා දී තියෙනවා.

අපේ අඩුපාඩුකම් තව තියෙනවා. අපි ඒවා හදාගෙන මේ ගමන යනවා. ඒ වගේම අපිට යම් චෝදනා හෝ විවේචන තිබෙනවා නම් ඒවා අප වෙත ඉදිරිපත් කරන්න. ඒවා නිවැරදි කරගෙන ඉදිරියට යාමට අපි බලාපොරොත්තු වෙනවා.

ශ්‍රී ලංකාවේ ඉදිකිරීම් ක්ෂේත්‍ර‍යේ ප්‍රශ්න ගණනාවක් පැන නැගී තිබෙනවා. ඉන් ප්‍රධානම ගැටලුව තමයි ශ්‍රම හිඟය. ඒ නිසාම තමයි අපි මේ ශුමය වගුරන පිරිස්වලට ප්‍රණාමය පළ කරන උළෙලක් පවත්වන්න තීරණය කළෙත්. අද විරැකියාව ගැන බොහෝ දෙනෙක් කතා කළාට මේ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ, කෘෂිකර්ම ක්ෂේත්‍රයේ අතිවිශාල රැකියා ප්‍රමාණයක් තිබෙනවා. නමුත් ඒවාට පිරිස් නැහැ. අපිට පේනවා අද මේ ක්ෂේත්‍රවල ලක්ෂ දෙකක් පමණ විදේශිකයෝ සේවය කරමින් ඉන්නවා. විශේෂයෙන්ම සංචාරක වීසා මත මෙරටට පැමිණ අපේ අවට කලාපයේ රටවල්වල ලක්ෂ දෙකකට ආසන්න පිරිසක් කාෂිකර්ම සහ ඉදි කිරීම් ක්ෂේත්‍රයේ තැන් තැන්වල අවිධිමත් ලෙස රැකියාවල නියැළෙනවා. දැන් අපේ ප්‍රශ්න විසඳිලත් නැති වතාවරණයක මෙය අනාගතයේ විශාල ප්‍රශ්නයක් වීමට ඉඩකඩ තිබෙනවා. අපි දන්නවා යුරෝපයේ ඇති වෙලා තිබෙන දේශපාලන කුණාටුවට ප්‍රධාන හේතුව ශ්‍රමය සඳහා පැමිණි සරණාගත පිරිස් යොදා ගැනීමයි. මේ පිළිබඳව රජය විධිමත් ප්‍රතිපත්තියක් අනුගමනය කළ යුතුයි කියලා ජනාධිපතිටත් අගමැතිටත් යෝජනා කර තිබෙනවා. විදේශික ශ්‍රමය මෙලෙස අවිධිමත් ලෙස කටයුතු කිරීම වෙනුවට විධිමත් ආකාරයකට සිදු කළ යුතුයි. ඒ වගේම අද අපේ ශ්‍රී ලාංකිකයන් මේ ක්ෂේත්‍රයට එකතු කර ගැනීම සඳහා ඔවුන් දිරි ගැන්වීමට අපි කටයුතු කරනවා.

අපේ සංඛ්‍යාලේඛන අනුව තාමත් ශ්‍රී ලංකාවේ 4% ක පමණ විරැකියාවක් පවතිනවා. එය ඇත්තටම අතීතයත් එක්ක සංසන්දනය කරන විට විශාල ජයග්‍රහණයක්. එක් දහස් අනූ අට- අසූ නවය කැරැල්ල ඇති වන වෙලාවේ මේ රටේ විරැකියා ප්‍රතිශතය 33% ක්. නමුත් අද ඒක 4% යි. ඒ ගැන සතුටු වෙන්න ඕනෑ. ඒකට ප්‍රධාන හේතු සාධක දෙකක් වුණේ රටේ ජනගහනය අඩු වීමත් එක්ක, තරුණ ජනගහනයේ අඩු වීමක් ඇති වීමත්. ඒ වගේම අතිවිශාල පිරිසක් විදේශ රැකියාවලට යොමු වීමත්. රටේ ජනගහනයෙන් 10% ක් විදේශ රැකියාවල නිරත වෙනවා. ආණ්ඩුවල හයියෙන්ම විසඳුණේ නැතත් එම ප්‍රශ්න මේ අයුරින් විසඳිලා තියෙනවා.

මේ පිරිස ඉදිකිරීම් ක්ෂේත්‍රයට එකතු කර ගැනීම තමයි අපේ බලාපොරොත්තුව. දැනට අපි වැඩබිම් දොළහක නිවාස දහතුන් දාහක් කොළඹ නගරයේ ඉදි කරගෙන යනවා. එය අතිවිශාල ව්‍යාපෘතියක්. ඒ සඳහා රජ්‍ය අනුග්‍රහයකින් තොරව , නාගරික සංවර්ධන අධිකාරියෙන් ඒ කටයුත්ත කරගෙන යන්නේ. ඒ ගැන අපි විශාල ප්‍රචාරක ව්‍යාපාරයක් අපි කරන්නේ නෑ. අපි බලන්නේ මේ ජනතාවට නිවාස සැපයීමට වඩා මේ ජනතාවගේ ජීවිත ගොඩනැඟීමයි. ඒ සඳහා එම ජනතාවට අපි ස්වයං රැකියා, අධ්‍යාපනය, ක්‍රීඩා, කලා කුසලතාවන් නැංවීම සිදු කරනවා. ඉදිරි අවුරුදු තුනේ දී අපි බලාපොරොත්තු වෙනවා ඒ ක්ෂේත්‍රවල විප්ලවීය පරිවර්තනයක් ඒ සමාජ කණ්ඩායම්වල සිදු වෙයි කියලා.

ඒ අනුව ඉදිරි මැතිවරණවලට, මැයි දිනයට, පෙළපාළිවලට සල්ලි දීලා, නාග සලං ගහලා ඒ ජනතාව දක්කා ගෙන ගිය යුගය අවසන් කර, ඒ ජනතාව වෘත්තීය මට්ටමේ පිරිසක් බවට පත් කරන්න, රට ඉදිරියට නැඹුරු කරන පිරිසක් බවට පත් කරන්න අපි කටයුතු කරනවා.

එතැනදී අපි ඉදිකිරීම් ක්ෂේත්‍රයට අපේ ප්‍රණාමය පුද කර සිටිනවා. ඔවුන්ගේ බර දරලා රජයට මුල් කාලයේ දී බරක් නොවන ආකාරයට මේ වැදගත් කටයුත්තට ඔවුන්ගේ දායකත්වය ලබාදීම පිළිබඳව. ඒ වගේම මේ වැඩබිම්වල සේවය කරන හාර දහසකට අධික වැඩ කරන අපේ ජනතාව ඇගයීමේ උළෙලක් තමයි මේ උළෙලේ දී සිදු වෙන්නේ. එයින් අපි බලාපොරොත්තු වන්නේ දැනටමත් ගම්බිම්වල සිටින දහස් ගණන් රැකියා විරහිත තරුණයන්ට නව සමාජ අවස්ථාවක් ඉදිකිරීම් ක්ෂේත්‍රය තුළ ලබාදීමයි.

අපි ආරාධනා කරනවා මේ රටේ විශේෂයෙන්ම තරුණ පරම්පරාවට ඉදිකිරීම් ක්ෂේත්‍ර‍යේ ශ්‍රම බළකායට ඇතුළු වන ලෙස. ඔබට මේ මගින් ඉහළට ගමන් කිරීමේ හැකියාව ලැබෙනවා. අද මේ ක්ෂේත්‍ර පිළිකුලට, වේදනාවට හෝ චෝදනාවට ලක් වන ක්ෂේත්‍ර නොවෙයි. තමන්ගේ ජීවිත, අතමිට සාක්කු සරු කරන ඉතාම හොඳ මාවතක්. ඒ වගේම රටේ ආර්ථිකයට තිබෙන විශාලතම දොරටුවක්. ඉදිකිරීම් ක්ෂේත්‍රයේ නියැළිලා ඉන්න අපේ පිරිස් විදෙස් රටවලත් ඉතා හොඳින් ඒ කටයුතුවල නියැළෙනවා. ඒ නිසා මේ ක්ෂේත්‍රයට ඇතුළු වෙන්න. ඇතුළු වෙලා රටට වැදගත් පුරවැසියෙක් බවට පත් වෙන්න. අපේ අතීත ශ්‍රී විභූතිය, අනුරාධපුර පොළොන්නරු සීගිරිය අතීත වාස්තු නිර්මාණය කළ අපේ මුතුන් මිත්තන්ගේ අතීත පෞඩත්වයට ඔබත් එක්වන්න කියලා අපි මේ විරැකියා තරුණ බලවේගයට ආරාධනා කර සිටිනවා. එමගින් ලබන නිපුණතාව මත ඔබටත් අනාගතයේ මහ නිපැයුම්කරුවෙක් බවට පරිවර්තනය වෙන්න පුළුවන්. අපි අනාවාර්යයෙන්ම අපේ අමාත්‍යාංශය මේ රටේ ඉදිරි ගමන් මගේ දී, විශේෂයෙන් ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ගමන් මඟේදී නායකත්වය අපි රාජ්‍ය අංශයෙන් දෙනවා. ප්‍රධාන වැඩ කටයුත්ත අපේ පෞද්ගලික අංශ ඉටු කරාවි . ඒ සඳහා ඔවුන්ට අවස්ථා පුළුල් කිරීම අපේ පරමාර්ථයයි.

ඉංජිනේරු සුමිත් ප්‍රසන්න මහතා-

මේ වන විට නාගරික පුනර්ජීවන ව්‍යාපෘතිය යටතේ වැඩබිම් 13ක පමණ සෘජුවම සේවකයන් 4000-4500 ක් අතර ප්‍රමාණයක් සේවය කරනවා. ඊට අමතරව වක්‍රාකාරව 10 000ක් පමණ මේ ව්‍යාපෘති සමඟ සම්බන්ධ වී වැඩ කරනවා. අපිට තියෙන ප්‍රශ්නය තමයි පළපුරුදු කාර්මිකයන් මේ ක්ෂේත්‍රයට එකතු කර ගැනීම. ඒ නිසා අපේ ඇමැතිගේ උපදෙස් පරිදි අපි තීරණය කළා ඔවුන් ඇගයීමට ලක් කරන වැඩසටහනක් ක්‍රියාත්මක කරන්න. ඒ අනුව සෑම ව්‍යාපෘතියකින්ම අපි සෑම ක්ෂේත්‍රයක්ම නියෝජනය වන ලෙස කුසලතා දැක්වූවන් තෝරාගෙන ඔවුන්ව ඇගයීමට ලක්කිරීම තමයි මේ හරහා සිදු වෙන්නේ. ඒ නිසා සෑම ව්‍යාපෘතියකින්ම ක්ෂේත්‍ර 22ක් ආවරණය කරමින් ජාත්‍යන්තරය පිළිගත් සහතිකයක්, කුසලානයක් හා ඊට අමතරව සේවා සපයන ආයතනවල අනුග්‍රහය යටතේ ඔවුන්ට රන් පවුමක් වැනි දේ ඔහු ඇගයීමට ලක් කරමින් ප්‍රදානය කරන්න.

ඊට අමතරව දැනට ක්ෂේත්‍රයේ සේවය කරන සියලු දෙනාටම එම දිනයේ සිට වසරක කාලයක් සඳහා ජීවිත ආරක්ෂණයක් ලබාදීමට ද බලාපොරොත්තු වෙනවා.

මේ සම්මාන උළෙල සඳහා සම්පූර්ණ දායකත්වය දක්වන්නේ අපේ ව්‍යාපෘතිවලට සේවා සහ භාණ්ඩ සපයනු ලබන ආයතන මගින්. විශේෂයෙන් මෙහි ප්ලැටිනම් (ප්‍රධාන) අනුග්‍රහය ‍ලබාදීමට මෙල්වා ආයතනය ඉදිරිපත් වී සිටිනවා.

මේ විශේෂ මාධ්‍ය හමුවට ඉංජිනේරු නිහාල් රූපසිංහ (ලේකම්) , ආචාර්ය ජගත් මුණසිංහ (සභාපති- නාගරික සංවර්ධන අධිකාරිය), ඉංජිනේරු සුමේධ රත්නායක ( අධ්‍යක්ෂ ජනරාල්- නාගරික සංවර්ධන අධිකාරිය), ඉංජිනේරු අමිල ප්‍රියන්ත ( අධ්‍යක්ෂ - නාගරික සංවර්ධන අධිකාරිය) මහත්වරු ද සහභාගි වූහ.

ක්‍රිසන්ති විතාරණ
ඡායාරූප - සිරිපාල හල්වල 

නව අදහස දක්වන්න