හොඳම මුදල් ඇමැති ලෙස රවී කරුණානායක තෝරා ගැනීම බලවත් සතුටක් | දිනමිණ

හොඳම මුදල් ඇමැති ලෙස රවී කරුණානායක තෝරා ගැනීම බලවත් සතුටක්

සිතාරා සේනානි
ශ්‍රී ලංකා මහාබෝධි සමාගමේ නියෝජ්‍ය ලේකම්, නුගේගොඩ නාලන්දාරාමවාසී තිනියාවල පාලිත නාහිමියෝ මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ අයුරු. නව සම සමාජ පක්ෂයේ නායක ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න, ජාතික සමඟි පෙරමුණේ නායක අසාද් සාලි, එක්සත් ජනතා පෙරමුණේ නායක සිරිමසිරි හපුආරච්චි මහත්වරු ඇතුළු පිරිසක් ද මේ අවස්ථාවට සහභාගී වූහ.  ඡායාරූපය- සිරිපාල හල්වල.

බ්‍රිතාන්‍යයේ පළ කරන 'ද බෑන්කර්' සඟරාව විසින් මේ වසරේ ආසියා පැසිපික් කලාපයේ හොඳම මුදල් ඇමැතිවරයා ලෙස මෙරට මුදල් ඇමැති රවී කරුණානායක මහතා තෝරා ගනු ලැබීම සම්බන්ධයෙන් ශ්‍රී ලාංකිකයන් ලෙස බලවත් සතුටට පත් වන බව ශ්‍රී ලංකා මහාබෝධි සමාගමේ නියෝජ්‍ය ලේකම්, නුගේගොඩ නාලන්දාරාමවාසී තිනියාවල පාලිත නාහිමියෝ පවසති.

මුදල් ඇමැති රවී කරුණානායක මහතා මෙරට ආර්ථික සංවර්ධනය වෙනුවෙන් ලබා දී ඇති දායකත්වය ඇගයීමට ලක් කරමින් මෙම සම්මානය ලබා දීමට තෝරා ගෙන ඇති බවද උන්වහන්සේ පවසති.

අදාළ සම්මානය මුදල් ඇමැතිවරයා වෙත එංගලන්තයේදී ඊයේ(24) දින පිරිනැමු බවත්, එවැනි සම්මානයක් පළමුවතාවට ශ්‍රී ලාංකිකයකු වෙත ලැබීම රට ලැබූ ජයග්‍රහණයක් බවත්, උන්වහන්සේ පවසති.

තිනියාවල පාලිත නාහිමියෝ මේ බව පැවසුවේ කොළඹ නිපොන් හෝටලයේ පසුගිය (23)දා පැවැති මාධ්‍ය හමුවකදී ය.

එහිදී අදහස් දැක්වූ තිනියාවල පාලිත නාහිමි,

එංගලන්තයේ 'ද බෑන්කර් සඟරාව' සෑම වසරකම හොඳම මුදල් ඇමැති, හොඳම මහ බැංකුව, හොඳම බැංකුව, කලාපීය වශයෙන් හොඳම මුදල් ඇමැති යනාදී වශයෙන් සම්මාන පිරිනමනවා. මෙවර ආසියා පැසිපික් කලාපීය හොඳම මුදල් ඇමැති ලෙස රවී කරුණානායක මහතා නම් කිරීම අපේ රටට විශාල ගෞරවයක්.රවී කරුණානායක මහතා වරලත් ගණකාධිකාරීවරයකු ලෙස දේශීය හා විදේශීය වශයෙන් ඉතා ඉහළ වෘත්තීය සුදුසුකම් සපුරාලීමෙන් පසුව දේශපාලනයට පැමිණි කෙනෙක්. 1994 සිට අඛණ්ඩව අපරාජිතව පාර්ලිමේන්තුව නියෝජනය කරන ඒ මහතා 1999දී වසරේ තරුණ දේශපාලනඥයා ලෙසත් සම්මානයට පාත්‍ර වුණා.

කෙතරම් ඉහළ සුදුසුකම් ඇති එමෙන්ම, ජනතාව වෙනුවෙන් විශාල සේවයක් සිදුකරන ඇමැතිවරයකු වුවත් මේ රටේ ඇමැතිවරුන් අතරින් වැඩියෙන්ම බැණුම් අහන, අපහාස උපහාස ලබන ඇමතිවරයා වන්නේත් රවී කරුණානායක මහතායි. කොපමණ හොඳ කෙනෙක් වුණත් අගය කිරීමේ ගුණයක් අපේ රටේ නැහැ. ඒත් එම වටිනාකම් හොඳින් තේරුම් ගෙන ඇති බ්‍රිතාන්‍යයේ ද බෑන්කර් සඟරාව මේ වටිනා සම්මානය පිරිනැමීම සඳහා එතුමා තෝරා ගෙන තිබෙනවා.

රවී කරුණානායක මහතා 2014දී රුපියල් බිලියන 1205ක්ව තිබූ මේ රටේ ජාතික ආදායම 2015 වනවිට රුපියල් බිලියන 1461ක් දක්වා වැඩිකළා. 2016දී එය රුපියල් බිලියන 1660ක් දක්වා වැඩි කළා. 2014දී රුපියල් බිලියන 1050ක්ව තිබූ බදු ආදායම 2015දී බිලියන 1356 දක්වා වැඩිකළා. 2016 වසරේ එය බිලියන 1458ක් බවට පත් කර ගැනීමට කරුණානායක මහතා සමත් වුණා.

ජාතික සමඟි පෙරමුණේ නායක අසාද් සාලි මහතා-

අපි සතුටු වෙනවා ඉතිහාසයේ පළමුවැනි වතාවට මේ රටේ මුදල් ඇමැතිවරයකුට මෙවැනි සම්මානයක් ලැබීම ගැන. එතුමා මේ රජය බලයට පත්කිරීම සඳහා දරදිය ඇදපු කෙනෙක්. ජනතා දුක හඳුනා ගෙන ඔවුන් වෙනුවෙන් සේවය කරන ජනතා නායකයෙක්. එතුමාට මෙම සම්මානය ලැබීම ගැන විපක්ෂයේ සහ ආණ්ඩුවේ සිටින ඇමැතිවරුන් කීපදෙනෙක් ප්‍රචාරය කරන්න පටන් අරන් තිබෙනවා කැබිට් සංශෝධනයක් සිදුවෙනවා, රවී කරුණානායක මහතාට මුදල් ඇමැතිකම නැති වෙනවා කියලා. මම කියන්නේ රවී කරුණානායක මහතාට මොන ඇමතිකම ලැබුණත් එතුමා දක්ෂයි, එතුමා ඒ කුමන අමාත්‍යාංශය ලැබුණත් ඒ වගකීම හරියට ඉටු කරන කෙනෙක් බවයි. 2012දී රුපියල් බිලියන 909ක්ව තිබූ බදු ආදායම එතුමා මුදල් ඇමැතිවීමෙන් පසු බිලියන 1458 දක්වා වැඩි කර තිබෙනවා.

බදු ලිපිගොනු සංඛ්‍යාව වැඩි කළා. දින සීයේ වැඩපිළි‍වෙළ යටතේ අත්‍යවශ්‍ය භාණ්ඩ රැසක මිල අඩුකිරීමටත්, වැටුප් වැඩිකිරීමටත් එතුමා කටයුතු කළා. ජනතාධිපතිතුමාගේත්, අගමැතිතුමාගේත් වැඩපිළිවෙළ යටතේ ඒ සඳහා එතුමා පියවර ගත්තා.

නව සම සමාජ පක්ෂයේ නායක ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න මහතා-

මම සමාජවාදියෙක්. රවී කරුණානායක මහතා සමාජ ධනවාදය සහ සමාජ ධනවාදී වෙළෙඳපොළ ආර්ථික ක්‍රමය පිළිගන්නා කෙනෙක්. එහෙත් එම ක්‍රමය යටතේ වුවත් සාමාන්‍ය ජනතාව වෙනුවෙන් දිය හැකි උපරිම සහන ලබා දීම සඳහා මැදිහත්වූ කෙනෙක්. පසුගිය රාජපක්ෂ ආණ්ඩුව ගෙන ගිය ආගම්වාදී, ජාතිවාදී, ෆැසිස්ට් පාලනයට එරෙහිව 2008 වසරේ සිට රවි කරුණානායක මහතා අපත් සමඟ එක්ව කටයුතු කළා. එම පාලනය අපට එරෙහිව තුවක්කු, පිස්තෝල, කඩු, කිණිසි අරන් එනවිට එතුමා අපත් සමඟ ඒවාට එරෙහිව නොසැලී සිට ගත්තා. පොදුරාජ්‍ය මණ්ඩලයීය සමුළුව මෙරට පැවැත්වෙන අවස්ථාවේ එවක ආණ්ඩුව ජනතාවගේ කට බැඳ දැමුවත්, අපට පුළුවන් වුණා මානව හිමිකම් කඩකිරීම් සම්බන්ධයෙන් ප්‍රදර්ශනයක් පවත්වා කැල්ලම් මැක්රේ වැනි විදේශීය මාධ්‍යවේදීන් මෙරටට ගෙන්වා පුළුල් ප්‍රචාරයක් ලබා දීමටත් කටයුතු කළා.

මේ රටේ බදු ගෙවීම්වලදී 2015ට පෙර සියයට 80%ක් බදු බර පැටවී තිබුණේ සාමාන්‍ය ජනතාවටයි. ධනපතියන්ට බදු බර පැටවී තිබුණේ 20%යි. මේ තත්ත්වය වෙනස් කර දුප්පත් ජනතාව වෙනුවෙන් සහන සැලසීමට රවි කරුණානයක මහතා විශාල මැදිහත්වීමක් කළා. ඒ මැර බලයෙන් නොවේ සාකච්ඡාවෙන්. ලක්ෂ 7ක්ව තිබූ බදු ලිපිගොනු සංඛ්‍යාව ලක්ෂ 14ක් දක්වා වැඩි කිරීමට එතුමාට හැකිවුණේ ඒ අනුවයි. 80%ක්ව පැවති දුප්පතුන්ගේ බදු බර 20%කින් අඩු කිරීමටත්, 20%ක්ව තිබූ පොහොසතුන්ගේ බදු බර තවත් 20%කින් වැඩිකිරීමටත් එතුමා සමත් වුණා. එම නිසා එතුමාට මෙම සම්මානය ලැබීම පිළිබඳ අපගේ සතුට පළ කරනවා.

එක්සත් ජනතා පෙරමුණේ නායක සිරිමසිරි හපුආරච්චි මහතා ඇතුළු කිහිපදෙනකු ද අදහස් දැක්වූහ.

නව අදහස දක්වන්න