හස්ත කර්මාන්ත සංවර්ධනයට මිලියන 28ක් | දිනමිණ

හස්ත කර්මාන්ත සංවර්ධනයට මිලියන 28ක්

චන්ද්‍රිකා පෙරේරා

සාම්ප්‍රදායික හස්ත කර්මාන්තය නැංවීමට සැලසුම් ක්‍රියාවට නැංවීම සඳහා මේ වසරේ රජය රුපියල් මිලියන 28ක මුදලක් වෙන් කර තිබේ.

හස්ත කර්මාන්ත ක්ෂේත්‍රයේ නිරත ශිල්පීන්ට තාක්ෂණික දැනුම හා කළමනාකරණය පිළිබද පුහුණුව ලබා දීම, මුලික උපකරණ ලබා දීම මගින් ඔවුන් ශක්තිමත් කිරීම හා වෙළඳපොළ අවස්ථා ඇති කිරීමෙන් ග්‍රාමීය ආර්ථිකය නැංවීම රජයේ ප්‍රධාන අපේක්ෂා අතර වෙයි.

ග්‍රාමීය ආර්ථීකය නගා සිටුවීමේ ප්‍රධාන අරමුණින් සාම්ප්‍රදායික හස්ත කර්මාන්ත ගම්මාන සංවර්ධනය කිරීම සිදුකෙරෙන බව ග්‍රාමීය ආර්ථික අමාත්‍යංශය පෙන්වා දෙයි. මේ අනුව හස්ත කර්මාන්තය කෙරෙන ප්‍රදේශවලට ආවේණික කර්මාන්ත සම්බන්ධයෙන් ඒ ඒ ප්‍රදේශවල ක්‍රියාත්මක කළ යුතු සංවර්ධන ව්‍යාපෘතී පිළිබඳ නිසි ලෙස වාර්තා සකසා කඩිනමින් එවන ලෙස ප්‍රාදේශීය ලේකම්වරුන් දැනුවත් කර ඇති බව ග්‍රාමීය කටයුතු අමාත්‍යංශය සඳහන් කරයි.

මෙම ව්‍යාපෘතිය සදහා 2016 වර්ෂයට රුපියල් මිලියන 29 ක ප්‍රතිපාදන ලබා දී ඇත. මෙම ව්‍යාපෘතිය මගින් තාක්ෂණික උපකරණ සහ පොදු පහසුකම් ලබා දීම නිර්මාණාත්මක මෝස්තර හදුන්වාදීම නිර්මානාත්මක කුසලතා සංවර්ධනය කිරීම සහ අමුද්‍රව්‍ය හා මුලික උපකාර ලබා දීම සිදු කෙරේ.

මේ යටතේ දීප ව්‍යාප්තව හඳුනාගත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 68 ක සාම්ප්‍රදායික හස්ත කර්මාන්ත ගම්මාන සංවර්ධනය කිරීමට කටයුතු කර ඇත. ඉඳි, පන්, හණ, මැටි, ලී, කිතුල්,ස්වර්ණාභරණ ,ලාක්ෂා සහ වේවැල් වැනි සාම්ප්‍රදායික කර්මාන්ත දියුණු කිරීම මේ යටතේ සිදු කෙරේ.

ග්‍රාමීය මැටි කර්මාන්ත නිෂ්පාදන ක්ෂේත්‍රයේ නිරත කාර්මිකයන් සඳහා ද නව තාක්ෂණය ලබා දීමට ග්‍රාමීය කටයුතු අමාත්‍යංශය මේ අනුව තීරණය කර තිබේ.

වෙළඳපොළ ඉල්ලුම පවතින ගුණාත්මක , උසස් අත්කම් භාණ්ඩ නිෂ්පාදනය කෙරෙහි යොමු කරවීම, කුසලතා වර්ධනය කිරීම හා නවීන උපකරණ හඳුන්වා දීම මෙම ව්‍යාපෘතිවල අරමුණු බව එම අමාත්‍යංශය පැවසීය.

මීට අමතරව 2017 වසරේදී ග්‍රාමීය ප්‍රදේශවල ප්‍රජාවගේ ජීවනෝපාය සංවර්ධනයට අවශ්‍ය ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම හා එම ප්‍රදේශවල හඳුනාගත් යටිතල පහසුකම් සංවර්ධනය කිරීමටද රජය සැලසුම් කර ඇත. 

නව අදහස දක්වන්න