ටෙස්ට් පරාජයේ වේදනාවත් සමඟ ශ්‍රී ලංකාව අද දඹුලු පිටියට | දිනමිණ

ටෙස්ට් පරාජයේ වේදනාවත් සමඟ ශ්‍රී ලංකාව අද දඹුලු පිටියට

ෆවුස් මොහොමඩ්

මෑත කාලයේ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ සටන්කාමී කණ්ඩායමක් බවට පත්වී ඇති බංග්ලාදේශ පිලට එරෙහිව පැවැත්වෙන තරග 3කින් සමන්විත එක්දින තරගාවලියේ දිවා රාත්‍රී පළමු තරගයට ශ්‍රී ලංකා කණ්ඩායම අද (25) රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී මුහුණ දෙයි.

ශ්‍රී ලංකා පිලේ නිත්‍ය නායක ඇන්ජෙලෝ මැතිව්ස් තවමත් පූර්ණ සුවය ලබා නොසිටින බැවින් අද ඇරඹෙන එක්දින තරගාවලියේදිත් නායකත්වය හිමිවී ඇත්තේ උපුල් තරංගටය. මීට පෙර සිම්බාබ්වේ සහ දකුණු අප්‍රිකාවේ පැවැති එක්දින තරගවලදී කණ්ඩායමට නායකත්වය දුන් උපුල් තරංගට මෙවර තරගාවලිය වඩාත් වැදගත් වන්නේ එය ශ්‍රී ලංකා භූමියේ පැවැත්වෙන බැවිනි.

සරවනමුත්තු ටෙස්ට් තරගයෙන් ලැබූ පරාජයේ වේදනාව යටපත් කිරිමට බලා සිටින උපුල් තරංග ඇතුළු ශ්‍රී ලංකා පිල මේ තරගාවලිය සම්පූර්ණයෙන්ම ජයගැනීමට හැකි සියලු උත්සාහයන් ගනු ඇත. එක්දින තරගාවලිය 3-0කින් සහ විස්සයි 20 තරගාවලිය 2-0කින් ජයගැනීමෙන් බංග්ලාදේශය හමුවේ ලැබූ ටෙස්ට් පරාජයේ ලජ්ජාව යම් තරමකින් මකා දැමීමට හැකිවනු ඇත.

අනිත් අතට රංගිරි දඹුල්ල ක්‍රීඩාංගණයේ මෙතෙක් තරග 38කට සහභාගිවී ඇති ශ්‍රී ලංකා පිල ඉන් 25ක්ම ජයගැනීමට සමත්ව ඇති අතර පරාජයට පත්වී ඇත්තේ තරග 12ක් පමණි. එබැවින් අද තරගයේ වැඩි වාසිය දෝලනය වන්නේ ශ්‍රි ලංකා පිල දෙසටය.

එසේ වුවත් දැන් බංග්ලාදේශ පිල අවතක්සේරු කළ නොහැකි කණ්ඩායමක් බවට පත්වී තිබේ. වසර 4කට පසුව ශ්‍රී ලංකාවේ සංචාරය කරන ඔවුන් අද දඹුල්ලේදී තරග වදින්නේ පී.සරවනමුත්තු පිටියේ පැවැති දෙවැනි ටෙස්ට් තරගය ජයගැනීමෙන් ඇතිවූ සටන්කාමී මානසිකත්වය එලෙසින්ම රඳවා තබාගෙනය. එය වඩාත් හොඳින් තහවුරු වන්නේ පසුගියදා සී.සී.සී.පිටියේ පැවැති පුහුණු තරගයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයාගේ පිල ඕවර 50කට රැස් කළ ලකුණු 354 හඹා ගිය ඔවුන් අවසානයේදී ලකුණු 2කින් පමණක් තරගය පරාජයට පත්වීමය.

කලෙකට පසුව එක්දින සංචිතයට ඇතුළත් කළ ප්‍රහාරාත්මක ආරම්භක පිතිකරු කුසල් ජනිත් පෙරේරා බංග්ලාදේශය සමග පැවැති පුහුණු තරගයේදී ආබාධයකට ලක්වීම නිසා අද තරගයට ක්‍රීඩා කරන්නේ නැත. ඔහු ලබන 28 වැනිදා දඹුල්ලේදීම පැවැත්වෙන දෙවැනි එක්දින තරගයට ක්‍රීඩා කිරීමත් අවිනිශ්චිතය. ඔහු වෙනුවට මැදපෙළ පිතිකරුවකු වන මිලින්ද සිරිවර්ධන කණ්ඩායමට ඇතුළත්වී සිටී. මේ අතර පසුගිය ඔස්ට්‍රේලියානු විස්සයි20 තරග සංචාරයේ දෙවැනි තරගය අතරතුර සිය දැවීයාම සම්බන්ධව විනිසුරු තීරණයට විරෝධය පෑමේ ඉරියව්වක් පෙන්නුම් කිරීම නිසා අයි.සී.සී.ය මගින් නිරෝෂන් දික්වැල්ලට තරග 2ක තහනමක් ලබාදී තිබිණි. ඔහුගේ තරග 2 තහනම නිමාවන්නේ අද තරගයෙනි.

වසර 1986 සිට බංග්ලාදේශය සමග එක්දින තරග බිමේ ගැටෙන ශ්‍රී ලංකාව දෙපිල අතර මෙතෙක් පැවැති එක්දින තරග 38න් තරග 33ක්ම ජයගෙන ඉදිරියෙන් පසුවන අතර බංග්ලාදේශයට ජයගැනීමට හැකිවී ඇත්තේ තරග 4ක් පමණි. එක් තරගයක් ප්‍රතිඵල රහිතව අත්හැර දමා තිබිණි. අවසන් වරට දෙපිල එක්දින තරග බිමේදී මුණගැසුණේ 2015 ලෝක කුසලාන තරගමාලාවේදීය.

ශ්‍රී ලංකා එක්දින සංචිතය: උපුල් තරංග (නායක), නිරෝෂන් දික්වැල්ල, ධනංජය ද සිල්වා, කුසල් මෙන්ඩිස්, අසේල ගුණරත්න, දිනේෂ් චන්දිමාල් (කඩුලු රකින්නා), ධනුෂ්ක ගුණතිලක, සුරංග ලක්මාල්, ළහිරු කුමාර, විකුම් සංජය, තිසර පෙරේරා, සචිත් පතිරණ, සීකුගේ ප්‍රසන්න, ලක්ෂාන් සඳකැන්

බංග්ලාදේශ සංචිතය: මෂ්රෆි මොර්ටසා (නායක), ඉම්රුල් කයිස්, මහමුදුල්ලාහ්, මොසඩෙක් හුසේන්, මුෂ්ෆිකර් රහිම් (කඩුලු රකින්නා), මුස්ටෆිසුර් රහ්මාන්, නුරුල් හසන්, රුබෙල් හුසේන්, සබිර් රහ්මාන්, ෂකිබ් අල් හසන්, ෂුවගාටා හොම්, සෞම්‍ය සර්කාර්, සුබාෂිස් රෝයි, සන්සමුල් ඉස්ලාම්, ටම්මි ඉක්බාල්, ටස්කින් අහමඩ් 

නව අදහස දක්වන්න