ලාභත් නැති පාඩුත් නැති බෑග් වෙළෙ­ඳාම | දිනමිණ

ලාභත් නැති පාඩුත් නැති බෑග් වෙළෙ­ඳාම

මදාරා මුද­ලිගේ

 හිරු රශ්මියෙන් ඇස් කෙවෙනි රිදුම් දෙයි. කුසගින්නේ ඔබ මොබ පියාසර කරන කාක්කන්ගේ ගෝරනාඩුවද ඊට දෙවැනි නැත. එසේම මහමඟ ධාවනය කරන රථවාහනවල නළා හඬ කන් බිහිරි කරවන සුළුය. ඇතැම් පදික වෙළෙන්දන් ‍කෙසේ හෝ තම භාණ්ඩ විකුණා ගැනීමේ අටියෙන් නොයෙක් අතොරක් නැති ප්‍රචාරයක නියැලී සිටී.

මේ සියලු දෑ සිදුවන අතරේදී කෘෂ වූ ශරීරයන්ගෙන් යුක්ත බඩු ඔසවා යන නාටාමිලා දහඩිය වගුරවමින් ඉදිරියට වේගයෙන් ඇදී යන්නේ කෙසේ හෝ තම බඩ වියත රැකගැනීමට හෝ තම දරු පවුල නඩත්තු කිරීමේ අභිලාෂයෙන් බව අපි සැවොම දන්නා නොරහසකි. කොළොම්පුරය එසේත් නැතිනම් පිටකොටුවෙහි මල්වත්ත පාර ප්‍රසිද්ධියක් උහුලන්නේ බෑග් වෙළෙන්දන්ටය. එය සැබවින්ම මල්වත්ත පාර නම් බෑග්, බෑග් නම් මල්වත්ත පාර යන්න මෙනි. එසේ නම් මේ කොළඹ පිටකොටුවෙහි මල්වත්ත පාරෙහි තම ව්‍යාපාර පවත්වාගෙන යන බෑග් වෙළෙන්දන්ගේ ව්‍යාපාරවල ඇතුළාන්තයෙන් බිඳකි.

මේ ඔක්කොම ගෙන්නන්නේ චයිනාවලින් තමයි. එන්න එන්න අඩුකරලා දෙන්නම්. අපි ළඟ ඔක්කොම තියෙන්නේ කොලිටි බඩු තමා. මෙවැනි විවිධාප්‍රකාරයේ කියමන් අසමින් ඉදිරියට ගිය මා හට මුලින්ම හමුවූයේ මරදානේ පදිංචි මොහොමඩ් සෆ්ලීන්ය.

මම මේ බිස්නස් එක කරන්නේ අවුරුදු 20 ක ඉඳලා. රු.700 ඉඳන් රු.8500 වෙනකම් මිල ගණන්වලට මං ළඟ බෑග් තියෙනවා. ඒ කොහොම වුණත් දැන් ඉස්සර වාගේ නෙමෙයි. මල්වත්ත පාරට බෑග් ගන්න එය අය අඩුයි. දැන් ඉස්සර වගේ නෙමෙයිනේ ලංකාවේ හැම තැනම බෑග් තියෙනවා. ඒ හින්දා දැන් මල්වත්ත පාරේ බිස්නස් අඩුයි. අපි ඉතින් එදා ඉඳලා කරපු පුරුදු රස්සාවනේ දැන් ඉතින් මොනවා කරන්නද?

එලෙස තම අදහස් ප්‍රකාශ කළ ඔහු තම බෑග් සාප්පුවේ ඇති මිල අධික බෑග් සහ මිල අඩු බෑග් පෙන්වා දුන්නේය.

පසුගිය කාලයේ බිස්නස් තිබුණෙම නෑ. හැබැයි නොවැම්බර්, දෙසැම්බර් (පාසල් නිවාඩුව) කාලේ නම් බිස්නස් ටිකක් හොඳයි. අලුත් අවුරුද්දත් පටන් ගන්නකොට ඉස්කෝලෙ ළමයින්ට බෑග් එකක් ඕනෙමයිනේ. ඒ හින්දා අපිටත් සරුයි. මගේ ළඟ තියෙන්නේ ඔක්කොම චීනෙන් ගෙන්නන ඒවා තමයි. අවුරුද්දක වොරන්ටියකුත් මම දෙනවා. රු.500 ඉඳන් රු.10,000 වෙනකම් බෑග් තියෙනවා තෝරලා බලලා ගන්න පුළුවන්.

ඔහු මාතර පදිංචිවී සිටින මාගලිගම් උදයරාජ්ය. එලෙස ඔහු තම ව්‍යාපාරයේ අදහස් දක්වන අතරතුරදීද මවක සමඟ පැමිණි කුඩා දරුවෙක් තමන්ට අවශ්‍ය බෑගය තෝරන්නේ මුවඟ ටිකිරි සිනා නගමිනි. එයින් නිමග්න වන්නේ කුඩා දරුවකු සතුව පවතින සුරතල් දඟකාරකම බවනම් කිව යුතුමයි. කර්න කටුක කොළොම්පුරයෙහි මෙම දරුවාගේ සිනාරැල්ල වියළී ගිය තණ මඩලකට වැටුණු දිය පොදක් මෙනි.

ඉන් මිදුණු මම නැවත ඉදිරියට ගමන් කළෙමි. ජනී ජනයාගේ හිස්වලින් පිරුණු මහ මඟ අමුතුම ආකාරයේ ලොවකි. මම 1980 තමයි මුලින්ම පිටුකොටුවට ආවේ බිස්නස් කරන්න. මම කලින් කිසිම වෙන රැකියාවක් කරලා නෑ. පටන් ගත්ත මුල්ම රස්සාව තමයි මේ. ඉස්සර නම් හොඳට බිස්නස් තිබ්බා.

දැන් නම් හරිම සවුත්තුයි. බෑග්වල මිල වැඩිකරහම කිසිම ලාභයක් ගන්න බෑ. ඒ හින්දා අපිටත් මිනිසුන්ටත් සාධාරණ විදිහට තමයි මම බෑග් විකුණන්නේ. අපි පුංචි කාලේ ලංකාවේ බෑග්වලට ප්‍රසිද්ධිය තිබුණේ මල්වත්ත පාර විතරයි. දැන් එහෙම නෑ. හැම තැනම තියනවනේ. මල්වත්ත පාරෙහි සිටින බෑග් ව්‍යාපාරිකයන් අතර බහුතරයක් දෙමළ සහ මුස්ලිම් ජාතිකයෝය. එහෙත් ජාති භේද නොමැතිව සහෝදරත්වයෙන්, සහජීවනයෙන් කටයුතු කරනා ඔවුන් සැබෑ මනුෂ්‍යත්වය විදහා පෙන්වනු ලබයි.

මට නම් හිතෙන්නේ දැන් තියෙන ආර්ථිකෙත් එක්ක මිනිසුන්ට බෑග් ගන්න සල්ලි නෑ. සීසන් එකේ නම් ටිකක් බිස්නස් තියෙනවා. මිනිස්සු මෙහෙ තියෙන තදබදේ එක්ක පිටකොටුවට එන්න කැමති නෑ. ඒ වුණත් මම රු.375 ඉඳන් රු.5000 වෙනකම් බෑග් විකුණනවා. තමන්ගේ අතේ තියෙන මුදලට බෑග් ගන්න පුළුවන්. ඔහු ග්‍රෑන්ඩ් පාස්හි පදිංචි වී සිටින කදිරගාමන් නාදන් ය. මේ අතරවාරයේදී මල්වත්ත පාරෙහි අනෙක් පස පදික වෙළෙන්දුන්ගේ තමා සමෘද්ධි කඩපිලවල්වල මිනිසුන් පොරකන්නේ රසමසවුලකට ඇලි ගැලී සිටින කපුටු රංචුවක් මෙනි. සමහර විටෙක එම ස්ථානවල අඩු මිලට යමක් විකුණන නිසාවීමට පුළුවන.

දැන් විදේශ ජාතිකයනුත් අඩුවටයි බෑග් ඉල්ලන්නේ. අපි කිව්වොත් මේකයි ගාණ කියලා. ඒගොල්ලෝ දන්නවා අපි කියන්නෙ බොරුවක් කියලා. දැන් ඒගොල්ලොත් අඩුම බෑග් ගන්න තමයි උත්සාහ කරන්නේ. ගොඩක්ම එන්නේ මාලදිවයින් ජාතිකයින්. ඒගොල්ලෝ ත්‍රිවිලරයකට වුණත් රු.50 ක් හරි අඩුවෙන් තමයි යන්නේ. ඒගොල්ලොත් ඉස්සර වගේ නෙමෙයි “මට මේ රස්සාව හොඳත් නෑ නරකත් නෑ” එලෙස තම අදහස් ප්‍රකාශ කළේ මීට අවුරුදු 28කට පෙර මල්වත්ත පාරෙහි බෑග් ව්‍යාපාරවලට සේවය සපයන ‍මොහොමඩ් අස්ලීම් ය.

දැඩි අව් රශ්මියත් ලාභ නොලබන කළ සිතට දැනෙන පශ්චාත්තාපයත්, තවත් වරෙක කෙසේ හෝ තම දරු පවුල නඩත්තු කිරීමේ අරමුණෙනුත් පසුවන මෙම මල්වත්ත පාරෙහි ව්‍යාපාරික ප්‍රජාව වර්තමානයේ සිටින්නේ දෙලොවක අතරමං වූ පිරිසක් ලෙසිනි. විටෙක පාඩුවත්, තවත් විටෙක ලාභයත් හමුවේ ඔවුන්ගේ ජීවිත ගෙවී යන්නේ නිරායාසයෙනි. ඒ බව මනාව වැටහුණේ මොහොමඩ් අස්ලිම් අවසානයට මා හට ප්‍රකාශ කළ මේ කියමනෙනි. “අද අපිට හොඳයි, හෙට තව කෙනෙකුට හොඳ වෙන්න පුළුවන්. දෙයියෝ දෙන විදිහක් තමයි ඉතින්.”

 

නව අදහස දක්වන්න