අප­න­යන ආදා­යම වැඩි කිරීමේ පුළුල් වැඩ­ස­ට­හ­නක් | දිනමිණ

අප­න­යන ආදා­යම වැඩි කිරීමේ පුළුල් වැඩ­ස­ට­හ­නක්

ජයසිරි මුණසිංහ

ශ්‍රී ලාංකේය අපනයනකරුවන් 2000ක් (දෙදහසක්) දෙනා බිහි කිරීමේ සිව් අවුරුදු (2017 – 2020) ජාතික වැඩපිළිවෙළේ සමාරම්භක උත්සවය අද (23) යාපනයෙන් ආරම්භ කැරේ.

ඉදිරි වසර හතර ඇතුළත ශ්‍රී ලංකාවේ අපනයන ආදායම ඇමෙරිකානු ඩොලර් බිලියන 20ක් බවට පත්කිරීමේ ඉලක්කය ජය ගන්නට උපකාරි වන දිරිමත් අපනයනකරුවෝ 2000ක් බිහි කිරීම නව ජාතික වැඩපිළිවෙළේ අරමුණ වී තිබේ.

අද උදේ 9.00 සිට යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදී මේ උත්සවය පැවැත්වේ.

දැනට ඇමෙරිකානු ඩොලර් බිලියන 10 – 14ත් මට්ටමේ පවතින අපනයන ආදායම ඇමෙරිකානු ඩොලර් බිලියන 20ක් බවට ඉහළ නංවාගැනීමට නම් දෙයාකාරක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතුය. එනම් දැනට සාර්ථකව විදේශ වෙළෙඳාමේ යෙදෙන අපනයනකරුවෝ තවදුරටත් දිරිමත් කිරීම සහ අලුතින් අපනයනකරුවෝ බිහි කිරීම ඒ වැඩපිළිවෙළ බව උපායමාර්ගික සංවර්ධන හා ජාත්‍යන්තර වෙළෙඳ ඇමැති මලික් සමරවික්‍රම මහතා ප්‍රකාශ කෙළේය.

දැනට විදේශ වෙළෙඳාමේ නිරත අපනයනකරුවන්ගේ ධාරිතාවය ඉහළ නැංවීම, අලුතින් පිරිස් ඒ වෙත යොමු කිරීම සඳහා ජනපති - අගමැති සුසංයෝගයේ උපදෙස් මත මේ වැඩපිළිවෙළ ආරම්භ කළ බව ද ඇමැතිවරයා කීය.

මුළු රටම ආවරණය වන පරිදි නව අපනයනකරුවෝ බිහි කිරීම රජයේ අරමුණ බව කී මලික් සමරවික්‍රම මහතා, ඒ අනුව අද යාපනයෙන් මේ ජාතික වැඩපිළිවෙළ ආරම්භ කරන බව ද කීය.

ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති සහ ප්‍රධාන විධායක ඉන්දිරා මල්වත්ත මහත්මිය, අපි යාපනය ප්‍රධාන උතුරු පළාතින් ලෝකයට යැවිය හැකි අපනයන භාණ්ඩ පිළිබඳව සමීක්ෂණයක් සිදුකළා. විශේෂයෙන් අලෙවිකරණය, ඇසුරුම්කරණය පිළිබඳව වෙළෙඳපොළ පර්යේෂණයක් සිදුකළා.

අපි උතුරින් ජාත්‍යන්තරයට යැවිය හැකි භාණ්ඩ අංශ 4ක් හඳුනා ගත්තා. ධීවර හා ධීවර නිෂ්පාදන, ආහාර පාන හා සැකසූ ආහාර නිෂ්පාදන, අත්කම් භාණ්ඩ හා තෑගි භාණ්ඩ සහ තොරතුරු තාක්ෂණ හා පරිගණක කර්මාන්ත සේවා ඒවායි.

අපි මේ යාපනයෙහි පැවැත්වෙන සමාරම්භක උත්සවයේදී උතුරේ අපනයනකරුවන්ට මේ අංශ හතරින් ශ්‍රී ලංකාවේ ප්‍රමුඛපෙළේ අපනයන සමාගම්වල ප්‍රධානින්ගේ දේශනවලට අත්දැකීම් බෙදාහදාගන්නට අවස්ථාව ලබාදෙනවා.

ඊට අමතරව යාපනය අපනයනකරුවන්ගේ භාණ්ඩ ප්‍රදර්ශනයක් පවත්වනවා. එයට දැනට විදේශ වෙළෙඳපොළට ඉදිරිපත් කර තිබෙන භාණ්ඩත්, ඒ මට්ටමට ළඟාවීමට ආසන්න නිෂ්පාදනත් ඉදිරිපත් කරනවා.

මේ ප්‍රදර්ශනය යාපනය අපනයනකරුවන්ට ඒ සඳහා සූදානම් වන අයට ඉතා හොඳ අවස්ථාවක් වෙයි. තම නිෂ්පාදනවල තත්ත්වය, ප්‍රමිතිය, ගුණාත්මක බව වැඩිදියුණු කරගන්න සභාපතිනිය කීවාය.

මීට අමතරව “ව්‍යාපාරික සායනයක්” අපි පවත්වනවා. ඒ සඳහා ලොව දිනූ අපනයනකරුවෝ පැමිණ තම අත්දැකීම්, පළපුරුද්ද, හැකියාව වැඩිදියුණු කරගත් ආකාරය කියාදෙනවා. මෙය මුහුණට මුහුණ සාකච්ඡා කිරීමට නවක අපනයනකරුවන්ට ලැබෙන ඉතා හොඳ අවස්ථාවක්. මේ වැඩපිළිවෙළ ඉදිරියේදී රටේ අනෙකුත් පළාත්වල ද ක්‍රියාත්මක කරනවා යැයි සභාපතිනිය කීවාය.

මේ සමාරම්භක උත්සවයට මලික් සමරවික්‍රම ඇමැතිවරයා, සුජීව සේනසිංහ රාජ්‍ය ඇමැතිවරයා, උතුරේ දේශපාලන අධිකාරිය, උතුරු පළාත් මහ ඇමැති වී. විග්නේෂ්වරන්, ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ ප්‍රධානින් ඇතුළු විශාල පිරිසක් සහභාගිවීමට නියමිතය.

අදහස් 1ක් ඇත

The US has a free market system and things like Tamarind, Coconut water,Gwawa (pera), Jack Fruits (Waraka) are coming to this country from Thayland. Encourage our people to export such minor crops, even "Karapincha" and "Jambola etc.

නව අදහස දක්වන්න