නඩු තීන්දුව! | දිනමිණ

නඩු තීන්දුව!

ඉතා වැදගත් නඩු තීන්දුවක් ප්‍රකාශයට පත්ව තිබේ. එම නඩු තීන්දුවට අනුව නොහික්මුණු රියදුරෙකුට වසර තිස්හත හමාරක සිර දඬුවමක් නියම වී ඇත. එක අතෙකින් බලනවිට මෙය ඓතිහාසික නඩු තීන්දුවක් ලෙස සැලැකිය හැකි ය. තව අතෙකින් බලන විට එය වාහන ධාවනය සම්බන්ධයෙන් අලුත් මතයක් ඇති කිරීමට ද හේතු - සාධක වනු ඇත. රටේ මහාමාර්ග දෙස බලන විට පෙනී යන්නේ වැඩි දෙනකු මාර්ග නීති නොපිළිපදින බවය. අනෙක් අතින් මිනිස් ජීවිත තුට්ටුවකට නොසලකා වාහන ධාවනය කරන බව ය. කාලය හා සමඟ සසඳන විට ත්‍රස්තවාදී යුද්ධයට වැඩි මිනිස් මරණ සංඛ්‍යාවක් රිය අනතුරු නිසා සිදු වී ඇත.

ඉහත නඩු විභාගයට අදාළ රිය අනතුර සිදු වී ඇත්තේ 2003 දී ය. අනතුරෙන් දාහතර දෙනකු මිය ගොස් ඇත. දහනවදෙනකු බරපතළ තුවාල ලබා ඇත. සිද්ධියට මුහුණ පා ඇත්තේ ලංගම බස් රථයකි. නීතිපති දෙපාර්තමේන්තුව රියදුරුට එරෙහිව නඩු පවරා ඇත්තේ අපරීක්ෂාකාරී ධාවනය හා අධික වේගය යන චෝදනා ගොනු කරමින් ය. මේ නඩුව වසර දාහතරක් පුරාවට විභාග කර ඇති බව ද, විනිසුරුවන් හත් දෙනකු යටතේ විභාග වී ඇති බවද පෙනී යයි. එහි අදහස වන්නේ යුක්තිය ඉටුවීම සඳහා සැලකිය යුතු කාලයක් ගත වී ඇති බව ය. මෙරට අධිකරණ ක්ෂේත්‍රයේ ඇති අඩුවක් ඉන් පෙනී යයි.

විත්තිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥයන්ගේ එක් තර්කයක් වූයේ රථයේ කාර්මික දෝෂයක් නිසා අනතුර සිදු වී ඇති බව ය. එහෙත් පැමිණිල්ලේ සාක්ෂිවලින් සනාථ වන්නේ අධික වේගය නිසා රථය පාලනය කරගත නොහැකි ව එය විශාල ගසක වැදී අනතුර සිදු වී ඇති බව ය. සාක්කිකරුවන් හැත්තෑ හතර දෙනකු නම් කර තිබූ බවද නඩු විස්තරවල සඳහන් ය. මේ සියලු දෙනා බසයේ ගමන්ගත් මගීන් යැයි සිතන්නට පුළුවන. කිසිදු සාක්ෂියක කාර්මික දෝෂයක් ගැන සඳහනක් නැත. කාර්මික දෝෂයක් පැවැතියේ නම්; අධික වේගයෙන් රිය පැදවීමේ හැකියාවක් ද නැත. රියදුරා සිය බේරිල්ල සඳහා කාර්මික ‍දෝෂය පිළිබඳ අදහස ඉදිරිපත් කරන්නට ඇතැ’යි සැක කළ හැකි ය.

නඩු තීන්දුවේ දී ප්‍රකාශ වී ඇත්තේ මිය ගිය පුද්ගලයකු සඳහා දඬුවම ලෙස වසර දෙකක සිර දඬුවමක් වශයෙන් මරණ දාහතරක් සඳහා දඬුවම් නියම වන බව ය. දෙවනුව බරපතළ තුවාල ලැබූ පුද්ගලයකු සඳහා හය මසක සිර දඬුවම බැගින් පුද්ගලයන් දහනව දෙනකු සඳහා වසර නමය හමාරක සිර දඬුවම් නියම වන බව ය. සියල්ල ගත් කල වසර තිස්හත හමාරක සිර දඬුවමක් නියම වී ඇත. මේ තීන්දුව කොයි අතින් ගත්ත ද යුක්තිසහගත යැයි කියන්නට පුළුවන. මෙබඳු තීන්දුවක් අදට වඩා අනාගතයට වටින්නේ යැයි කියන්නට පුළුවන. මෙය අනාගත නඩු විභාගවලට ආදර්ශයක් සපයන බවද කිව යුතු ය.

අධික වේගය හා අපරීක්ෂාකාරී ඉස්සර කිරීම් මෙරට රිය අනතුරුවලට සම්බන්ධ ප්‍රධාන සාධක දෙකක් බව කියති. මේ වැරදි දෙක ම බස් රියදුරෝ බහුල ලෙසින් සිදු කරති. පෞද්ගලික බස් ව්‍යාපාරයට සම්බන්ධ රියදුරන් මහ පාරේ ඉගිල්ලෙන බවද, මාර්ග නීති බොහොමයක් උල්ලංඝනය කරන බවද, නොහික්මුණු ලෙස රථය ධාවනය කරන බව ද කව්රුත් දනිති. එය පොදු චෝදනාවක් ලෙස ද සැලැකිය හැකි ය.පෞද්ගලික බස් රථ සංගම් මේ සඳහා ඉදිරිපත් කරන තර්කයක් වන්නේ ඔවුන් බලවත් තරගයකට මුහුණ දී ඇති බව ය. අපට අදාළ ලංගම බස්රථ අනතුරෙන් පෙනී යන්නේ ලංගම රියදුරන් ද එම තරගයට මුහුණ දී ඇති බව ය. එහෙත් මේ තර්කවලට වඩා මිනිස් ජීවිත වටිනාකමින් වැඩි බව නඩු තීන්දුවෙන් පෙනී යයි.

ලෝකයේ දියුණු රටවල මහා මාර්ග පද්ධති දෙස බලන විට අපේ මාර්ග බෙහෙවින් අබලන් බව කීම අසත්‍යයක් නොවේ. ශ්‍රී ලංකාවේ සෑම පළාතකට ම විහිදී යන අධිවේගී මාර්ග පද්ධතියක් ද නැත. මධ්‍යම කඳුකරය දෙස බලන විට ද පෙනී යන්නේ අප සතු මාර්ගවල අනතුරුදායක ස්ථාන බහුල බවය. මේ අනුව පරෙස්සමෙන් රිය පැදවීමත්, මිනිස් ජීවිත ගැන වැඩියෙන් සැලකිල්ල දැක්වීමත් අනිවාර්යයෙන් ම සිදුවිය යුතුය. එහෙත් පොදුවේ ගත් කල රියදුරන් වෙතින් එබඳු පරෙස්සමක් ප්‍රදර්ශනය වන්නේ නැත. නීතිගරුක නොවීමද අපේ රියදුරන්ගේ මූලික දුර්වලතාවකි. විදේශීය සංචාරකයන් මෙරට රියදුරන්ගේ නොසැලකිලිමත්භාවය දැක කුලී රථවලින් බැස ගිය අවස්ථා ද ඕනෑ තරම් තිබේ.

මේ සියල්ලෙන්ම පෙනී යන්නේ රථවාහන ධාවනය පිළිබඳ අලුත් සංස්කෘතියක් බිහි කිරීම අත්‍යවශ්‍ය බවය. ජාතික රූපවාහිනිය “පරෙස්සමෙන් ගිහින් එන්න” යනුවෙන් ප්‍රචාරක වැඩසටහනක් ක්‍රියාත්මක කරයි. මීට සමගාමී ව තවත් ආයතන ගණනාවක් එබඳු වැඩසටහන් ක්‍රියාත්මක කරයි. ඒවාට ලැබෙන ප්‍රතිචාරවලින් පෙනී යන්නේ රථ වාහන ධාවනයට අදාළ අලුත් සංස්කෘතියක් බිහි කිරීමට බොහෝ දෙනා උත්සුක වන බව ය. දිනකට රට තුළ සිදුවන රිය අනතුරු සංඛ්‍යාව හා එයින් මරණයට පත්වන සංඛ්‍යාව දෙස බලන විට මෙබඳු තත්ත්වයක් පැවතීම පුදුමයට කාරණයක් ද නොවේ. ශ්‍රී ලංකාව සැලකෙන්නේ රිය අනතුරු අධික රටක් හැටියට ය.

කුමන උපාය මාර්ග භාවිත කළ ද රිය අනතුරු අඩු වී ඇති බවක් ද දැකගන්නට නැත. දිනපතාම මාරක රිය අනතුරු ගැන අසන්නට ලැබේ. එලෙසම කොතරම් දඩ ගැසූවද මාර්ග නීති හරියටම පිළිපදින රියදුරන් දැක ගන්නට ද නැත. නීති සලකා රිය පදවන රියදුරන් මහා මාර්ගයේ දී අවඥාවට ලක් වන අවස්ථා ද අපි දැක ඇත්තෙමු. මේවාට පිළිතුරු සැපයිය හැක්කේ රිය පැදවීමේ සංස්කෘතිය වෙනස් කිරීමෙන් පමණි. දියුණු රටවල එබඳු සංස්කෘතියක් තිබේ. එම රටවල රියදුරන් ප්‍රමාදය සලකා අධික වේගයෙන් රිය පදවන්නේ නැත. මාර්ග නීති උල්ලංඝනය කරන්නේ ද නැත. ශ්‍රී ලංකාව ද එවැනි තැනකට යා යුතු ය.

මේ බොහෝ කරුණුවලට නීතියෙන් යම් පිටිවහලක් ලබාගත හැකි ය. නීතියේ බලය සියල්ලට ඉහළින් පවතී. රටක දූෂණය ඉහ - වහා ගොස් තිබේ නම්; දූෂිතයන්ට දෙන දඬුවම් දැඩි කළ යුතුය. මත්ද්‍රව්‍ය භාවිතය වැඩි නම්; ඊට අදාළ නීති හා මෙහෙයුම් වැඩි කළ යුතුය. රිය අනතුරු සම්බන්ධයෙන් ද එසේ ක්‍රියා කිරීම වැදගත් ය. රියදුරන් මිනිස් ජීවිත තුට්ටුවකට නොසලකන්නේ නම්; ඔවුනට උපරිම දඬුවම් ලබාදීම නිවැරැදි වන්නා සේ ම යුක්ති සහගත ද වන්නේ ය.

නව අදහස දක්වන්න