ඇලෙක්ස් යළිත් සිනමාවේ... | දිනමිණ

ඇලෙක්ස් යළිත් සිනමාවේ...

 ඇලෙක්සැන්ඩර් ප්‍රනාන්දු යන නාමය සිංහල සිනමා වංශ කතාවේ ලියවෙන්නේ විශිෂ්ට සටන් නළුවෙකු හා දක්ෂතම සටන් අධ්‍යක්ෂවරයෙකු වශයෙනි. හැටේ දශකයේ මුල් භාගයේදී ‘වෙන ස්වර්ගයක් කුමටද’ චිත්‍රපටයේ සටන් ජවනිකාවකට එක්වෙමින් ඇලෙක්ස් සිනමාවට ආවත් යම් හේතුවක් නිසා චිත්‍රපටය තිරගත වූයේ එම ජවනිකාව නැතිවය. ඊටත් පසු කාලයක සිය මිතුරු සිනමාකරු ලෙනින් මොරායස්ගේ ඇරයුමින් ‘රුහුණු කුමාරි’ චිත්‍රපටය තුළින් ඇලෙක්ස් සිනමාවට ආවේය. එතැන් සිට යුග කීපයක්ම සිංහල සිනමාවේ විවිධ චරිත රඟපාමින් සටන් නළුවෙකු ලෙස පමණක් නොව ප්‍රධාන චරිතද රඟපාමින් ප්‍රේක්ෂක ආදරය දිනාගන්නට ඇලෙක්ස් සමත් විය.

පසුගිය වසර කීපයක් තුළ ඇලෙක්සැන්ඩර් ප්‍රනාන්දු රඟපෑවේ සීමිතවය. ඒ වේදිකා නාට්‍ය හා චිත්‍රපට ස්වල්පයක පමණි. නිෂ්පාදනය හමාර වුවත් තිරගත නොවූ සුනිල් අරුණ වීරසිරිගේ ‘හිතුවක්කාරි’ චිත්‍රපටයේ බිලී වොංග් සමඟ සටන් අධ්‍යක්ෂණය කළත් ඇලෙක්ස් ඉන් පසුව රඟපෑවේ නැත. ඔහුගේ ඇස්වල ආබාධයක්ද ඇති විය. ආණ්ඩු මාරුවෙන් පසුව ජාතික චිත්‍රපට සංස්ථාවේ සභාපති තනතුරට පත් වූ නීතිඥ දීපාල් චන්ද්‍රරත්නට ඇලෙක්සැන්ඩර් ප්‍රනාන්දුගේ චිත්‍රපට උළෙලක් පැවැත්වීම පිළිබඳව යෝජනාවක් ඉදිරිපත් කෙරුණත් කුමන හෝ හේතුවක් මත එම උළෙල පැවැත්වීමට පියවර ගැනුනේ නැත.

තත්ත්වය මෙසේ තිබියදී අපේ ප්‍රවීණ නළු අධ්‍යක්ෂ සනත් ගුණතිලක අතීතයේ අධ්‍යක්ෂ එච්.ඩී.ප්‍රේමරත්න හැදූ ‘මංගල තෑග්ග’ චිත්‍රපටයේ දෙවන කොටස අධ්‍යක්ෂණය කරන්නට තීරණය කළේ ය. ඒ සඳහා මුල් චිත්‍රපටයේ රඟපෑ සනෝජා බිබිලේ - රවීන්ද්‍ර රන්දෙණිය - ජයලත් මනෝරත්න - ශ්‍රියන්ත ආදී සියල්ලන් යොදවාගන්නට තීරණය විය. කතාව පෙරට ගලායන ලෙස ලියද්දී විදේශගත වන සනෝජා එහිදී වැඩිහිටි පුද්ගලයෙකු සමඟ විවාහ වන ආකාරයට ලියවුණ නිසා එම වැඩිහිටි පුද්ගලයාගේ චරිතයට නළුවෙකු අවශ්‍ය විය. සනත් ‘සිනහව අතරින්’ චිත්‍රපටයට පෙර තම හිතවතෙකු හා එක්ව සංගීතමය චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කරන්නට කටයුතු යොදා තිබුණි. එහෙත් නිෂ්පාදනයේදී මතු වූ ගැටලු කීපයක් නිසා එය පමා විය. එම චිත්‍රපටයේ එන ගායකයාට සමීප ප්‍රබල චරිතයකට ඇලෙක්සැන්ඩර් ප්‍රනාන්දු යොදාගැනීමට එකල ඔවුන් එකඟ වී තිබුණේය. ‘මංගල තෑග්ග - 2’ සඳහා නළු නිළියන් තෝරද්දී සනෝජා විදෙස්ගත වී විවාහ වන පුද්ගලයාගේ චරිතයට ඇලෙක්සැන්ඩර් ප්‍රනාන්දුව යොදාගන්නට දෙවරක් සිතන්නට සනත්ට අවශ්‍ය නොවීය. සනත් ඇලෙක්ස් හමුවන්නට කැළණිය, නාතුඩුවේ ඇලෙක්ස්ගේ නිවසට ගියේය. වසර ගණනාවකට පසුව හමු වූ සනත්ව ඇලෙක්ස් පිළිගත්තේ සතුටිනි. චරිතය ගැන කතා කිරීමෙන් පසුව ඇලෙක්ස් ‘මංගල තෑග්ග 2’ චිත්‍රපටයේ රඟපෑමට එකඟ විය. ඒ අනුව වත්තල ආසන්න ප්‍රදේශවලදී ඇලෙක්ස් -සනෝජා ඇතුළු පිරිස රඟපාන ජවනිකා රූපගත කරනු ලැබීය.

“සනත්ව මට මුලින්ම හම්බ වුනේ ෂන් හදපු ශිරානි කියන චිත්‍රපටයෙනුයි. ඒකෙදි මම ෆයිට් ඩිරෙක්ටර්. දවස් ගානක් මම සනත්ව කොටහේනට එක්ක ගිහින් සටන් පුහුණු කළා. ඊට පස්සේ ‘අරලිය මල්’- ‘බට්ටී’ වගේ චිත්‍රපට ගොඩක අපි එකට රඟපෑවා. එයා අලුතෙන් හදන ෆිල්ම් එකේ රෝල් එකක් කරන්න මට ඇවිත් කතා කළාම මට ඒ ඉස්සර කාලෙත් මතක් වුනා. මම ගිහින් රඟපෑවා.මගේ ඇක්ටින් ගැන සනත් සතුටු වුනා...” ඇලෙක්ස් කියයි.

ෂන් හැදූ ‘ශිරානි’ චිත්‍රපටයේ සටන් අධ්‍යක්ෂවරයා හැටියට එදා නවක නළුවෙකු වූ තමාට ඇලෙක්සැන්ඩර් ප්‍රනාන්දුගෙන් ලැබුණු සහාය සනත් අදත් සිහිපත් කරන්නේ කෘතවේදීවය. ‘මංගල තෑග්ග - 2’ චිත්‍රපටයේ චරිතය තම සිතේ මැවුණ ආකාරයටම ඇලෙක්ස් ජීවමාන කළ බව සනත්ගේ අදහසයි.

“...සෙට් එකේ හිටපු අයයි,ෂූටින් බලන්න ආපු අයයි හැමෝම ඇලෙක්ස් අයියා රඟපානවා බලල සතුටු වුනා. රඟපාලා ඉවර වුනාට පස්සෙ ඇලෙක්ස් අයියාටත් සතුටුයි. එදා මෙදා කතන්දර විවේක අවස්ථාවල කියමින් ඔහු හරිම සැහැල්ලුවෙන් ගත කළා...” සනත් කියයි. කිහිලිකරුවලින් යන ආබාධිත වූවෙකු ලෙසද එම චරිතය තුළ ඇලෙක්ස්ට රඟපෑමට සිදුවී තිබේ. ඔහු ඉතා සාර්ථකව එම ජවනිකා රඟපෑ බව අධ්‍යක්ෂ සනත් ගුණතිලක වැඩි දුරටත් කීවේය. ‘මංගල තෑග්ග -2’ චිත්‍රපටයේ වැඩ ඉක්මනින් නිමවා තිරගත කිරීම සනත්ගේ පැතුමයි. එදිනට සිනමා ප්‍රේක්ෂකයන්ට ඇලෙක්සැන්ඩර් ප්‍රනාන්දුගේ සිනමා පුනරාගමනය දැක බලාගත හැකිය.

කොටහේනේ ශාන්ත බෙනඩික්ට් විදුහලේ ඉගෙනුම ලැබූ අවදියේ පටන්ම ඇලෙක්සැන්ඩර් ප්‍රනාන්දු ක්‍රීඩාවට දක්ෂයෙකු විය. විශේෂයෙන් මලල ක්‍රීඩාවෙන් පෙරට ගිය ඔහු පොදුරාජ්‍ය මණ්ඩලීය මලල ක්‍රීඩා තරග සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කර තිබේ. ඔලිම්පික් යාමේ වරමද ඔහුට හිමිවුවත් ආබාධයක් ඇතිවීම නිසා ඒ වරම ගිලිහී ගියේය. පසු කාලක සිනමාවට පිවිසි ඇලෙක්ස්ට සිය රංගනය සාර්ථක කරගන්නටද ක්‍රීඩා හැකියාවන් ඉවහල් විය.

“වෙනින් කව්රුත් නෙමෙයි’ යන අන්වර්ථ නාමයෙන් හැඳින්වුණු සිංහල සිනමාවේ අංක එකේ විනෝදාත්මක අධ්‍යක්ෂ ලෙනින් මොරායස් හැදූ චිත්‍රපටවල සටන් කරමින් බොහෝවිට දුෂ්ට චරිත ඉතා තාත්විකව රඟපෑ ඇලෙක්ස් සිනමා රසික ජනතාවගේ ප්‍රසාදය දිනුවේය. ගාමිණී ‍ෆොන්සේකා ‘වීරයා’ වෙද්දී ‘ප්‍රතිවීර’ චරිත ශූර ලෙස රඟපෑ සීමිත නළු පිරිස අතරද ඇලෙක්ස් කැපී පෙනේ. ඇලෙක්සැන්ඩර් ප්‍රනාන්දු යනු සටනට පමණක් සීමාවූවෙකු නොව රංගනයටද හැකියාව ඇති නළුවෙකු බව එකල ගාමිණී මාධ්‍යයට පැවසීය.

“... කොහොම හරි මට මුලින්ම ප්‍රධාන චරිතයක් දුන්නේ සතිශ්චන්ද්‍ර එදිරිසිංහයි. ඒ ‘ශ්‍රී මදාරා’ චිත්‍රපටයේයි. ශ්‍රියානි පෙරේරා තමයි ඒකෙ ප්‍රධාන නිළිය. ඉන් පස්සේ නීල් රූපසිංහගෙ ‘සරදියෙල්ගේ පුතා’ චිත්‍රපටයෙ ප්‍රධාන චරිතය කළා. ඒකෙ ප්‍රධාන නිළිය මාලිනී ෆොන්සේකා. රසිකයො ගොඩක් කැමති වුනේ සරදියෙල්ගෙ පුතාටයි...” ඇලෙක්ස් අතීතය සිහිකරන්නේ එසේය. මිල්ටන් මල්ලවආරච්චි ගායනා කළ ‘කව්දෝ මිනිසාගේ දෛවේ පෙරළන්නේ’ ගීතයට අනුව ඇලෙක්ස් එම චිත්‍රපටයේදී කුඩා ළමුන් පිරිසක් සමඟ කළ රඟපෑම අදටත් බොහෝ දෙනාට මතකය. ඊටත් පසු කාලයක ආනන්ද හේවගේ හැදූ ‘පසමිතුරෝ’ චිත්‍රපටයේ ඇලෙක්සැන්ඩර් ප්‍රනාන්දු හා මර්වින් ජයතුංග විශිෂ්ට රංගනයක යෙදුණේය. එක මාංචුවකින් බැඳුණු සිංහල හා දෙමළ සිරකරුවන් දෙදෙනෙකු ලෙස ඔවුන් කළ රංගනයට කුසලතා සහතික ලැබුණි. ඇලෙක්ස් ඇගැයුමකට පාත්‍ර වූ එකම වතාව එය විය. එහෙත් සිනමා ප්‍රේක්ෂකයා හැමදාමත් ඇලෙක්ස්ව අගය කළේය.

“... දැන් කාලෙ අපේ අලුත් චිත්‍රපටත් නෑනෙ. ඒත් පරණ ඒවා රූපවාහිනී නිලිකාවල පෙන්නන නිසා ඒවාවල අපිව දැකල අලුත් කට්ටියත් අපට කැමතියි. හම්බවෙන හුඟක් තැන්වලදි ඒ ගැන කියනවා...” ඇලෙක්ස් කියයි.

‘සමනල කුමරියෝ’ සමඟ තිරගත කරන්නට අධ්‍යක්ෂ විමලදාස පෙරේරා ‘අපි කවදත් සූරයෝ’ නමින් කෙටි චිත්‍රපටයක් හැදුවේ ය. ස්වර්ණා මල්ලවආරච්චි රඟපෑ මුල්ම විනෝදාත්මක චිත්‍රපටය එයයි. එය ඇගේ හතරවෙනි චිත්‍රපටය විය. ඇලෙක්සැන්ඩර් ප්‍රනාන්දු - රොබින් ප්‍රනාන්දු - බන්දු මුණසිංහ -ලයනල් දැරණියගල යන සටන් ශූරයන් සමඟ ස්වර්ණා එහි ප්‍රවේගකාරී රංගනයක යෙදුණාය. එහෙත් මෑතදී පැවති ස්වර්ණා උපහාර උළෙලේදී ඒ ගැන කතාබහක් හෝ නොවූ අතර අධ්‍යක්ෂ විමලදාස පෙරේරාට හෝ ඇලෙක්ස්ට උළෙලට ඇරයුම් කරන්නටවත් සංවිධායකයෝ කාරුණික නොවූහ. විමලදාස පෙරේරාගේම ‘සැණකෙළිය’ චිත්‍රපටයේ ගාමිණී සමඟ ඇලෙක්ස් කළ සටන්කාමී රංගනයන් මෙන්ම ඩබ්ලිව්.ඒ.බී.ද සිල්වාගේ ‘රජගෙදර පරෙවියෝ’ චිත්‍රපටයේ රොබින් - ඇලෙක්ස් සටන්ද අමතක නොවේ. ‘පසමිතුරෝ’ රඟපෑ මර්වින් ජයතුංග තම සිනමා දිවියේ හමු වූ ‘මහත්මයෙකු’ බව ඇලෙක්ස් කියයි.

“... ‘චණ්ඩි පුතා’ චිත්‍රපටයේ වීරයා ගාමිණී. දුෂ්ටයාට මමයි හිටියේ. දවස් කීපයක් ෂූටිනුත් කළා. පස්සේ ප්‍රවාහනය සම්බන්ධයෙන් ප්‍රශ්න වගයක් ඇති වුනා. මට අසාධාරණේ පෙන්නන්න බෑ. පාඩු වුනත් ඒවට විරුද්ධව කතා කරනවා. අන්තිමේදි මගේ චරිතයෙන් මාව අයින් කෙරුවා. ඒ කාලෙ නාට්‍යවල රඟපාපු මර්වින් ජයතුංගට ඒ චරිතෙට කතා කරල තියෙනවා. මර්වින් කෙළින්ම මාව හොයන් ඇවිත් ඇහුවා ඒ චරිතයට එයාට කතා කරන නිසා ඒක කරන්නද කියල. මට පුදුම හිතුනා එහෙම අහපු එක ගැන. මම ටක් ගාල කෙළින්ම කිව්වා මර්වින්ට ගිහින් ඒ චරිතය රඟපාන්න කියල. එයා රඟපෑවා. එතනින් සිනමාවට ආවා. මැරෙනතුරුම අපි දෙන්නා හොඳ යාලුවෝ වෙලා හිටියා...”

දියණියන් දෙදෙනෙකුගේ හා පුතෙකුගේ පියෙකු වන ඇලෙක්ස් බිරිඳ සමඟ නාතුඩුව නිවසේ දිවි ගෙවයි. වත්ත පහළ සිල්ලර කඩයක් කළත් ටික දිනකින්ම ඔහුට එය වසාදමන්නට සිදුවූයේ ණයට බඩු ගන්නා අය ණය නොගෙවූ නිසාය.

“... ගමේ අහළ පහළ මිනිස්සුනේ. මොකුත් කියන්න හිතෙන්නේ නෑ. අන්තිමේදි මම ණය පොත් ටික ගිනි තියල කඩේ වහල දැම්මා...” ඇලෙක්ස් කියයි. සිනමාවේදී කොතෙක් දුෂ්ටකම් කළත් සැබෑ ජීවිතයේදී මේ දැවැන්තයාගේ හදවත එසේය. සිංහල සිනමාව කර්මාන්තයක් ලෙස පවත්වාගෙන ඒමට අතීතයේදී ඇලෙක්සැන්ඩර් ප්‍රනාන්දුගෙන් සිදු වූ සේවාව සුළුපටු නැත. චිත්‍රපට සංස්ථා සභාපති තනතුරේ සිටින නීතීඥ දීපාල් චන්ද්‍රරත්නද එදා හොඳ සිනමා රසිකයෙකි. ඇලෙක්ස්ගේ වටිනාකම එබැවින් ඔහු හොඳින් දන්නවා ඇත. එහාට මෙහාට වැනුනේ නැතිව කෙළින් කතා කළ - ඍජුව ජීවත් වූ මේ කලාකරුවාගේ එම මෙහෙවර සාධාරණ ඇගැයීමකට ලක්කිරීම පිළිබඳව ඔහුගේ අවධානය යොමුවේ නම් සිදු වූ ‘පාලන වෙනස’ නිසා යහපතක් වූවා යයි සතුටු විය හැකිය.

කලාකරුවන් ජීවමානව සිටියදී ඔහු හෝ ඇය වෙනුවෙන් කළ යුතු බුහුමනක් පිදීම මිස ඔවුන් නැති දිනකදී කුමක් කළත් පලක් නැත.

ආනන්ද පද්මසිරි

 


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...