මම රසට ආසයි

සිඳු - දෙවෙනි ඉනිම ලියන සමන් එදිරිමුණි

පුවත්පත් කලාවේදියෙකු ලෙසින් ජීවිතය පටන් ගන්න සමන් එදිරිමුණි, ජිවිතයේ විවිධ කාලවලදී ජනාදරයට පත් වෙන්නේ විවිධ දේවල් එක්ක. කාලෙකට ඔහු තරුණ හිත් පිස්සු වට්ටපු අපුරු නවකතාකරුවෙක්, තවත් කාලෙකට ගුවන් විදුලි, ටෙලි නාට්‍ය වල පිටපත් රචකයෙක්, තවත් විටක සුන්දර කවියෙක්. අකුරු වලින් ම මිනිසුන්ගේ හිත් හොරකම් කරපු සමන් එදිරිමුණි කියන්නේ තරුණ පරම්පරාවේ වීරයා කිව්වොත් වැරදි නැහැ. දැන් නම් සමන් තරුණ විතරක් නෙවෙයි බාල මහලු තරුණ හැමෝගෙම හිත් අල්ලාගෙන. ඒ සිදු, දෙවෙනි ඉනිම ටෙලි නාට්‍ය හරහා. ලංකාවේ එකම වෙලාවක දී නම්බර් වන් ටීවී බෙල්ට් එකක් සහ නම්බර් වන් රේඩියෝ බෙල්ට් එකක් එකපාර ලියපු එකම එක්කෙනාත් සමන් එදිරිමුණි. මේ හැම දේ එක්කම අපේ පත්තර කලාවේ ආදරණිය සගයා වුණු ඔහුව අපි කතා බහට එක් කරගත්තා.

l සිදු වලින් පස්සේ අත තිබ්බේ දෙවෙනි ඉනිමට. දැන් ඒකත් නැගලා යනවා නේද ?

ඔව්. මෙහෙමයි. මමම කතාවක් ලියලා පටන් අරන් කරගෙන යන්න කියලා ඉස්සරවෙලාම අත ගැහුවේ සිදු එකට. සිදු වලින් පස්සේ ඒකෙ ප්‍රතිචාර හොද හින්දා. සිදු ලිවිල්ල එක්ක ලංකාවේ සෑම ප්‍රඩක්ෂන් හවුස් එකකින්ම සහ සෑම නාලිකාවකින්ම වගේ මට ආරාධනා ආවා ටෙලි නාට්‍ය ලියන්න. නමුත් දෙරණින් ම තව එකක් ලියමු කියලා යෝජනා ආවම දැන් සිදු එක යන නිසා දෙරණේ ඊලග වැඩේටත් අත තිබ්බා. ඒ තමයි දෙවෙනි ඉනිම. මම දෙරණ එක්ක රැදෙන්න වඩාත් හේතුව තමයි මාව පලවෙනියට ටෙලි නාට්‍ය පිටපත් රචකයෙකු විදියට විශ්වාස කරේ දෙරණ ආයතනය වීම. එකේ කතා වස්තුව මට ලැබෙන්නේ දෙරණින් මයි. දෙරණේ ලක්සිරි වික්‍රමගේ මහතා තමයි මට සරලව කතා වස්තුව දෙන්නේ. ඊට පස්සේ චරිත ටික හදාගෙන මම ලියාගෙන යනවා. කෙනෙක්ට හිතෙන්න පුළුවන් මේක සත්‍ය කතාවක් දෝ කියලා. මොකද ඒ වගේ ක්‍රීඩකයෝ ඕනි තරම් ඉන්නවා. එතකොට නම් රිදෙන තැන් වලට රිදේවි. ඒත් එකට නම් මන් මොනවා කරන්නද ?

l ටෙලි නාට්‍ය වලට කලින් ලිව්වේ ගුවන් විදුලි නාට්‍ය නේද ?

ගුවන්විදුලි නාට්‍ය දැනටත් ලියනවා. හිරු fm එකට ලියපු අනුත්තරා කියන ගුවන් විදුලි නාට්‍යයෙන් තමයි මම පටන් ගත්තේ. ඊට පස්සේ සිරසේ ලිව්වා එකක්. ඊට පස්සේ දැනට යන සේයා ගුවන් විදුලි නාට්‍ය තමයි දැනට ලියන්නේ. දැන් සේයා අංක එක වෙලා තියෙනවා.

l සිදු මාකට් වුනේ සමන්ගේ පිටපත හින්දා කියලා සමන් විශ්වාස කරනවා ද ?

ඇත්තටම නැහැ. මම එහෙම හිතන්නේ නැහැ. මේක විවිධ අය විවිධ විදියට අර්ථකථනය කරනවා මට ඇහිලා තියෙනවා. මම ලියන දෙබස් නිසා, පොඩි හාමුදුරුවෝ නිසා, එහෙම නැති නම් පුසා නිසා මේක හිට් වෙන්නේ කියලා සමහරු කියනවා. නමුත් ඇත්ත කතාව මේක කාටවත් අයිති නැහැ. මේක කණ්ඩායම් වැඩක්. මේකේ පිටපත, අධ්‍යක්ෂණය, රංගනය සහ මේකට අවශේෂ කලා ශිල්පින්ගේ කණ්ඩායම් වැඩක්. මේ කණ්ඩායමෙන් එක්කෙනෙක් හරි අඩු වුනා නම් මේක හිට් නොවෙන්නත් තිබුනා. මේක සාමුහික ප්‍රයන්තනයක්. මේක පිටිපස්සේ දෙරණේ උප සභාපතිතුමන් ලක්සිරි වික්‍රමගේ ඇතුළු දැවැන්ත චරිත කිහිපයක් උන්නා. අපි හැමෝගෙම අදහස් එක්ක තමයි මේ හැමදේම කරේ.

l මාකට් එක වැඩි වීමත් එක්ක සිදු ඕනාවට වැඩිය දිග් ගැහෙනවා කියලා හිතෙන්නේ නැද්ද ??

එහෙම හිතෙන්නේ සිදු යන්න ඕනි ඉහලම තැනට ඉතාම ඉක්මනින් ගිය නිසයි. මුල ඉදන්ම අපි සැලසුම් කරේ කොටස් 250කට. මම විශ්වාස කරනවා කරනවා සිදු එක කොටසක්වත් බලපු නැති කෙනෙක්ව හොයා ගන්න ඉතා අමාරු වෙයි ලංකාවේ. උඩම තැනට ඉතා ඉක්මනින් ගියාම මිනිසුන්ටත් මේ ගැන කියන්න දෙයක් නැති වෙනවනේ. එතකොට කියන්නේ හැමදාම පුසා හාමුදුරුවෝ පෙන්නනවා කියල තමයි. ටෙලි නාට්‍ය ගැන කතා නොකරනම කාලේක එහෙම බනින්න හරි මතක් වෙන්නේ මේ නාට්‍ය වීමම වටිනවා. කවුරු කොහොම කිව්වත් පැය 24ක් ඇතුලත 150,000ක් සිදු අනිවාර්යෙන් ඔන්ලයින් බලනවා. දෙවෙනියට දෙවෙනි ඉනිම බලනවා පැය 24ක් අතුලත මේ වෙද්දී 70,000ක් විතර. තුන්වෙනියට තියෙන ටෙලි නාට්‍ය බලන්නේ 10,000 ක විතර පිරිසක්. වෙනස පැහැදිලිනේ. මේවා ඇත්තටම පොර ටෝක් නම් නෙවේ. මේ තමයි ඇත්ත.

l සමන් එදිරිමුණි ප්‍රේක්ෂක ආදරය වැඩියෙන් දිනා ගන්නේ “සුලග නුඹ සහ මම “ නවකතාවෙන්. හැබැයි පාඨකයන් කොච්චර ඉල්ලීම් කරත් ඇයි සුළග නුඹ සහ මම පොතක් විදියට එළියට දෙන්නේ නැත්තේ ?

ඒ පොත මුද්‍රණයටත් ප්‍රකාශකයෝ ගණනාවක් කතා කරා. නමුත් ලංකාවේ කතෘ භාගය පිළිබද ප්‍රශ්නයක් තියෙනවා. ඒ කතෘ භාගය ගෙවන්නේත් කෑලි කෑලි වලට කඩලා චුට්ට චුට්ට. ඒක ගන්නත් තකහනියක් ගිහිල්ලා එතැන අඩ අඩා ඉන්න ඕනි. තනිකරම හිගන්නාගේ තැනට කතෘව දාලා තියෙන්නේ. ඉතින් මම ඒ තැනට වැටෙන්න කැමති නැති නිසා මගේ පොත් කාටවත් දෙන්නේ නැහැ. මට සල්ලි තියෙන වෙලාවක පොත ගහනවයි කියලා හිටියේ. නමුත් දැන් සල්ලි තියෙනවා වෙලාව තමයි නැත්තේ. අනිත් එක මම පාඨකයන්ට කියන්න ඕනි මම මගේ පොත් කවදාවත් බුක් ෂොප් වල විකුණන එකක් නැහැ. ඒ හින්දා බුක් ෂොප් වල හොයන්නත් එපා. ඉතාම මෑත කාලිනව මම සුලග නුඹ සහ මම එළියට දානවා. මට කෝල් කරලා මගෙන්ම පොත ගන්න පුළුවන්. ඒ වගේම මම බලාපොරොත්තු වෙනවා පොත් ප්‍රදර්ශනයේ දී ස්ටෝල් එකක් අරගෙන කරන්නත්.

l උඩවලව කියන ගමේ දී අත්වින්ද ජිවිත අත්දැකීම් ද මේ විදියට මිනිසුන්ගේ හිත් හොරකම් කරන්න පාවිච්චි කරන්නේ ?

මට බය නැතිව ඕනි තැනක කියන්න පුළුවන්. කෙනෙක්ට හිතට දැනෙන්න ලියනවා කියන එක ජිවිතයේ අත්දැකීම් ආශ්‍රයෙන් එන එකක්. ඕනෑම චරිතයක් තව කෙනෙකුට දැනෙන්න ලියන්න නම් ඒ වගේ චරිත දැකලා තියෙන්න ඕනි. මම පොඩි කාලේ ඉදලා උඩවලවේ අධ්‍යාපනය ලැබුවේ. අපි බොහොම දුප්පත් වැව් ගම්මාන වල කට්ටිය. ඉතාම දුකක් විදලා තියෙනවා ඉගෙන ගන්න කාලේ සහ කොළඹ ආපු කාලේ. ඒක මම කියන්නේ ඉතාම සතුටින්. මොකද ජිවිතයේ දුක් විදීම තුලින් තමයි අත්දැකීම් ගොඩ නැගෙන්නේ. මට සැහෙන්න ඒක ලියන්න උදව් වුනා. දැන් කාලේ නම් ඉතින් දුක් විදිනවා කියන එක හරියට විදින්නේ නැහැ. ඒ වගේම ගොඩක් වෙලාවට දුක් විදපු මිනිසුන්ට ඒ දුක අමතකත් වෙනවා. මට මොකක්දෝ හේතුවකට පොඩිම කාලේ ඉදන් මතකයි. දුක විදින කොට මම ඒ ගැන කවදාවත් කනගාටු උනේ නැහැ. ආදරේ කරනකොට ආදරේ කරා. විරහව විදිනකොටත් කාටවත් සාප කරේ නැහැ. විරහවත් හදවතින්ම වින්දා. ඒවා තමයි මේ ලියවෙන්නේ ඉතින්. සුලග නුඹ සහ මම තනිකරම ලිව්වේ උඩවලව කියන ගම පාදක කරගෙන. ඒක සත්‍ය කතාවක්මත් නෙවෙයි. සුලග නුඹ සහ මම පලවෙනි කොටසේ දී තේමියයි පබළුයි එකතු වෙන්නෙත් නැහැ. දෙවෙනි කොටසේ දී තේමියයි දිමංසායි එකතු වෙන්නෙත් නැහැ. එහෙම කරේ ඇයි කියලා ඇත්තටම මට පාඨකයෝ හෝ ගාලා බැන්නා. කතාව පටන් ගන්නකොටම මට ඉලක්කයක් තිබ්බා. මේකේ පෙම්වතුන් දෙන්නා එකතු වෙන්නේ නැහැ කියලා. හේතුව මගේ යොවුන් ආදරය මට ලැබුනේ නැති නිසා මම විශ්වාස කරා මම ලියන පලවෙනි යොවුන් නවකතාවේ දී ඒ දෙන්නා එකතු වෙන්නේ නැහැ කියල. ඉතින් මම මගේ පාසල් තුල තිබුනෙත් එහෙම වියෝවක්. මං හිතුවා මේකේත් එහෙම දානවා කියලා. මගේ පාසල් ප්‍රේමය ඒ තරම් රහ වුනෙත් ඒ නිසා. මන් හිතන්නේ මේක රහ වුනෙත් ඒ නිසා.

l ලිවීම පටන් ගත්තේ කොයි කාලේ ද ? කොහොමද ?

ඉස්කෝලේ යන කාලේ දී තමයි. මගේ ගුරුවරු මගේ පවුලේ අය හැමෝටම ඕනි වුනේ මාව ඉංජිනේරුවෙක් කරන්න. මම ගණිත අංශයෙන් උසස් පෙළ කලේ. නමුත් ආසාව තිබුනේ ඒ පැත්තට නෙවෙයි. මං ගණිත අංශයෙන් ඉගෙන ගනිද්දීත් හොරෙන් කවි ලියනවා. හොරෙන් කවි ලියන්න හේතු උනේ නම් ඒ කාලේ ආදරේ පිළිබද කවි ලිවිම අපේ අම්මා සැලකුවේ නොසන්ඩාල කමක් විදියට. මම ආදරය සම්බන්ධ කවි ලියලා පොත් අස්සේ දාලා ගියාම අම්මා ඒවා හොරෙන් අරගෙන ලොකු අයියට දෙනවා. මෙන්න මු කෙල්ලෙක් එක්ක පැටලිලා ද කොහෙද කියලා. අම්මල එහෙමයි හිතුවේ. එතකොට ඒ කාලේ නවකතාවක් එහෙම කියවනවා අහු උනොත් විනාසයි. ඒක අදටත් තියෙනවා ලංකාවේ. ඒක හරිම ඛේදවාචකයක්. ආර්ට් කරන කෙනෙක්ට නවකතාවක් කියවන්න පුළුවන්. වෙන කෙනෙක්ට කියවන්න දෙන්නේ නැහැ. අපි නම් හොරෙන් හරි කියෙව්වා. ඒ කාලේ ම උඩවලවේ ස්කොලේ ඉද්දි බිත්තිපුවත් පතක් කරා අපි. නැණ මිහිර කියලා. ඒ පුවත්පත සංස්කරණය කලේ මං.මගේ පන්ති භාර ගුරුවරයා සමන් අලහකෝන් මහත්තයා තමයි මට වැඩේ බාර දුන්නේ. සමන් සර් කිව්වා මේ ලිපි සතිපතා අලුත් විය යුතුයි වගේ ම පරණ ලිපි පුස්තකාලේ ෆයිල් කරලා කියවන්න තියන්න කියලා. ඒ හැම දෙයක්ම එක්ක ලියන්න පටන් ගත්තා. දැන් කියන්නේ නම් දැන් ළමයි ඉස්සර ළමයි වගේ නෙවේ කියලා නේ. මම දකින්නේ දැන් ගුරුවරුත් ඉස්සර ගුරුවරු වගේ නෙවෙයි. දැන් අවුරුදු 12ක් 13ක් තිස්සේ ලියන නිසා දැන් නම් ලියන එක පුරුද්දට ගිහින්. දැන් නම් බාහිර පරිසරය කොහොම තිබුනත් ඒදන්ඩක් උඩ නෙවේ පිට කොටුවේ බෝ ගහ යට තියාගෙන හරි හොද සීරියස් එකක් ලියන්න පුළුවන් මගේ ලැප් එක ලග තියෙනවා නම්.

l ලැබෙන ප්‍රතිචාර සහ අද ලේඛකයෙකුට තියෙන තැන ගැන මොකද හිතෙන්නේ ?

ලැබෙන ප්‍රතිචාර ගැන නම් අප්‍රමාණ සතුටක් තියන්නේ. මොකද ලියනවා කියන්නේ ලේසි පහසු වැඩක් නෙවෙයි. අප්‍රමාන වෙහෙස වෙන වැඩක්. සමහර අවස්ථා තියෙනවා එක දිගට ගෙදර ඉදන් පැය පහලවක් විතරක් ඉදගෙන ඉන්න තැන ඉදන්ම ලියන. කන්න විතරයි නැගිටින්නේ. දැන් ඒ ජිවිතේ හුරුවෙලා. ඒ මහන්සිය යනවා ප්‍රතිචාර දැක්කට පස්සේ. ඒ වගේම අපි දකිනවා ලංකාවේ දක්ෂම ලේඛකයෝ ගණනවක් හරිම දුප්පත්ව මිය ගියා. ඒක ඛේදවාචකයක්. මම කියන්නේ නැහැ අරමුණ මුදල් කරගෙන හම්බ කල යුතුයි කියලා. නමුත් ඒ හැම ලේඛකයෙකුට වටිනාකමක් තියෙනවා. ලේඛකයෙකු ලියන දෙයින් පාර්ශව ගණනාවක් සල්ලි හම්බ කරනවා. අද මට හිතෙනවා ඒ ප්‍රවිනයොත් එයාලගේ වෙළද පොළ හරියට හැදුවේ නැහැ කියලා. සමහර ප්‍රවීණයෝ අදත් කුණු කොල්ලෙට ලියනවා. මම ඊලග පරම්පරාව ගැන හිතලා හරි වෙළද පොළ පොඩ්ඩක් හදන්න බලනවා. මම මගේ මිල හරියට තීරණය කරනවා. ලංකාවේ ලියන අයට තියෙන තැන ගැන සැහීමකට පත් වෙන්න බැහැ. නිකමට මෙහෙම හිතන්නකෝ. මම ලංකාවේ නැතිව ඇමරිකාවේ ඉපදුනා නම් සිදු එහෙ හිට් උනා නම් මම මෙලහට හොයා ගන්නවත් නැති මල්ටි මිලියනර් කෙනෙක් වෙනවනේ. ඒ වගේ තමයි. ලංකාවේ ලේඛකයෙකුට තියා කිසිම කලාකාරයෙකුට හරියට සලකන්නේ නැහැ. මැරුණාම තමයි කලාකාරයන්ට සලකන්නේ. ඒ හැටි. කුඩම්මාගේ සැලකිලි ලේඛකයෙකුට උපතින්ම උරුමයි. උදාහරනයක් විදියට ගත්තොත් සමහර නළු නිලියෝ මාව දන්නෙවත් නැහැ. ලොකේෂන් එකට ගියාම මේ කවුද අහනවා. මමත් නිකම් මම මේ ෂූටින් බලන්න ආව කියලා මාරු වෙලා ගියපු අවස්ථා ඕනි තරම් තියෙනවා. සමහර අවස්ථා වල සමහරු නම් අදුරගත්තම නම් අනේ හරි ශෝක් කියලා කතා කරනවා. වැඩිය ඕනි නැහැ සිදු එකේ සිදු අදටවත් මාව අදුරන්නේ නැහැ. පොඩි හාමුදුරුවෝවත් මාව දන්නේ නැතිව ඇති. මට ඒක ගානක් නැහැ. මම ලියන දේ හරියටම රගපාන අයට මම පුදුම ආදරෙයි. මොකද එතකොටයි මට වුනත් ලියන දේ රහ වෙන්නේ. වැඩේ ලියන්න ලියන්න මට රහ නැති නම් ඔස්කාර් සම්මාන දුන්නත් මම දාලා යනවා කියල මම මුලින් දැනුම් දීලා තියෙනවා. ඒ ලොකුකමට නෙවේ. ආත්ම තෘප්තියක් තියෙන්න ඕනි සේරටම වැඩිය. මගේ රහට ආස නිසා මම තාමත් ලියනවා. තවම සිදු හෝ දෙවැනි ඉනිමේ දී හිත් රිදීමක් නම් වෙලා නැහැ. එයාලා මම ලියන එක තවත් හොදට කරනවා මිසක්.

l සමන් එදිරිමුණි කියන්නේ පොරක් ද ?

මම මිනිස්සු එක්ක ෆේස්බුක් එකේ වුනත් ගනුදෙනු කරන විදිය දැක්කම කාටවත් මට පොරක් කියලා කියන්නේ බැහැ. මගේ නම ප්‍රසිද්ධ උනාට මට පාරේ බැහැලා යන්න බැරි කමක් නැහැ. ඉතාම කලාතුරකින් සීමිත දෙනෙක් තමයි පාරේ දී උනත් මාව අදුර ගන්නේ. හැබැයි බාටා දෙකක් දාගෙන බස් එකක යන්න බැරි තරම් මම ජනප්‍රිය උනොත් ඒක මටම කරදරයක් වේවි සමහර විට. මම පොරක් කියලා කියන අයත් ඇති. හැබැයි මම පොරක් නම් නෙවෙයි. නමුත් මම විශ්වාස කරනවා කවුරු හරි මගේ නවල් එකක් එක දිගට පිටු තුනක් කියෙව්වොත් එයා කීයටවත් ඒ නවල් එක බිම තියෙන එකක් නැහැ කියලා මම විශ්වාස කරනවා. අබිං කෑවා වගේ තමයි ඊට පස්සේ.

l පලවෙනි ඉනිම සිදු, දෙවෙනි ඉනිමත් හරි දැන්, තුන්වෙනි ඉනිම මොකක්ද ?

බලාපොරොත්තුවක් තියෙනවා. තුන්වෙනි ඉනිම විදියට චිත්‍රපටි පිටපතක් ලියන්න. තවම ඒකට අත තිබ්බේ නැහැ, වස්තු විෂයත් ඔලුවේ කැරකෙමින් තියෙනවා. ටෙලි නාට්‍ය දෙකක් ලියන අස්සේ ඒක ගැන හිත හිතා ඉන්නවා. වෙලාවක් නැතිකමයි තියෙන්නේ.

l තවමත් වෘත්තියෙන් පත්තරකාරයෙක් ද ?

ඔව් පත්තරේ තමයි ජිවිතේ මහා ගෙදර. අවසාන වශයෙන් ගිහිල්ලා වැටෙන්න තියෙන තැන. අවුරුදු විසි ගණන් වල මුල පටන් ගත්තු පත්තර ජිවිතේ මේ. මැරෙනකම්ම මේ පත්තර කලාවේ ඉදිවී.

අරුණි කළුපහන
ඡායාරූපය - මධුර සුමිත්


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 16 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.

Or log in with...