ක්ලැරන්ස් ඇගයීම අපේ අරමුණයි

 ‘සිංහල පොප් සංගීතයේ පියා’ ක්ලැරන්ස් විජේවර්ධනයන්ගේ 20 වෙනි අනුස්මරණය නිමිත්තෙන් ‘Unforgettable Melodies of Clarence’ නම් දැවැන්ත ප්‍රසංගයක් මාර්තු 21 වැනිදා (අද) සවස 6.00ට කොළඹ නෙළුම් පොකුණ මහින්ද රාජපක්ෂ රඟහලේදී පැවැත්වීමට කටයුතු සූදානම් වෙමින් තිබේ. ‘Best life International’ ආයතනයේ අනුග්‍රාහකත්වයෙන් හා ‘V - Care’ ජාත්‍යන්තර පදනමේ සංවිධායකත්වයෙන් පැවැත්වෙන ප්‍රසංගය පිළිබඳ අප හා අදහස් දැක්වූයේ ‘V - Care’ ජාත්‍යන්තර පදනමේ සභාපති රනේශ් වර්නන් කුමාරසේන මහතායි.

l ක්ලැරන්ස් විජේවර්ධනගේ 20 වෙනි අනුස්මරණය නිමිත්තෙන් ‘Unforgettable Melodies of Clarence’ ප්‍රසංගය පැවැත්වීමට සිතුවේ ඇයි?

කණ්ඩායම් සංගීතයේ පුරෝගාමියකු වගේම ලාංකේය සංගීත ක්ෂේත්‍රයට ඉලෙක්ට්‍රෝනික් ගිටාරය හඳුන්වා දුන්නේද ක්ලැරන්ස්. එය ඇතැම් අයගේ විවේචනයට ලක් වුවත් ඔහු එය යොදා ගනිමින් විශිෂ්ට හා නොමියෙන ගීත රැසක් නිමවා මෙරට කලා කෙත අස්වැද්දුවා. ඒ නිසා සිංහල පොප් සංගීතයේ පියාට ගරු කිරීමක් වශයෙනුයි මේ ප්‍රසංගය පැවැත්වීමට අප ආයතන තීරණය කළේ. මේ තීරණය අනුව ප්‍රසංගයට දායක වීමට ලැබීම ගැන අප සියලු දෙනාටම තිබෙන්නේ සතුටක්. තවත් කෙනෙක් සතුටු කරමින්, තමන්ද සතුටු වීම V - care හා Best life ආයතනයේ සතුටයි.

l පෞද්ගලික ආයතන විදියට ඔබ ආයතන ද්විත්වය ක්ලැරන්ස් වැනි ජනතාවගේ බොහෝ ආදරය හිමි වූ කලාකරුවකුගේ ප්‍රසංගයකට දායකත්වය ලබා දෙන්නේ කුමන ලාභ අපේක්ෂාවක් ඇතුවද?

මේ සඳහා අප ආයතන සංවිධායකත්වය ලබාදෙන්නේ කිසිදු ලාභ අපේක්ෂාවකින් තොරවයි. මෙම ප්‍රසංගය සඳහා විශාල මුදලක් වැය කෙරෙනවා. ඒ ප්‍රසංගයෙන් ලැබෙන ආදායමක් වෙත්නම් එය දිළිඳු දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් යෙදවීමටයි අප සිතාගෙන සිටින්නේ. පද රචනය, තනු නිර්මාණය, සංගීතය හා ගායනය යන සියල්ලෙන් ම ඔහු විශිෂ්ටයෙක්. ඒ වුණත් ජීවතුන් අතර සිටියදී ක්ලැරන්ස් විජේවර්ධනයන් ඇගයීමට ලක් වුණේ එක් අවස්ථාවකදී පමණයි. ඒ 1976 දී හුළුගල්ල පවුලෙන් පිරිනැමූ සම්මානය මඟින්. ඔහු මිය ගිය පසුවවත් කිසිවකුත් ඔහුව සම්මානයකට පාත්‍ර කළේ නැහැ. ඒ අඩුවයි අප මේ සම්පූර්ණ කරන්නේ. ඒ වගේ ම ඔහුට ගෞරව සම්මානයක් පිරිනැමීමත් මෙහිදී සිදුවනවා.

l වර්තමාන පරපුර ක්ලැරන්ස් විජේවර්ධන නම් ගායකයා පිළිබඳ කිසිවක් දන්නේ නැහැ. මේ ගැන ඔබට තිබෙන්නේ මොන වගේ අදහසක් ද?

පසුකාලීන ගායන ශිල්පීන් හෝ සංගීත කණ්ඩායම් බොහෝවිට පටන් ගත්තේ ක්ලැරන්ස්ගේ ගීතයකින්. අපි විනෝද ගමනක් ගිහින් හරි වෙනත් අවස්ථාවකදී හරි ගීත 4ක් ගායනා කළොත් නොවැරැදී ම ඉන් එකක් ක්ලැරන්ස්ගේ. ඒ තරමට ම ඔහුගේ ගීත කිසිවකුටවත් අමතක වන්නේ නැහැ. ඒත් වර්තමාන පරපුරට මේ විශිෂ්ටයා ගැන කිසිම දැනුවත් බවක් ඇත්තේ නැහැ. ඒක ඇත්තයි. එහෙත් ඔවුන් ක්ලැරන්ස්ගේ ගීත ඕනෑ තරම් ගයනවා. ඒත් ඒ ගීත ගයන්නේ කවුද? ඒ ගීත සංගීතවත් කරලා තියෙන්නේ කවුද? ඒ ගීතවල පද රචකයා කවුද? කියලා කිසිවෙකුත් දන්නේ නැහැ. මේ ප්‍රසංගයේදී අපේ ප්‍රධාන අරමුණක් වුණේ ක්ලැරන්ස්ව නව පරපුරට හඳුන්වා දීමයි.

l මේ වනවිට ‘Best life ආයතනය මෙවැනි කලාකරුවන් රැසකටම සම්මාන පිරිනමා තිබෙනවා නේද?

මීට පෙරද දිවි උදාන ගී ප්‍රසංගයට සමගාමීව කරුණාරත්න අබේසේකර, මහාචාර්ය සුනිල් ආරියරත්න, රත්න ශ්‍රී විජේසිංහ, ආචාර්ය අජන්තා රණසිංහ, මහාචාර්ය ප්‍රනීත් අභයසුන්දර, පූජ්‍ය රඹුක්කන සිද්ධාර්ථ හිමි, ධම්මික බණ්ඩාර, පූජ්‍ය පල්ලේගම සෝමරතන හිමි, අධිනීතීඥ ඩබ්. ඒ. අබේසිංහ, කුමාරදාස සපුතන්ත්‍රී, සුනිල් සරත් පෙරේරා යන ප්‍රවීණ ගී පද රචකයන්ට උපහාර පිරිනමා තිබෙනවා. මෙලෙස අප ආයතන දෙකේම එකතුවෙන් අභිනන්දනයට ලක් වන නවතම කලාකරුවා වන්නේ ක්ලැරන්ස් විජේවර්ධනයි.

l ඔබ ආයතන මඟින් ක්ලැරන්ස් විජේවර්ධනට පිරිනැමෙන සම්මානය කුමක්ද?

මෙම ප්‍රසංගයේදී ඔහු වෙනුවෙන් අප පුදන්නේ සාහිත්‍ය කලා ජනනන්දන ගෞරව සම්මානයයි.

l මේ කටයුත්තට ක්ලැරන්ස්ගේ බිරියගෙන් කුමන සහයෝගයක් ද ලැබෙන්නේ?

විශේෂයෙන් ම ඕස්ට්‍රේලියාවේ ජීවත් වන ක්ලැරන්ස් විජේවර්ධන මහතාගේ බිරිය ශීලා විජේවර්ධන සහ දියණිය අමිලා විජේවර්ධන මෙහිදි ලබාදෙන දායකත්වය සහ සහය අප විශේෂයෙන් ම අගය කළ යුතුයි. මේ ප්‍රසංගය සඳහා ඔවුන් ඕස්ට්‍රේලියාවේ සිට මෙරටට පැමිණිලයි සිටින්නේ.

l මේ ප්‍රසංගයට Best Life ආයතනය මඟින් ලැබෙන්නේ මොනවගේ සහයෝගයක්ද ?

මේ ප්‍රසංගය සාර්ථක කරගැනීමට අප ආයතනය හා අත්වැල් බැඳගත් Best Life ආයතනය ගෙනෙන්නේ විශාල රුකුළක්. ලක්ෂ දෙකක පමණ නියෝජිතයන්ගෙන් සමන්විත Best Life ශක්තිමත් අළෙවි ජාලයක්. මෙවැනි දැවැන්ත Best Life ජාලය නිෂ්පාදනය කළ නිර්මාණයක් වන්නේ මහින්දාගමනය චිත්‍රපටයයි. එය වාර්තා ගත ප්‍රේක්ෂක ප්‍රතිචාරයක් ලබන්නට තරම් වාසනාවන්ත වුණා. ඒ නිසා වසා දමන තත්ත්වයට පත්ව තිබූ සිනමා ශාලා නැවත විවෘත කිරීමට සමත් වීම ඔවුන් ලැබූ ජයග්‍රහණයක්. එවැනි ආයතනයක් සමඟයි අප අත්වැල් බැඳගෙන ඇත්තේ. මීට පෙර ඔවුන් පැවැත්වූ දිරි උදාන ප්‍රසංගය සාර්ථකව පැවැත්වීමට හැකි වූ නිසාමත්, ඔවුන් සමඟ ක්ලැරන්ස් වැනි විශිෂ්ටයකු වෙනුවෙන් පවත්වන මේ දැවැන්ත ප්‍රසංගය සාර්ථකව පැවැත්වීමට හැකි වේවි යැයි අප විශ්වාස කරනවා.

l ‘Unforgettable Melodies of Clarence’ ප්‍රසංගය දකින්නට ලැබෙන්නේ ශ්‍රී ලාංකිකයන්ට පමණක් නොවෙයි. එය සත්‍යයක්ද?

ක්ලැරන්ස් විජේවර්ධනගේ අභාවයෙන් 20 වසරක් ගතවන මොහොතේදියි මේ ප්‍රසංගය පැවැත්වෙන්නේ. එහිදි ඕස්ට්‍රේලියාවේ සිටින ශ්‍රී ලාංකිකයන් විශාල පිරිසකටත් එහි සිට මේ ප්‍රසංගය නැරැඹිය හැකියි. ඒ මේ දේශ සීමාවෙන් ඔබ්බට යාමේදී කිසිදු බාධාවකින් තොරව ප්‍රසංගය ඒ මොහොතේ ම ලොව ඕනෑම තැනක සිට රසවිඳීමට හැකියි. නවීනතම තාක්ෂණය භාවිත කිරීමෙනුයි ඒ කටයුත්ත සිදුවන්නේ. ඒ වෙනුවෙන් විශේෂ ප්‍රවේශ පත්‍රයක් ද නිකුත් කෙරෙනවා. ඕස්ට්‍රේලියාවේදී ශ්‍රී ලාංකිකයන් මෙන් තුන්ගුණයක් මේ ප්‍රසංගය නරඹනු ඇතැයි අප අපේක්ෂා කරනවා. ඒ වගේ ම දක්ෂ ලාංකේය කලාකරුවන් ජාත්‍යන්තරයට හඳුන්වාදීමේ මූලික කාර්යයක් ලෙස මේ කටයුත්ත හඳුන්වා දීමටත් අප කැමතියි.

l ‘Unforgettable Melodies of Clarence’ ප්‍රසංගය සඳහා සංගීතය සපයන සංගීත කණ්ඩායම පිළිබඳත් යමක් කියමුද?

මෙම ප්‍රසංගය සඳහා සංගීතය සපයන්නේ ‘රිදම් ඔෆ් ක්ලැරන්ස්’ සංගීත කණ්ඩායමයි. එහි නායකයා වන්නේ ජෙරල්ඩ් වික්‍රමසූරියයි. ජෙරල්ඩ් වික්‍රමසූරිය කියන්නේ ක්ලැරන්ස් සමඟ සුපර් නයිට් ගෝල්ඩ්ස් කණ්ඩායමේ ශිල්පියෙක්. ක්ලැරන්ස්ගේ ළඟම යහළුවෙක්. ඔහු වගේ ම ඒ කාලයේ ක්ලැරන්ස්ගේ වාදන කණ්ඩායම්වල සිටි ලීඩ් ගිටාර් වාදන ශිල්පී සුනිල් වීරසේකරත් මේ කණ්ඩායමට ම එක් වෙනවා. ඔවුන් දෙදෙනා ඇතුළු සංගීත ශිල්පීන් රැසකගේ එකතුවෙනුයි එදිනට සංගීතය සැපයෙන්නේ.

l එදිනට ක්ලැරන්ස්ගේ ගීත කොපමණ ප්‍රමාණයක් ගයනවාද?

ක්ලැරන්ස්ගේ තනු නිර්මාණය කළ සුමියුරු ගීත 28ක් එදිනට ගැයීමට නියමිතයි. සනත් නන්දසිරි, ප්‍රියා සූරියසේන, ලලිත් පොන්නම්පෙරුම, කීර්ති පැස්කුවල්, චාන්දනී හෙට්ටිආරච්චි, ඩැලරින් සුබී, චලක චමුපති පෙරේරා, සමන් ද සිල්වා, සුනිල් පෙරේරා, කිත්සිරි ජයරත්න, ඉසුරු ජයරත්න, නීල් වර්ණකුලසූරිය, වර්නන් පෙරේරා, මැණික් චන්ද්‍රිකා, ලංකිකා පෙරේරා යන ගායක ගායිකාවන් රැසක් අද නෙළුම් පොකුණ වේදිකාවේ ගී ගයාවි. මෙතෙක් කිසිදා නොපැවැත් වූ ප්‍රසංගයක් නෙළුම් පොකුණේදී පැවැත්වේවි. ඒ නිසා ක්ලැරන්ස්ට ආදරය කරන සියල්ලන්ටම මේ ප්‍රසංගය නරඹන්න පැමිණෙන්න කියා මා ආරාධනා කරනවා. ඔහුට සැබවින්ම ආදරය කරන්නේ කවුදැයි අපට දැක ගත හැකි වන්නේ අද දිනයේයි.

ධම්මික සෙනෙවිරත්න
තිලානි ශානිකා විතානාච්චි


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
6 + 9 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.

Or log in with...