තරුණ පරපුරට අධ්‍යාත්මික සංවර්ධනය දෙන ප්‍රාසාංගික කලා වැඩසටහන

 ජන ගී ගායනාවකි. පහත රට බෙර නදකි. සිමෙන්ති පොළොවේ වැදෙන යටිපතුල් හඬවල් ගායනාවද බෙර හඬද යටපත් කරයි. සර්පිනාවකින් නැ‍ඟෙන සෝබර හඬකි. දෙමළ ජන ගීයක හඬක්ද ඉස්මතුවේ.

මේ සියලු නාද මාලා නැ‍ඟෙන්නේ බත්තරමුල්ල සෙන් මැතිව්ස් දේවස්ථානයේ ශාලාවකිනි. ගැයුම් අතරින් ගිටාරයක තත් හැඩවේ. ගැට බෙරයද වැයේ. පොළොවේ යටි පතුල් වැදෙන හඬයි. එය කස හඩවල් පරයයි. මේ සියලු නද සුබ කටයුත්තක පෙරනිමිති වැන්න.

නර්ථන පුහුණුව සඳහා වෙන්වූ ඇඳුමින් සැරසුණු නව යොවුන් වියේ තරුණයෝය. තරුණියෝය. ඔවුහු දේවස්ථාන ශාලාවේ ප්‍රේක්ෂකාගාරයේ නර්ථන පුහුණුවක යෙදී සිටිති. විටෙක ඔවුන් උඩරට නර්ථනයක යෙදේ. විටෙක දමිළ ගැමි නර්ථනයක යෙදේ. මේ නර්ථනයක පෙර පුහුණුවකි. ඔවුහු ප්‍රාසාංගික පුහුණු පාඨමාලාවක් හදාරන සිසු සිසුවියෝය.

රටක සංවර්ධනයකදී බෝක්කු පාලම්, පාරවල්, නව කර්මාන්ත යන භෞතික සම්පත් සංවර්ධනය සේම මිනිසාගේ ආධ්‍යාත්මික සංවර්ධනයද සිදුවිය යුතු බව මෙම පාඨමාලාවේ සම්බන්ධීකරණ කටයුතු කරන නාට්‍යවේදී ධර්මජිත් පුනර්ජීව සාකච්ඡාවකට මුල පුරමින් ප්‍රකාශ කර සිටියේය.

ලාංකේය අධ්‍යාපන ක්‍රමයේ දී සිසුවා තුළ රසවින්දනය ඇති කරන්නේ කෙසේද යන්න ගැන ගැටලු පවතී. පෙළ පොත්වල ඇතුළත් සාහිත්‍ය කරුණු විභාග පමණක් ඉලක්ක කරගෙන ඇති අතර එම රසය ද පාසල් අධ්‍යාපනය අවසන්වීමත් සමඟම සිසුවාගෙන් ගිලිහී යයි. මෙයින් අනාගතයේදී බිහිවන්නේ රසඥතාවක් රහිත අනාගත පරපුරකි.

නර්ථනය, ගායනය, වාදනය පිළිබඳ පාඨමාලා කොතෙකුත් බිහිවේ. එහෙත් එකී පාඨමාලා අවසානයේදී පාඨමාලා ලාභියාට අයත්වන ඉරණම කුමක්ද? ඔහු හෝ ඇය අනාගතය ගොඩනඟාගන්නේ කෙසේද? වැනි ගැටලු රැසකට මෙවැනි පාඨමාලා හැදෑරීමෙන් පසු මුහුණුපෑමට සිදුවේ.

නාට්‍යවේදී ධර්මජිත් පුනර්ජීව ප්‍රකාශ කර සිටියේ එවැනි අවිධිමත් පාඨමාලා තුළ ඇති ගැටලු මෙම ප්‍රසාංගික පාඨමාලාව හරහා විසඳෙන බවයි.

මෙම පාඨමාලා ආරම්භ කරන්නට පිඹුරුපත් සකස් කරනුයේ බස්නාහිර මහ නගර සැලසුම් සහ බස්නාහිර වැඩසටහන් ව්‍යාපෘති කාර්යාලයේ සභාපතිතුමා වන අජිත දි කොස්තා මහතාය. ඒ අනුව එහි එක් අදියරක් වන නාට්‍ය හා රංග කලාව, නර්ථනය, සංගීතය, ගායනය ඇතුළු කලා මාධ්‍යයන් පෙරටුකරගෙන පුහුණු වැඩසටහන් ආරම්භ කිරීමට සැලසුම් සකස් වේ. මේ සඳහා බඳවා ගැනීමට 2016 වසරේ ඔක්තෝබර් මස 16 වැනි දින පුවත්පත් හරහා තරුණ තරුණියන්ගෙන් ඉල්ලුම් පත්‍ර කැඳවීය. මෙයට ප්‍රතිචාර වශයෙන් ඉල්ලුම් පත්‍ර එකසිය පනහක් ලැබුණු අතර ඉන් පනස් හතරක් තෝරා ගැනිණි. මෙය සය මාසික වැඩසටහනකි. මේ පුහුණු වැඩසටහන සඳහා නර්ථනය පුහුණුවට ඛේමා දී කොස්තාද සංගීතය පුහුණුවට රංජිත් බාලසූරියද පහතරට නර්ථනය පුහුණුවට ලයනල් බෙන්තරගේද සබරගමු නර්ථන පුහුණුවට ජනක අතපත්තු ද භරත නාට්‍යම් පුහුණුවට රංජිත් සුර්යබණ්ඩාරද සහාය වෙති.

මෙම ප්‍රාසාංගික පුහුණු වැඩසටනට මෙරට සෑම පළාතකින්ම තරුණ තරුණියන් ඉල්ලුම්පත් යොමු කර තිබිණි. ඒ අතර විශ්වවිද්‍යාලයට ඇතුළත්වීම සඳහා අවශ්‍ය ලකුණු අඩුවූවන් ද විශ්ව විද්‍යාලයට සුදුසුකම් ලැබුවෝද සිටියහ. බහුතරය උසස්පෙළ විභාගයට මුහුණ දී විශ්ව විද්‍යාලයට ඇතුළත්වීමට නොහැකිවූවන්ය. තෝරාගත් පනස් හතර දෙනා අතර සිංහල සේම දමිළ තරුණ තරුණියෝද සිටියහ. මෙම වැඩසටහනට මාස දෙකක් ගතවූ තැන නැවත දෙවැනි පරීක්ෂණයක් සිදුකළ බව මෙහි සම්බන්ධීකාරක ධර්මජිත් පුනර්ජීව මහතා ප්‍රකාශ කළේය. එයින් තිස්දෙනකු තෝරාගත් බවත් ඔහු කීය. මෙම තරුණ තරුණියන් තිස් දෙනා සඳහා වෘත්තීය මට්ටමින් පුහුණුවීම් කටයුතු කරගෙන යයි.

පුහුණුව ලබන ශ්‍යාමලී හත්සිංහ මහනුවර ප්‍රදේශයේ සිට පැමිණි තරුණියකි. පොරමඬුල්ල මධ්‍ය මහා විද්‍යාලයෙන් කලා අංශයෙන් උසස් පෙළ හදාරා ඇත. එහිදී ඇය ගායනය ද හදාරා තිබේ. ප්‍රාසාංගික කලාව ගැන අධ්‍යාපනය ලබාගැනීම සඳහා මෙම වැසටහනට ඉල්ලුම් කළ බව ශ්‍යාමල හත්සිංහ ප්‍රකාශ කළාය. ගායනය පිළිබඳ වැඩිදුරටත් මෙහිදී ප්‍රගුණ කළ ඇය ඊට අමතරව නාට්‍ය හා රංග කලාව, නර්ථනය ගැන අවබෝධයක් මෙහිදී ලබා ගත් බව කියා සිටියාය.

සාගර අලගියවන්න ගම්පහ තරුණයෙකි. කොළඹ ආනන්ද විද්‍යාලයේ ආදි සිසුවෙකි. ගණිතය අංශයෙන් අධ්‍යාපනය හදාරා ඇත. පාසලේ බටහිර තූර්ය වාදක කණ්ඩාය‍මේ සාමාජිකයෙක්ව සිටීමෙන් සන්ධ්වනි සංගීතය ගැන කැමැත්තක් ඇති කරගත් බවත් එහි දී ඒ පිළිබඳව මූලික අධ්‍යාපනයක් ලබාගත් බවත් ඔහු ප්‍රකාශ කළේය. සංගීතය ගැන වැඩිදුරටත් අධ්‍යාපනය ලබාගැනීමටත්, මඟ පෙන්වීමට අයෙක් නැති නිසාත් මෙම පුහුණු වැඩසටහනට ඇතුළත් වූ බව සාගර අලගියවන්න කීය .

සුනංජල ප්‍රගති රත්මලානෙන් පැමිණියෙකි. කුඩා කළ සිටම නර්ථනය හැදෑරුවෙකි. ඔහු ලලිත් ඇතුලත් මුදලි විදුහලේ ආදි සිසුවෙකි. වැඩිදුරටත් නර්ථනය හැදෑරීම පිණිස මෙම ප්‍රාසාංගික කලා පුහුණුවට ඇතුළත් වූ බව සුනංජල තරුණයා කියා සිටියේය.

ශාමිලා සමුත්තිලරාජා කෑගල්ල ප්‍රදේශයේ තරුණියකි. මහනුවර විහාරමහා දේවි විදුහලේ ආදි සිසුවියකි. භරත නර්ථනය ද හැදෑරූ ඇය මෙම වැඩසටහනට ඇතුළත්වීමෙන් සබරගමු නර්ථනයද හදාරන්නට අවස්ථාවක් ලද බව කියා සිටියාය.

ප්‍රාසාංගික පුහුණු වැඩසටහනේ පරමාර්ථ ගැන ද අදහස් දක්වන්නට ධර්මජිත් පුනර්ජීව මහතා නොපැකිළුණේය. මේ පුහුණුවන්නන් තුළ රසවින්දනය ඇතිකිරීමත්, කුසලතා පුර්ණ වෘත්තීය ශිල්පීන් බිහිකිරීමත් තම නිර්මාණ ඉදිරිපත් කිරීමට මාර්ගයකුත්, ඔවුනට පවතින්න අවශ්‍යකරන පදනමක් සපයාදීමත් මෙහි ප්‍රධාන පරමාර්ථ අතර ඇති බව ඔහු කීවේය.

මෙම වැඩසටහනේ සම්බන්ධීකාරක ධර්මජිත් පුනර්ජීව හා කරන සාකච්ඡාව පරයමින් ජනගී ගායනාවක් ඇසේ. ගායනය මධුරය. මනෝහරය. එකී ගායනාව ශ්‍යාමලී හත්සිංහගේ බව අඳුනාගත හැකිය. ඒ සමඟම නැ‍ඟෙන ගිටාරයේ නාදය සාගර අලගියවන්ගේ බව පැහැදිළිය. ශාලාවේ සිමෙන්ති පොළොව දෙදරවමින් තරුණ පිරිස නර්ථනයේ යෙදෙන හඬ ඇ‍සේ. එතැන සුනංජල ප්‍රගතීන්, ශාමිලා සමුත්තිල රාජාත් මනස්කාන්ත ලෙස නර්ථනයේ යෙදෙන බව ස්ථිරය. බලි තොවිල් සිහිගන්වමින් පහත රට බෙරයක නද නින්නාද වේ.

තරුණ පිරිස සියල්ලෝම සුබ කටයුත්තකට පුහුණුවෙති. සූදානම් වෙති.ඒ මාර්තු මස 27 වැනි දිනට යෙදෙන ලෝක නාට්‍ය දිනය සඳහා ය. එක් අතකින් එය කළඑළි මංගල්‍යයකට සූදානම් වීමක් වැනිය. අනෙක් අතට මාස තුනක් තිස්සේ ලබාගත් අධ්‍යයන ප්‍රගතිය උරගා බැලීමක් වැනිය. එහෙත් මේ සූදානමේ පළමු කාර්යය වන්නේ ලෝක නාට්‍ය දිනය සැමරීම බැව් නාට්‍යවේදී ධර්මජිත් පුනර්ජීව මහතා කියා සිටියි.

‘ලෝක නාට්‍ය දිනය සමරමු’ යන තේමා පාඨය යටතේ මාර්තු මස 27 වැනි දින සවස 5.30ට බත්තරමුල්ල අපේ ගම පරිශ්‍රයේදී මෙම ප්‍රාසාංගික කලා වැඩසටහන පැවැත්වේ.

why we kill our selves යන බැලේ නර්ථනයත්, භරත නාට්‍යම්, ධර්මජිත් පුනර්ජීවගේ චේතනය; ශ්‍රමය සහ ඊට හිමි වැටුප් යන කෘතියත්, රංජිත් බාලසූරියගේ නාඩගම් හා නූර්ති ගී ප්‍රසංගයත් එදිනට එළිදැක්වේ.

අනුසාර මාහිංගොඩ ‍‍


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...