රන් ගැරිල්ල කෙසේද යත්

බන්දුල පී දයාරත්න

“ඇම්බන් මහත්තයා අද එහෙනං ටිකක් කන්තෝරුව බලා ගන්න. මායි උන්නැහෙයි යනවා අර වෙන්දේසියට ගිහිල්ලා එන්න.” කියා ටොම්සන් මහත්තයා ලිපි ගොනුවකුත් අතින් ගෙන කන්තෝරුවෙන් එළියට බැස්සේය.

“හරි හරි... මං බලා ගන්නං... ඒක නම් මොකක්ද? දවල් කෑමට ආපහු එන්න...” කියා ඇම්බන් මහත්තයා කීවේය.

උන්නැහේත් ටොම්සන් මහත්තයාත් දෙන්නාම දැන් එක වේගෙකට පාර අයිනේ ඇවිද ගෙන යති. ටොම්සන් මහත්තයා කිසිම කතාවක් නැතිව කල්පනාවෙනි. උන්නැහේ ටොම්සන් මහත්තයාගේ ලිපි ගොනුව අතින් ගෙන පස්සෙන් ඇවිද ගෙන යයි.

“ඇත්තට ටොම්සන් මහත්තයා. මේ මොන වෙන්දේසියකට යන්නේ..?” කියා උන්නැහේ ඇසුවේ බොහොම කලබලයෙනි. එහෙත් ටොම්සන් මහත්තයා කතාවක් නැත.

“හරි ඉතින් මේක ඉඩම් වෙන්දේසියක් නම් නෙවෙයි නේ.. මොකද මෙහෙම ගිහිල්ලා ඉඩම අරන් එන්නයෑ... මේක මොනවා වෙන්දේසි කරන එකක්ද ටොම්සන් මහත්තයා... මටත් මොනවා හරි ලාබෙට ගන්න පුළුවන් වුණොත් හොඳයි... කාලෙකින් ගෙදර ගියෙත් නෑ නේ... මොනවා හරි ගෙදරට යවන්න පුළුවන් දෙයක් නම් හොඳයි...”

“උන්නැහේ රත්තරන් මාල දාලා තියෙනවද?” කියා ටොම්සන් මහත්තයා එක වරම ඇසුවේ උන්නැහේගේ මුහුණ දෙස බලමිනි.

“අනේ මට මොන රත්තරන් මාලද ටොම්සන් මහත්තයා... අනික ඕවා ඔය ගෑනුන්ගේ ආභරණ නේ....”

“ඇයි එහෙම කියන්නේ...? පිරිමිත් ඔය මාල මුදු දාන්නේ...”

“ඒ කියන්නේ දැන් මේ ටොම්සන් මහත්තයා යන්නේ රත්තරන් වෙන්දේසියකට... මං හරි නේද?” කියා උන්නැහේ බොහොම සන්තෝසෙන් කීවේය.

“ටිකක් හරි... ටිකක් වැරදි...”

“ඒ කියන්නේ...?”

“රත්තරන් වෙන්දේසි තියෙන්නේ ඔය අප්‍රිකානු රටවල නේ.. එහෙම නැතිනම් මං හිතන්නේ අපේ මහ බැංකුවෙනුත් රත්තරන් වෙන්දේසි කරනවා මගෙ හිතේ... ඒ වුණාට අපි යන්නේ රන් භාණ්ඩ වෙන්දේසියකට...”

“කියන්නේ රත්තරන් බඩු ගන්න.. ඒ මොකද හදිසියේ එහෙම හිතක් පහළ වුණේ....?”

“නෑ... උන්නැහේ... මං යන්නේ වෙන්දේසිය බලන්න...”

ටික වේලාවකින් ටොම්සන් මහත්තයාත් උන්නැහේත් වෙන්දේසි භූමියට ළඟා වූහ.

“ඇතුළු වෙන්න නිකං බෑ... රුපියල් දාහයි... මේක මේ රත්තරන් වෙන්දේසියක්... ගානත් රත්තරන් වගේ තමයි...” කියා එතන හිටි සිකියුරිටි මහත්තයෙක් කීවේය.

“කමක් නෑ... එහෙනං අපි මෙහෙ ඉන්නං... මහත්තයා හිතන්නේ අද කොච්චර විතර රත්තරන් බඩු වෙන්දේසි කරයිද?” කියා ටොම්සන් මහත්තයා ඇසුවේය.

“ඒ මොකද මේ මහත්තයා එහෙම අහන්නේ? සුද්දයක් දාන්නද‍?” කියා සිකියුරිටි උන්නැහේ ඇසුවේය.

“අනේ නෑ... ඒකට නෙවෙයි ඇහුවේ... මං මේ පහුගිය කාලේ දැක්කා ඔය පත්තරවල තියෙනවා... රත්තරන් උගස් අරන් ණය දෙනවා... බොහොම අඩු ගානට දෙනවා.. මාසයකට සීයට භාගය පොළියට දෙනවා... එන්න.... අපි ළඟට ... අප තමයි රන් ණය නොම්මර එක... ඔය වගේ දැන්වීම් පළ වෙලා තිබුණා... එච්චරක් නෙවෙයි පාරවල් අයිනේ බෝඩ් ලෑලිත් ගහලා තිබුණා...බොහොම ලස්සනට.”

“මහත්තයා කියන එක ඇත්ත... එහෙම උගසට ගත්තු රන් බඩු තමයි මේ වෙන්දේසි කරන්නේ... මහත්තයා කියන්න.. මගේ මායියත් රත්තරන් මාලෙයි, වළල්ලයි උගස් තියලා මේකෙන් ණය ගත්තා... ඒක ගෙවා ගන්න බැරි වුණා... දරුවාගේ අසනීපයකට තමයි ගත්තේ.. වෙන කරන්න දෙයක් නැති නිසා... ඒක ගෙවා ගන්නේ කොහොමද? මේ හම්බ වෙන සොච්චමෙන්... ඉතින් අපි ආසාව අත් ඇරියා.. ඒ වුණාට හිතට දුකයි...”

“එහෙම තමයි.. තමන්ගේ දෙයක් නැති වෙන කොට දුක හිතෙනවා තමයි..” කියා උන්නැහේ කීවේය.

“නෑ.. ඒකම නෙවෙයි... රත්තරන් බඩුවල වටිනාකම ලක්ෂයක් වෙනවා...ණය ගත්තේ රුපියල් පණස් දාහයි.. ඉතින් ලක්ෂයම ඉවරයි පොලිය ගණන් හැදුවම... ඒ ගොල්ලෝ කියන්නේ වෙන්දේසි කළාට පස්සේ ණය මුදලයි, පොලියයි, වෙන්දේසියේ වියදමයි කපා ගෙන ඉතිරි ගාන අපට දෙනවා කියලා... මොකක්ද ඒකේ ඇති වැඩේ... මේ වගේ වෙන්දේසිවල මිල නියම වෙන්නේ ඒ ගොල්ලන්ගේ වාසියට.”

වෙන්දේසි පොළ ඉදිරියේ කාන්තාවෝ කිහිප දෙනෙකි. ඔවුන්ගේ මුහුණු ඇඬූ කඳුළෙනි. ටොම්සන් මහත්තයා එතැනට ගොස් ඔවුන් සමඟ කතා කරන්නට පටන් ගත්තේය.

“ටොම්සන් මහත්තයාට කියන්න... මං අවුරුදු පහක් ඔය නිදහස් වෙළඳ කලාපේ වැඩ කරලා තමයි ඔය රත්තරන් බඩු ටික ගත්තේ... දැන් ඉතින් මොනවා කරන්නද? කාටවත් වැරදි කියලත් බෑනේ.. ණය ගන්නකොට අපි දන්නවා මේකේ යට තියෙන ගිනි ගෙඩිය මොකක්ද? කියලා.. මොකද ඒ වෙලාවේ හදිසියට අපි ණයට ගත්තට, ඒක ගෙවා ගන්න බැරි වෙනවා කියලා අපි දන්නවා... ඉතින් මොනවා කරන්නද? අර බුදු හාමුදුරුවෝ කියලා තියෙනවා නේ තණ්හාව අත් අරින්න කියලා... ඒක විතරයි හිතන්න තියෙන්නේ...”

“දන්නවද උන්නැහේ... පහුගිය දවසක ඔය කොම්පැනියෙන් පිටුවක් දිගට දැන්වීමක් දාලා තිබුණා. ඒ ගොල්ලන්ගේ සියලුම ශාඛාවල රන් භාණ්ඩ වෙන්දේසි කරනවා කියලා. ඊට කලින් මාසයේ මං දැක්කා ඔය ආණ්ඩුවේ බැංකුවලත් ඔය විදිහට රන් භාණ්ඩ වෙන්දේසි කරන්න දැන්වීම් දාලා තිබුණා. මේ විදිහට බලාපුවාම මේ කොම්පැනි ඔක්කොම ආදායම් උපයන එක ක්‍රමයක් තමයි මේක. ඉතින් අන්තිමේ පත්තරේටම දානවා මේ වර්ෂයේ අපේ ආදායම මිලියන බිලියන මෙච්චරයි කියලා...” කියා ටොම්සන් මහත්තයා කීවේය.

“මහත්තයා කියන දේ ඇත්ත.. දැන් ඔය දුප්පත් එහෙම නැත්නම් අඩු ආදායම් ලබන අය නඟා හිටුවන්න කොච්චර නම් ක්‍රම දාලා තියෙනවා කියලා ඔය පත්තරවල තියෙන්නේ... අරෙහෙන් සමෘද්ධි දෙනවා... අරෙහෙන් ව්‍යාපාර ණය දෙනවා... අරෙහෙන් කාන්තාවෝ සංවිධානය කරනවා... කියලා ඔය ප්‍රවෘත්ති පත්තරවල පළ වෙන්නේ... ඒකේ ඇත්ත අපි දැන ගන්න ඕනෑ මේ විදිහට අවුරුද්ද ඇතුළත ලංකාවේ සියලුම මූල්‍ය ආයතන උගස් ගත්ත රත්තරන් බඩු කොච්චරක් වෙන්දේසි කළාද? ඒවායින් ඒ අයට ලැබුණු ආදායම කීයද? කියලා..” කියා සිකියුරිටි මහත්තයා කීවේය.

“ඒක නම් ඇත්ත... මේක මෙච්චර කාලයක් කිසිම මාධ්‍යයක් ප්‍රවෘත්තියක් හැටියට පළ කරලා නැති කාරණයක්... ඔන්න අපේ තොරතුරු කන්තෝරුවටම වැඩක් ආවා... මං හෙටම මහ බැංකුවෙන් අහලා යවනවා... ගිය අවුරුදු පහේ මේ විදිහට රන් බඩු වෙන්දේසිවලදි වෙන්දේසි කරපු රත්තරන් භාණ්ඩ කොපමණක්ද? ඒවායේ ණය වටිනාකම කීයද? පොලී වටිනාකම කීයද? වෙන්දේසි වටිනාකම කීයද? ණය කරුවාට ආපසු ගෙවූ මුදලේ වටිනාකම කීයද? කියලා...” කියා ටොම්සන් මහත්තයා කීවේය.

“ඇත්ත තමයි... ටොම්සන් මහත්තයා... මාධ්‍යවලින් ඔය බහු බූත රැස්වීම්, සාකච්ඡා, වාද විවාද, ගැන වැඩක් නැති වාර්තා ඉදිරිපත් කරන වෙලාවේ මෙන්න දෙනවා නම් නියම ප්‍රවෘත්ති... නැද්ද මං අහන්නේ..?” කියා උන්නැහේ කීවේ ආපහු හැරී එන ගමන්ය.


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
8 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.

Or log in with...