තැන් තැන්වල කෑගැ­හුවා ඇති දැන්

කමල් පෙරේරා

“හැමදාම මේකෙ ගහගන්නවා. බැණ ගන්නවා. කුණුහරුප කියා ගන්නවා. අද පාර්ලිමේන්තුවේ උත්තරිතරභාවය එහෙන්පිටින්ම නැතිවෙලා. ඇයි මෙහෙම අය තෝරලා පාර්ලිමේන්තු යවන්නේ. අපිට මොකද වුණේ ? ලංකාවේ පක්ෂ හැටක් ලියාපදිංචියි. තවත් සීයක් විතර ලියාපදිංචි වීමට සූදානම්. ලංකාව ලෝකයට විහිළු සපයන රටක්. මේ පුංචි රටේ පක්ෂ මෙච්චර ලියාපදිංචි කරන්න ඉල්ලනවා කියන්නෙ මොන විහිළුවක්ද ?’’

මේ වචන ටික පිටවෙන්නේ වෙන කාගෙන්වත් නෙමේ. මහාචාර්ය බෙල්ලන්විල විමලරතන හිමියන්ගේ මුවින්. උන්වහන්සේ මේ අදහස් පළ කළේ මාර්තු 13 වැනිදා කොළඹ නිදහස් චතුරශ්‍රයේ පැවති ‘සුපිරි දේශපාලනයක් සඳහා පුරවැසි මෙහෙයුම’ වැඩ පිළිවෙළේ මංගල රැස්වීම අමතමින්.

ඊළඟට අපි සවන් දෙමු අද පාර්ලිමේන්තුව ඇද වැටී තිබෙන පිළිකුල්සහගත තත්ත්වය පිළිබඳව පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරයෙක්ම කියන කතාවකට. ඔහු කෝප් කමිටුවේ සභාපති සුනිල් හඳුන්නෙත්ති. හඳුන්නෙත්ති මන්ත්‍රීවරයා මේ අදහස් ටික පළ කරලා තිබුණේ පහුගිය 13 වැනිදා මාතර පැවති රැස්වීමකදියි.

‘‘රටේ පාර්ලිමේන්තුව කියන්නෙ මේ රටේ ප්‍රතිපත්ති සම්පාදනය කරන තැන. දැන් මේ රටේ වැඩියෙන්ම රණ්ඩුවෙන, ගහමරාගන්න, තමන්ගෙ බල කෑදරකමට පක්ෂවල තියෙන අර්බුද එළියට දාන තැන බවට පත්වෙලා තියෙන්නෙ පාර්ලිමේන්තුව. පහුගිය සතියෙ පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතව තිබුණේ ජනතාවට බලපාන සයිටම් ප්‍රශ්නය, නියඟය, බඩු මිල, බැඳුම්කර ප්‍රශ්නය වගේ වැදගත් ප්‍රශ්න සාකච්ඡා කරන්න. හැබැයි සිද්ධ වුණේ මොකක්ද ? එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අභ්‍යන්තර ප්‍රශ්නයක් ඇදගෙන පාර්ලිමේන්තුවේ කාලය නාස්ති කිරීම. දවසකට සාමාන්‍යයෙන් පාර්ලිමේන්තුවේ වියදම මහජනතාවගෙන් රැස් කරන බදු මුදලෙන් ලක්ෂ හතළිස් හයක් විතර වෙනවා. ඒ අනුව බැලුවහම පහුගිය දවස් හතරෙදි මහජන මුදල් රුපියල් එක්කෝටි අසූහතර ලක්ෂයක් වියදම් කරලා ජනතාවට ලැබුණු ප්‍රතිඵලය මොකක්ද? අද පක්ෂ අතර බලූ පොරය විසින් ජනතා අපේක්ෂා බිඳවට්ටලා. අද පාර්ලිමේන්තුව විහිළුවක් බවට පත්වෙලා.’’

මේ විදිහට බලාගෙන යනකොට පැහැදිලිවම පෙනෙන දෙයක් තමා අද රටේ හැම ජන කොටසකින්ම වගේම වත්මන් පාර්ලිමේන්තුවේ ඇති වී තිබෙන දැවැන්ත පරිහානියට එරෙහිව වගේම සමස්තයක් වශයෙන් රටේ සිදුවෙමින් පවතින වැරැදි වැඩවලට එරෙහිවත් හඬක් නැ‍ඟෙමින් තිබෙන බව. ඒත් ගැටලුව තමා මෙහෙම විරෝධය පාන කණ්ඩායම් අතර කිසිම සම්බන්ධීකරණයක් නැතිකම.

දැන් අපි බලමු බෙල්ලන්විල නායක හාමුදුරුවන්ගෙ ප්‍රමුඛත්වයෙන් සුපිරිසිදු දේශපාලනයක් සඳහා පුරවැසි මෙහෙයුම පවත්වපු විරෝධිතා රැස්වීම. මේ සංවිධානය වගේම පාර්ලිමේන්තු සදාචාරය බිඳවැටීම, අපරාධ දූෂණ හා වංචා රැල්ල වැනි ජාතික වශයෙන් වැදගත් ප්‍රශ්න මුල් කරගෙන විරෝධතා ව්‍යාපාර මෙහෙයවන සංවිධාන රාශියක් ලංකාවේ තිබෙන බව අපි දන්නවා. උදාහරණයක් හැටියට දක්වතොත් මාදුළුවාවේ සෝභිත හිමියන් විසින් ආරම්භ කොට අද මහාචාර්ය සරත් විජේසූරියගේ ප්‍රධානත්වයෙන් ක්‍රියාත්මක වන සාධාරණ සමාජයක් සඳහා වූ ව්‍යාපාරය, ඒ වගේම ගාමිණී වියන්ගොඩලා නියෝජනය කරන පුරවැසි බලය සංවිධානය.

මෑතක සිට රාවයේ හිටපු ප්‍රධාන කතුවර වික්ටර් අයිවන්ගේ මෙහෙයවිමෙන් ගොඩනැ‍ඟෙමින් පවතින පුනරුදය ව්‍යාපාරය. මේ සියලු සංවිධානවලට අමතරව රටේ ප්‍රබල වෘත්තීය සමිති රැසක්ම ඉහත කී අරමුණ වටා පෙළ ගැසෙමින් සිටින බවත් අපි දන්නවා.

රටේ පුරවැසියන් හැටියට අපට තියෙන ප්‍රශ්නය තමා වෙන් වෙන් වශයෙන් තැන් තැන්වල පවත්වන හුදෙකලා විරෝධතා ව්‍යාපාර වෙනුවට මේ සියලු සංවිධානවලට එක වේදිකාවකට එක් වී ප්‍රබල ජාතික මට්ටමේ විරෝධයක් පළ කරන්න බැරි මන්ද කියන කාරණය. මේ යෝජනාව මතු වන විටම ලැබෙන පිළිතුර තමා මේ හැම සංවිධානයකටම වගේ තමන්ටම අදාළ වුණු න්‍යාය පත්තරයක් තිබෙන නිසා පොදු ව්‍යාපාරයකට එක් වීම අසීරු බව. එහෙමත් නැත්නම් අරයා එන්ජී ඕ කාරයාය, මෙයා අහවල් පක්ෂය වෙනුවෙන් කඩේ යන හාදයෙක්ය ආදි චෝදනා එල්ල කරමින් එක් එක් පුද්ගලයන්ට විවිධ හංවඩු ගැසිම. ක්‍රියාමාර්ග තුළ පුදගලයන්ගේ පැටිකිරිය හෙළි කරමින් එකට වැඩ කිරීමේ සම්ප්‍රදායක් නැති නිසා තමයි ලාහට ගෙම්බන් එකතු කිරීම පහසු වුණත් මෙවැනි සංවිධාන අතර එකමුතුවක් ගොඩනැඟීම අද අසීරු වී තිබෙන්නේ. කටින් කිව්වට ඕවා කවදාවත් කළ නොහැකි වැඩය කියා බෙහෝ දෙනෙක් තර්ක කරන්න පුරුදු වී සිටින්නෙත් මේ නිසාමය කියා මට හිතෙනවා. එහෙම බාධක තිබෙන බව ඇත්ත. මොකද මෙවැනි සංවිධාන බොහෝ විට ගොඩනැ‍ඟෙන්නේ දේශපාලන පක්ෂයකට හෝ කණ්ඩායමකට අනුබද්ධවයි.

එහෙමත් නැතිනම් ආගමික හෝ වෙනත් පදනමක් යටතේයි. සර්ව පාරිශුද්ධ, සර්ව ස්වාධීන මිනිසුන් මිහිපිට නැතුවා වගේම එවන් සංවිධාන සෙවීමත් කළුනික සොයනවා වගේ දුෂ්කර වැඩක්. ඒනිසා රටේ බහුතරයක් ජනතාව කළ යුත්තේ නොඑකඟතා පසෙක තබා එකඟ විය හැකි අවම කරුණු කිහිපය යටතේවත් මේ සංවිධාන ටිකට එක වේදිකාවකට ගොඩවෙන්න කියා හඬක් නැංවීමයි. ඒ හැමෝගෙම මූලික අරමුණ වී තිබෙන්නේ අද අපේ රට පරිහානිය කරා ගමන් කරමින් තිබීම නතර කිරීම නම් පුංචි පුංචි වෙනස්කම් තිබුණත් එම මූලික අරමුණ හමුවේ එක පෙරමුණකට ඇවිත් රටේ අනාගතය වෙනුවෙන් මේ මොහොතේ හෝ මැදිහත් නොවුණොත් ඔවුන්ද ඓතිහාසික මඟහැරීමක් කළ පිරිසක් බවට පත් වෙනවා සිකුරුයි.

ජාතික අවශ්‍යතා හමුවේ විවිධ මත දරන කණ්ඩායම් එක් ධජයක් යටතට ගෙනා ජාතික ව්‍යාපාර හා නායකයන් අපට ඉතිහාසයේ අනන්තවත් හමු වෙනවා. අමෙරිකාවේ මාටිං ලූතර්, ඉන්දියාවේ මහත්මා ගාන්ධි හා මෑත ඉතිහාසයේ දකුණු අප්‍රිකාවෙන් බිහි වූ නෙල්සන් මැන්ඩෙලා වැනි ජනහිතවාදි නායකයන්ගෙන් මෙහිදී අපට ගතහැකි ආදර්ශ බොහොමයි. ඉතිහාසයේ විවිධ වකවානුවල වෙනත් ඓතිහාසික හා භූගෝලීය සන්දර්භ යටතේ සිදු වූ ඒ පරිවර්තන අපට කෙළින්ම ආදේශ කරගන්න බැරි බවත් පිළිගත යුතුයි. අවම වශයෙන් ජාතික වැදගත්කමකින් යුත් ප්‍රශ්න කීපයක් මුල් කරගෙන එවන් ජාතික ව්‍යාපාරයක් ගොඩනැඟීමට විභවයක් සහිත පුද්ගලයන් අපේ ජාතික ආගමික හා සමාජ ව්‍යාපාර තුළින් සොයාගැනීම අසීරු නැහැ කියලයි මට නම් සිතෙන්නේ. අවශ්‍ය වන්නේ කවුරුන් හෝ ඊට මුලපිරීමයි. ජනවාරි 8 සිදු වූ වෙනසේ කවර සීමා මායිම් තිබුණත් ජනතාව ඒ කෙරෙහි තැබූ බලාපොරොත්තු බිඳවැටෙමින් තිබුණත් ඒ වෙනස ඇති කිරීමට පෙළගැසුණු බලවේගවල වටිනාකම අහෝසි වන්නේ නැති බව අපි තේරුම්ගත යුතුයි.

පාර්මේන්තුවේ පරණ හැන්සාඩ් පෙරළා බලන විට වැඩියෙන්ම පාර්ලිමේන්තුවේ අරගල කර තිබෙන්නේ සමසමාජය ප්‍රමුඛ වාමාංශික නියෝජිතයන් බව පෙනෙනවා. එදා ඇන්..ඇම්.ලා -කොල්වින්ලා - එස්. ඒ. වික්‍රමසිංහලා මහජනතාවගේ කරපිටින් පාර්ලිමේන්තුවට ඇවිත් පොලිසියේ කරපිටින් සබා ගැබෙන් එළියට ගියේ ජනතාවගේත් රටේත් අනාගතයට බලපාන තීරණාත්මක ප්‍රශ්න වෙනුවෙන් මන්ත්‍රී ධුර පරදුවට තබා කළ අරගලවල ප්‍රතිඵලයක් හැටියට මිස අද සමහරු කරනවා වගේ සජීවී විකාශනවල පෙන්වන පාර්ලිමන්ට් ජෝක්ස් සන්දර්ශනවල රඟපාන්න ගිහින් හෙම නොවන බවත් මේ වෙලාවේ විශේෂයෙන්ම මතක් කරන්න වටිනවා.

දේශපාලන හෝ සමාජ ක්‍රියාකාරකම්වලට නිසි වටිනාකම් දෙනු ලබන්නේ ඉතිහාසය විසිනුයි. යුගයේ වගකීම්වලට උර නොදී පාර්ලිමේන්තුව තුළ වගේම ඉන් පිටතත් ජනතාවගේ ගැලවුම්කාරයන් ලෙස පෙනී සිටින දේශපාලකයන් වගේම සමාජ හා ආගමික නායකයනුත් අද දවසේ කරන කියන සියලු දේ අනාගත පරපුර විසින් කවදා හෝ නිවැරදි ලෙස තක්සේරු කරාවි. 


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.

Or log in with...