අයි­වර් ජෙනිංග්ස් එපා කී පේරා­දෙ­ණි­යට ඇතු­ල­ත්මු­දලි ද එපා වෙයි

තිඹි­රි­යා­ගම බණ්ඩාර

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ නව නේවාසිකාගාරය විවෘත කිරීමට පෙර එහි නාම පුවරුව නාඳුනන පිරිසකගේ ප්‍රහාරයට ලක්ව ඇත. අයිවර් ජෙනිංග්ස් පුවරුවට සිදු වූ හරිය ම ඇතුළත්මුදලි පුවරුවට ද සිදුව තිබේ.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ නිර්මාතෘවරයාගේ නම පවා නොදත් විද්‍යාර්ථීන් පිරිසක් ‘අයිවෝ ඩෙනිස්ගේ නම අපට එපා’ කියමින් විරෝධය පෑ බව අපගේ මතකයෙහි පවතී.

1993 දී සාහසිකයකුගේ වෙඩි පහරින් මියගිය ද ශ්‍රී ලංකා දේශපාලනයේ අමරණිය නමක් හිමි ලලිත් ඇතුලත්මුදලිගේ චරිතය පිළිබඳ නූතන විද්‍යාර්ථීන් නොදැන සිටීම ද අරුමයක් නොවේ. ඇතුලත්මුදලිගේ මරණයෙන්ද වසර කිහිපයකට පසුව උපත ලද්දවුන් විශ්වවිද්‍යාල ජීවිතයට පිවිසෙන සමය යනු විද්‍යාර්ථියකු හට දේශපාලනයේ අයන්නවත් කියවා ගැනීමට අනුබල නොදෙන වකවානුවකි.

එසේ වුවද අයිවර් ජෙනිංග්ස්ගේ නම නෑසුණු සිසුන්ට ඇතුලත්මුදලිගේ නම ඈඳුණු ප්‍රතිලාභයක් මසකට වරක් හිමි වේ. ඒ වනාහි මහපොළ ශිෂ්‍යත්වයයි. එය ආරම්භ කරන ලද්දේ 1977 බලයට පත්වූ එජාප ආණ්ඩුවේ ප්‍රබල ඇමතිවරයකු වූ ලලිත් ඇතුලත් මුදලි විසිනි.

දුප්පත් සිසුන්ට ශිෂ්‍යාධාර ලබාදීම හා මහපොළ ශිෂ්‍යත්වයට පෙර පැවතුණේ බැංකු ණය ක්‍රමයකි. මගේ වැඩිමහල් සොයුරු ධර්මදාස බණ්ඩාර 60 දශකයේ අගභාගයේ විද්‍යෝදය විශ්වවිද්‍යාලයෙහි ඉගෙනුම ලැබූ සමයෙහි මාසිකව රුපියල් හැත්තෑපහක බැංකු ණය මුදලක් ලැබිණ. රජයේ රැකියාවක් ලැබුණ පසුව මාසිකව එම ණය පොලී ද සමඟ අයකර ගැනීම එකල පිළිවෙත විය. එය අහෝසි කර සෑම සිසුවකු හට ම මාසිකව ශිෂ්‍යත්ව දීමනාවක් ලබා දෙන ‘මහපොළ ශිෂ්‍යත්ව අරමුදල ගොඩනැඟීම ඓතිහාසික කටයුත්තකි.

ධනපති ආණ්ඩු ගෙදර යැවීම සඳහා වීදි බසින සිසුන්ට බත් වේලක් කෑමට හැකියාව ලැබුණේ ධනපති දේශපාලන පක්ෂයක ඇමතිවරයකුගේ ‘සමාජවාදී’ වැඩපිළිවෙළක පිහිටෙනි.

උසස් අධ්‍යාපනය ලැබීම සඳහා එංගලන්තයේ ඔක්ස්ෆර්ඩ් සරසවියට ඇතුළත්වීමේදී තමා මුහුණ දුන් අත්දැකීම් ලලිත් ඇතුලත්මුදලි මහතාට බලපා තිබේ.

ඔක්ස්ෆර්ඩ් නීති උපාධිධාරියකු වූ එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක මහතා තරුණ ඇතුලත්මුදලි සිසුවාට නීති උපාධිය හැදෑරීමේ පහසුව පිණිස ශිෂ්‍යත්වයක් ලබා දුන්නේය.

බණ්ඩාරනායක මහතා එක් අවධියක ඔක්ස්ෆර්ඩ් සරසවියෙහි කැපී පෙනෙන ශිෂ්‍යයකු වූ පරිදිම ඇතුළත්මුදලි සිසුවාද පසු කලක එම සරසවියෙහි දීප්තිමත් විද්‍යාර්ථියකු හැටියට කැපී පෙනිණ. නීති විෂය අළලා ඔහු ඉදිරිපත් කළ නිබන්ධ රට රටවල නීති අධ්‍යයන ක්ෂේත්‍රවල අවධානය දිනා ගැනීමට සමත් විය. ලලිත් ඇතුලත්මුදලි කෙටි කලක් කොළඹ නීති පීඨයෙහි කථිකාචාර්යවරයකු හැටියට කටයුතු කළේය. ඉන්පසු ඔහු පූර්ණ කාලීනව දේශපාලනයෙහි නිරත විය.

බණ්ඩාරනායක මහතා තමාට දුන් අතදීම නොවන්නට තම ජීවිත මඟ වෙනස් වන්නට ඉඩ තිබූ බව ඇතුලත්මුදලි මහතාට හැඟිණ. ඒ වරම තවත් පරම්පරාවකට ලබාදීමේ වුවමනාව ඔහුට විය. මහපොළ ශිෂ්‍යත්ව අරමුදල එහි ප්‍රතිඵලයයි.

80 දශකයෙහි මා කොළඹ සරසවියෙහි ශාස්ත්‍ර පීඨ ශිෂ්‍යයකු හැටියට අධ්‍යාපනය ලබන සමයෙහි මහපොළ ශිෂ්‍යත්වයෙහි වටිනාකම තදින්ම මට දැනිණ. එකල අපට තිබුණේ උග්‍ර එජාප විරෝධී දෘෂ්ටියකි. එහෙත් ‘මහපොළ’ ඇඟට දැනෙන වැඩපිළිවෙළකි. එම ශිෂ්‍යත්වය සවියක් කොටගෙන උපාධි ලබා පිට ව ගිය ගණන කෙතරම්ද? එසේ හෙයින් ඔහුගේ නමින් නේවාසිකාගාරයක් නම් කිරීමේ වරදක් නොපෙනේ. හරි නම් ඊට වඩා ගෞරවයක් හිමි විය යුතුය.

ලලිත් ඇතුලත්මුදලි නම ඇතුළත් පුවරුව කඩා බිඳ දමා ඇත යන ආරංචියෙන් මසිත ඇතිවූයේ සංවේගයකි. 1993 දී ඔහු ප්‍රසිද්ධ මහජන වේදිකාවක වෙඩි කා මියගියේ ආඥාදායකත්වයට එරෙහිව ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් හඬ නැඟීම හේතුවෙනි. ඝාතකයන්ට දඬුවම් ලබාදීමක් ද සිදු නොවීය. ජවිපෙ සන්නද්ධ අංශ පාර්ලිමේන්තුවට බෝම්බ හෙළූ දින ලලිත් ඇතුළත්මුදලි මාරාන්තික තුවාල ලැබීය. ඔහුගේ පණ බේරුණේ නූලෙනි.

ජවිපෙ මියගිය නායකයකු වන ශාන්ත බණ්ඩාරගේ නම රාජගිරිය ආයුර්වේද වෛද්‍ය විද්‍යාලයේ නේවාසිකාගාරයට යොදා තිබේ. මේ වනතුරු ඊට කිසිවකු විරුද්ධ වී නොමැත.

විශ්වවිද්‍යාල සිසුන්ගේ චින්තනයේ දිළිඳු බව යළි වරක් ප්‍රදර්ශනය කැරිණ. ධනපති ක්‍රමයට එරෙහිව සමාජවාදී ක්‍රමයක් ගොඩනැඟීම සඳහා කෑ මොර දෙන සිසුන් අතින් මෙවැනි අපරාද සිදුවීම ඉතිහාසයේ සරදමකි.


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
8 + 11 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.

Or log in with...