කෙළි සෙල්ලම්

ශාන්ති දිසානායක

ගෙමිදුල තහනම් අඩවියක් බැවින් සුසුම්ලන ළමයින් පිළිබඳව හැඟීමක් තැකීමක් අප කිසිවකු තුළ ඇත්ද? මල් වවා දිය ඇලි මවා අලංකාර කළ ගෙමිදුලක ක්‍රිකට් තබා බට්ටො පැනීම වුව කළ නොහැක. විශාල මුදලක් ගෙවා ගෙනා විසිතුරු පත්‍ර සහිත මල් බඳුන් දෑස සේ සුරකින අම්මලා දරුවන් වනාහී පොත පතේ ඇලී ගැලී සිටිය යුතු කෙළි සෙල්ලමට කිසි විටෙකත් නොයා යුතු අරුම පුදුම ජීවීන් විශේෂයක් ලෙස සලකන බවක් දැකිය හැක.

අනෙක් අතට ටියුෂන් වසංගතයට ගොදුරු වූ දරුවන් වෙතින් අලස නිදිබර යාන්ත්‍රික ස්වභාවයක් මිස ජීවයක් දැකිය නොහැක. අධ්‍යාපන ක්‍රමයේ මහා තරගය විසින් නොනවතින දිවිල්ලක නිරත දරුවෝ අනාගතයේ බෝ නොවන රෝගාබාධවලට ගොදුරුවන බව අමුතුවෙන් කිව යුතු නැත.

‘අම්මෙ අම්මෙ .... නැන්දලාගේ මිදුලෙ ක්‍රිකට් ගහන්ඩ ගිහිල්ලා මල්පැළ පොඩි වෙලා කියලා නැන්දා බණිනවා හෝ ගාලා.’

නිවුන්නු මා වෙත දිව එන්නේ මහා අකරතැබ්බයකට මුහුණ පෑ කලෙක මෙනි.

‘නැන්දා හුඟාක් මහන්සි වෙලානෙ ළමයිනේ ඔය මල් හදලා මිදුල ලස්සනට තියාගෙන ඉන්නේ. හැමදාම වතුර දානවා. ඉතිං ඕගොල්ලො ඒ මිදුලෙ දඟලලා මල්පැළ පොඩි කරලා විනාශ කරලා දාන එක වැරදියිනෙ...’

කිසි කලෙකත් කෙළි සෙල්ලමට තහංචි නොපමුණුවන අම්මාගේ ඒ ප්‍රතිචාරයෙන් අන්දමන්ද වූ පොඩිත්තෝ උනුනුන් මුහුණ බැලූහ.

‘ඉතිං අම්මා ... අපේ මිදුලෙ සෙල්ලං කරන්ඩම බෑනේ.... ගස් වැඩියි නෙ .... කවදාවත් හයේ පාරක් ගහන්න බෑ.... අඹ ගහේ කොස් ගහේ පොල් ගහේ බෝලෙ වදිනවානේ....’

ගමට ක්‍රීඩා පිටියක් නොමැති වීම කොපමණ අඩුපාඩුවක්දැයි මට සිතිණ. හතරමං හන්දියකට පෙනෙන මානයක පැතිර ඇත්තාවූ මහඉලුප්පල්ලම ගොවිපොළෙන් ක්‍රීඩා පිටියක් සඳහා අක්කර කීපයක් ලබා ගැන්ම සඳහා පාලිත අයියලා කුමාරි නැන්දලා කොපමණ වෙහෙසුණේදැයි සිහිපත් කළ මම සුසුමක් හෙළුවෙමි. ඒ වෑයම ව්‍යර්ථ විය. වසර ගණනාවකට පසු මගේ ඉලන්දාරි දරුවෝද ක්‍රීඩා කිරීම සඳහා ඒ විශාල ගොවි‍පළෙන් කුඩා ඉඩක් ලබාගත නොහැක්කේ මන්දැයි ප්‍රශ්න කරති. ජාත්‍යන්තර ක්‍රීඩාපිටි තනන්නට අතිවිශාල මුදලක් වැය කරන්නට නිර්ලෝභීව ඉදිරිපත් වන රජය ගමක් පාසා ක්‍රීඩා පිටියක් ළමා උද්‍යානයක් හා රඟහලක් ඇති කරන්නේ නම් රටේ අපරාධ රැල්ල අඩුවීමට සහ තරුණ මහලු බේදයක් නොමැති අසහනයට පිළියමක් නොවන්නේද? අප වෙළාගත් සමස්ත අර්බුදයට මෙවන් පැලැස්තර නියමාකාර පිළිතුරක් නොවන බව සැබෑය. එහෙත් ක්‍රමයේ වෙනසක් සිදුවන තුරු ළමා තරුණ හා මහලු ජනතාව ඉමක් කොණක් දැකිය නොහැකි අගාධයක සිරගතව සිටිය යුතුද? ක්‍රීඩාව හා කලාව මනුෂ්‍ය ජීවිතයේ අනේක දුක්ඛ දෝමනස්සයන්ට මෙන්ම පීඩාවට, ආතතියට විසඳුමක් බව නොදන්නේ කවුරුන්ද?

‘අම්මේ ... අපිට සෙල්ලම් කරන්ඩ තැනක් නැති හින්දා අපි චුට්ටෙ මාමාගේ වත්තේ කෑල්ලක් සුද්ද කරනවා...’

මද්දු දැනුම් දුන් කල මම බියපත් වීමි.

එහෙම අනුන්ගේ ඉඩම් අපිට සුද්ධ බුද්ද කරන්ඩ බෑ මද්දු.. අවසර ගන්න ඕන.

‘චුට්ටෙ මාමා මැරිලානේ... ඉතිං ඒ හිංදා අපි චුට්ටෙ මාමාගේ පුතාගෙන් ඇහුවා. පොල්ගස්වලට හානියක් නොකර ඕන දෙයක් කරගන්ඩ කීවා.’

පොඩි පුතා ජයග්‍රාහී ස්වරයෙන් කීවද මම අසහනයෙන් පසුවීමි.

‘අයියෝ අම්මා ඔයා බයවෙන්ඩ එපා.’

මද්දු මා අස්වසන්නට වෑයම් කළේය.

‘ඕගොල්ලො සේරම කුදලාගෙන යයිද දන්නේ නෑ පොලීසියෙන් ඇවිල්ලා’

උදලු හා කැති ඔසවාගෙන දිව යන කොල්ලන් දුටු මම අනතුරු ඇඟවීමි. හැම හැන්දෑවකම දුහුවිල්ලෙන් නැහැවී ගෙදර එන කොල්ලෝ වහා ළිඳ ළඟට දිවගොස් දිය නාති.

‘අත් කකුල් රිදෙනවා ඉවසන්ඩ බෑ අම්මා.’ ඉස් ඉස්සෙල්ලාම කෙඳිරි ගාන්නේ මද්දුය.

‘මුළු ඇඟම රිදෙනවා අම්මේ’

පොඩි පුතාද නහයෙන් හඬයි. මී තෙල් රත්කර එකිනෙකාගේ දෙපාවල ගල්වා පිරිමදින මම කම්කරුවා හා ශ්‍රමය පිළිබඳව ‍බොහෝ දෑ කියමි.

‘වැඩ කරන මිනිස්සු මොනතරම් දුක් විඳිනවාද කියල තේරෙනවද දැං? කසළ ශෝධකයකුට වුණත් අපි ගරු කරන්ඩ ඕන. දොස්තර කෙනෙක් ඉංජිනේරුවෙක් වගේම පාර අතුගාන කම්කරුවත් හුඟක් වටිනවා කියන එක අපි තේරුම් ගන්ඩ ඕන.’

වාද නොකරන කොල්ලෝ හිස් සලති.

වෙහෙස මහන්සියේ ප්‍රතිඵල ඉක්මනින් ලැබිණ. වැඩි දවසක් ගතවන්නට පෙර අලංකාර වොලිබෝල් පිටියක් නිර්මාණය කරගන්නට මගේ දරුවෝද මිතුරෝද සමත් වූහ. ඔවුන්ගේ සතුටු සිනා දුටු මට දැනුණේද අපමණ සතුටකි. 


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.

Or log in with...