කප්පම් සහ පෝස්ටර් | දිනමිණ

කප්පම් සහ පෝස්ටර්

බණ්ඩි රාල

සුගිය සතිය උණුසුම් වුණේ සෝමාලි කොල්ලකරුවන් නිසයි. නැව් කොල්ල කන කොල්ලකරුවන් විසින් තවත් එක ඉන්ධන නැවක් කොල්ල කා තිබුණා. ඒ නැවේ කප්පිත්තා ඇතුළු අට දෙනා ශ්‍රී ලාංකිකයින් නිසා ඒක අපට විශේෂ වුණා. ඊට පස්සේ ඉතිං උදාවුණේ නරක කාලයක්. නැවේ හිටපු ලාංකිකයින් මුලින්ම කතා කළේ තමන්ටයි කියන්න නාලිකා කිහිපයත් තරග වැදුණා. එක එක හඬ පට ඒවායේ එක එක විදිහට ප්‍රචාරය වුණා. ඊට පස්සේ මැති ඇමැත්තොයි, එක එක ඇත්තොයි හැමෝම තම තමන්ගේ මැදිහත්වීම් සම්බන්ධයෙන් මාධ්‍ය මගින් පුළුල් ප්‍රචාරයක් දුන්නා. මේ කාරණය කොතරම් වැදගත් වුණාද කියන්නේනම් අපේ ගමේ පෙට්ටි කඩේට එකතු වෙන ගමේ වළ බහින සෙට් එකත් අන් හැමෝම වගේ උනන්දු වුණා.

“මේ වගේ ප්‍රශ්නෙකදි ඉතිං උත්තර දෙන්න හිටියෙ එක්කෙනයි. දැන් ඉතිං එතුමා නෑනේ” මාටියා දුක හිතෙන කතාවක් කීවා.

“ඇයි යකෝ එතුමගෙ ඇවන්ට්ගාඩ් උන්නැහේ කියලා තිබ්බෙ. ඕනනම් මැදිහත් වෙලා වැඩේ ගොඩදාන්න පුළුවන් කියලා” ජෙමා මතක් කළා.

“ඒ කීවේ?”

“ඕනනම් කප්පම් ගාස්තු අඩුකරලා කට්ටිය බේරලා දෙන්න පුළුවන් කියලා.” ජෙමා කීවා.

“ඉතිං යකෝ එහෙම සුහද සාකච්ඡාවක් කරන්න සෙට් එක අඳුරන්න එපායැ. ඒ කියන්නෙ එතුමත් එක්ක කොල්ලකරුවො වැඩේ හවුලේ කරා කියන එකද මන්දා?”

සිමා යසට කරගෙන ආව කතාවට බාල්දියක් දැම්මා. ඒකත් එක්ක කට්ටිය එක එක විදිහට පැටලිලා යද්දී ඔන්න පුතණ්ඩියා, ට්‍රේල් බයික් එකේ නැඟලා පාප්ප බාල්දියක් උස්සගෙන පෙට්ටි කඩේ ළඟට ආවා. බයික් එක පැදගෙන ආවේ සිරිල් රාලහාමිගේ ලොකු එකා. පිටිපස්සෙ සීට් එකේ තිබිච්ච පෝස්ටර් තොගයකුත් උන් බෑවා. එක පෝස්ටරයක් පෙට්ටි කඩේ ඉස්සරහ තාප්පයේ ඇළවුණා. “සයිටම් අහෝසි කරනු-නිදහස් අධ්‍යාපනය සුරකිනු!“ ඒකෙ තිබුණා.

“අපොයි අපි හිතුවෙ මේ සෝමාලියා කොල්ලකාරයෝ හින්දා සයිටම් ප්‍රශ්නෙ විසඳිලා කියලා” පෙට්ටි සුදා කියනවා.

“ඔව් ඉතිං අපේ උන්ට විටෙන් විටේ එල්ලෙන්න මොකක් හරි ලණුවක් හම්බවෙනවනෙ. එතකොට ඉතිං තියෙන ප්‍රශ්න ඔක්කොම අමතක වෙනවා.” පොඩි එකා කීවා.

“දැන් ඉතිං උඹලා හිතන් ඉන්නේ උඹලා කාලා තියෙන්නෙ ලණුවක් නෙවෙයි කියලද? ඕක සෑහෙන්න දරුණු කඹයක්“ මටත් කියලා කට වහගෙන ඉන්න පුළුවන්ද? ඔන්න ඔහේම මං එහෙම කියලා දැම්මා. අප්පොච්චිගෙයි, පුතණ්ඩියාගෙයි දැවැන්ත වාදයක් ඇවිළෙයි කියලා ජෙමයි, මාටියයි දෙන්නත් බිබී හිටපු කහට කෝප්පය වීසි කරලා හකුරු කෑල්ල හපන ගමන් අපි දෙන්නා දිහා මාරුවෙන් මාරුවට බැලුවා. ඒත් එක්කම පොඩි එකා මොකුත්ම නොකියා ආයෙම පෝස්ටර් මිටියයි, පාප්ප බාල්දියයි අරන් බයික් එකේ නැඟලා තවත් තාප්පයක් හොයාගෙන යන්න ගියා.

“ඇත්ත ලොකු උන්නැහේ අපට වගේ නෙවෙයි මෙ දරුවන්ට කීව දෙයක් හැරිලා ආයෙම අහල බලන්නවත් වෙලාවක් නෑ“ ගුරුං උන්නැහේ කීවා. ඒ වෙලාවෙ පෙට්ටි කඩේ රේඩියෝවෙන් ප්‍රවෘත්ති ප්‍රචාරය වෙන්න ගත්තා. සෝමාලියානු කොල්ලකාරයින් විසින් හිර කරගෙන හිටපු ශ්‍රී ලාංකිකයින් ටික කිසිදු මුදල් ගෙවීමකින් තොරව මුදාහැර ඇති බව එයින් කියවුණා.

“අප්පොයි. හරිම සවුත්තු වැඩේ වුණේ“ සිමා ඔළුවෙ අත ගහගත්තා.

“ඒ මොකද?” ජෙමා ඇහුවා.

“නෑ ඉතිං අර පස්සෙ දොරෙන් දුවලා ගියපු සෙට් එකටයි, රටේ ලෝකෙ ප්‍රශ්න විකුණගෙන කෑව අර නැව් ලොක්කයි මේ ප්‍රශ්නෙන් ගොඩ එන්න දැඟලුවා. දැන් ඉතිං ඒ වැඩෙත් හබක් වුණා කියහංකො.“ සිමා කීවා. ඒ කතාවත් එක්ක පෙට්ටි කඩේ ළඟ බොහෝ කතා නැවතුණා.

“එතකොට කොල්ලන්ගෙ සයිටම් ප්‍රශ්නෙ?” මාටියා අහනවා.

“ආයෙ ටික දවසකින් පාරවල් වැහෙන පාගමනක් ගිහින් කඳුළු ගෑස් ප්‍රහාර එල්ලවුණාම ආයෙම තියෙයි.” සිමා උත්තර දුන්නා.

“එහෙත් හරි ප්‍රශ්න-මෙහෙත් හරි ප්‍රශ්න” මට පරණ නාට්‍යයක වාක්‍ය ඛණ්ඩයක් මතක් වුණා.

“කෝ ඔහේ තාමත් මෙතනනේ. මං අර බෝධි පූජාවට යන්න කල් ඇතුව උයලා සම්බෝලයක්වත් හදලා යන්න හිතුවා. පොල් ගෙඩිය ගෙනියන්න ආව මිනිහ තාමත් කඩේ ළඟ කයිවාරුව” මායියා මට දෙහිකපමින් එතෙන්ට ආවා.

“ගෙදරත් හරි ප්‍රශ්න” මං පොල් ගෙඩියකුත් අරන් මායියත් එක්ක ගෙදර යන්න පිටත් වුණා. 


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...