අඩි­පාරේ මත­කය | දිනමිණ

අඩි­පාරේ මත­කය

 මහානාම දුනුමාල

‘...අඩිපාර...’ සැබවින් ම සිහිනෙන් ගෑ සුවඳක් සේ මතකයට නඟා ගත හැකි සුන්දර අත්දැකීමකි. අවුරුදු හතළිස් ගණනක් පමණ වැඩි ඈතක නොවන අතීතයට පියමං කරන විට අපට මේ අත්දැකීම සිහිපත් කර ගත හැක. එදවස ගම්බද පෙදෙස්වල වූ කුඩා නගර හා නියම්ගම් යා කරමින් තාර පාරවල් තැනී තිබිණි. ඒ මාර්ග ඔස්සේ ගමන් කරන බස්රථ ද තිබිණි. මේ මාර්ග ජාලයෙන් පිටස්තර ඇතැම් ගම්වලට කුඩා තාර පාරවල් හා ගුරු පාරවල් තනා තිබුණ ද, ප්‍රවාහන පහසුකම් නොතිබිණි. එවන් ගම්වලට මෙන් ම අඩු තරමින් ගුරු පාරක් හෝ නොතිබුණු ගම්වලට යන එන අය වඩා කිට්ටු යයි සැලකුණු අඩි පාරවල් ඔස්සේ පයින් ගමන් කරන්නට පුරුදු වී සිටියහ.

එදවස ගම්බද ජීවත් වූ කුඩා වුන් වූ අපට අපේ කිට්ටුවන්ත නෑ ගෙවල් බොහොමයකට මෙන් ම අසල්වැසි ගම්වලට ද ගමන් කරන්නට සිදු ව තිබුණේ අඩි පාරවල් ඔස්සේ ය. අපි අපේ තාත්තාගේ මහගෙදර පිහිටා තිබුණු පුහුල්වලට මෙන් ම අම්මාගේ මහගෙදර පිහිටා තිබුණු වල්ගම්පොතට ද, කිට්ටුවන්ත නෑදෑයන් වාසය කළ වැල්හැල්ලට හා රත්තාගලට ද අඩි පාරවල් දිගේ පා ගමනින් ගියෙමු. දුෂ්කර හා වෙහෙසකර වුව ද මේ පාද චාරිකා අද දවසේ සිට අතීතයට එබෙමින් සිහිපත් කරන විට මන්දස්මිතයකින් මුව සරසා ගත හැක.

පුහුල්වල අපේ ගමේ ම කොටසකි. වැඩි ඈතක් නැත. මහ කන්දක් නැඟ, කුඩා පල්ලමක් බැස, අඩි පාර හා නියර මත යන අඩි පාර ඔස්සේ ගමන් කළ විට මහගෙදරට ගමන් කළ හැක. එහෙත් නිතර නොයන බැවින් ගමන අපට මඳක් වෙහෙසකර ය. වල්ගම්පත ගමන ඊට වඩා දුර ගමනකි. කෙටි මං ඔස්සේ ගිය ද ගුරු පාරකින් ටික දුරක් ගොස් ‘ගෝන ගල’ නමින් නම් ලද යෝධ ගල් පර්වතයක් අසලින් දකුණට හැරී ගමන් කළ යුතු ය.

පයින් යන විට දිගු ව විහිදෙන විසල් ගල් තලාවක් හමුවෙයි. ගල් තලාව මතින් මිනිසුන් ඇවිද යන මඟ කාලාන්තරයක් තිස්සේ මිනිස් පා ගැටීමෙන් ගල මත ගුරු පැහැ අඩි පාරක් බවට හැරී තිබෙයි. ගල් තලාව මත ගමන් කරන විට ගුරු පැහැ පා සලකුණු ඔස්සේ ම ගමන් කරන්නැයි කුඩා අපට අවවාද ලැබේ. ඉන් බැහැරව ගල් තලාව මත ඔහේ ඇවිදින්නට ගියොත් දිය සෙවෙල් හේතුවෙන් ලිස්සා වැටෙන්නට ඉඩ තිබේ.

ගල් පර්වත, ගල් තලා ආදි ස්වභාව ධර්මයේ සුන්දර නිර්මාණ මගේ ළමා හදවත පුබුදු කළේ ය. ගල්තලා මත පතොක් ආදී ඊට ආවේණික ශාක වැවෙන්නේ ද එක් රටාවකට ය. ‘ගල් අන්නාසි’ ද මිනිස් මැදිහත්වීමකින් තොරව ගල්තලා මත සරුවට වැවෙයි.

“ කන්න එපා කට හම යයි.” අම්මා කෑගෑව ද ගල් අන්නාසි රසවත් පලතුරකි.

අම්මාගේ මහගෙදර ආසන්නයේ ම ඉඩමේ පසෙකින් පහළින් වූ දොළ පාර දක්වා බෑවුම් වන ගල් තලාවකි. එහිද ගල් අන්නාසි බහුලව වැවී තිබිණි. ගල මත සිටින විට වටේ වැවුණු ගස්වැල් වලින් හැංගුණු දොළ පාර දැකිය හැක. කොරවක්කෝ ‘කප්පරකට පුවාක්...’ කියමින් නැතිවුණු පුවක් කප්පර අරභයා තම සොව පළ කරති. මේ දොළ පාර ආශ්‍රිතව කුරුලු කුලේ ඇත්තෝ බොහෝ ය. උන්ගේ කූජනයන් සත්සර සේ ම මියුරු ය. කොබෙයියකුගේ නද ඉඳහිට ඇසිය හැක.

“ මී පුප් ලදිම් දරු නොලදිම්

රන් කැටි පුතා කෝ...”

ඒ අපූරු කතාව මා ඇසුවේ කුඩා කලදී ම ය. කොබෙයි මව මී පුප් හෙවත් මී මල් නෙලා ගල්තලාව මතට දැමුවා ය. ගල මතට වැටෙන අව්වෙන් මී මල් වියළී ගොස් නැති වූ ආකාරයක් පෙනෙන්නට වෙයි. කොබෙයි මව සිතන්නී සිය දරුවන් මී මල් සොරාගත් බව ය. ඇය කේන්තියෙන් දරුවන්ට කොටයි. මවගේ ප්‍රහාරයෙන් දරුවෝ මියයති. මේ අපරාධය දකින දෙවියෝ වැසි වසින්නට සලස්වති. වැස්සට වියළුණු මී මල් හෙවත් මී පුප් පෙඟී පුබුදු වී යළි පෙර සේ පෙනෙන්නට පටන් ගනී. මී පුප් ලැබුණ ද දරුවන් ඇයට අහිමි ය. කොබෙයි මව සිය කෝපය හේතුවෙන් මිය ගිය දරුවන් අරභයා අදත් වැලපෙන්නී ලු.

අප ගමන් කරන අඩි පාරවල දෙපස වැසී ඇත්තේ විවිධ පඳුරුවලිනි. වැල්වලිනි. හිඟුරු, නාපිරිත්ත, බෝවිටියා, බලු නගුට වැනි පඳුරු හා වැල් ගහණ ය. ඉඳහිට තැන් තැන්වල ඉද්ද පඳුරු සැදී සුදු මල් පුරෝගෙන කැලෑ රොද සුදු පැහැ ගන්වයි. පාරට එපිටින් බැඳි දෙල්, කහට, කැකුණ, බදුල්ල, ඔල, ඇටඹ ආදී වනරුක් ය. දිය කඳුරු ආශ්‍රිතව පන් වැවී තිබෙයි. වැටකෙයියා සරුවට වැවී අරළු දිය කඳුරට වැටෙයි.

ඒ සෙවණ කුඩා කුරුල්ලන්ට මෙන් ම පුංචි මත්ස්‍යයන්ට ද වාසස්ථාන වෙයි. වෙල් යාය අද්දර ඇති කුඩා ළිං වතුර උතුරමින් මග යන වුන්ට නාන්නට ආරාධනා කරයි. ඒවා විවිධ හැඩයේ විවිධ පැහැයේ මත්ස්‍ය ප්‍රජාවෙන් ද සජ්ජිත ය. මිනිසුන් ගමන් කරන අඩිපාර ඇති නියර පුළුල් ය. එහි වැවෙන තෘණ මිනිස් පා පහසින් ද මී ගව උලා කෑමෙන් ද ගමනට උචිත ලෙස සකස් වී තිබිණි. එහෙත් අද එසේ නොවේ. නියර මතින් යනෙන අය අඩු ය. උලා කන්නට මි ගව ප්‍රජාවක් ද නැති තරම් ය. අද වල් වැවුණු නියර ගමනට උචිත නැති තරම් ය.

ඇතැම් අඩි පාරවල ගමන් කරන්නෝ තාර පාරේ කඩ පොඩ්ඩකින් බාර් සබන් පෙත්තක් මිලට ගෙන කකුලේ අතුල්ලාගෙන යති. නැතහොත් මනින්නන් යයි නම් ලද කූඩැල්ලන්ගේ ප්‍රහාරයට ගොදුරු වන්නට සිදුවේ.

කාලය ගෙවී ගොසිනි. සියල්ල සපුරා වෙනස් ය. අද අඩි පාරවල් නැත. තිබුණ ද මිනිස් ගමනක් නැති හෙයින් මැකී ගොස් ය. බොහෝ අඩි පාරවල් ගුරු පාරවල් වී කොන්ක්‍රීට් පාරවල් ව තිබේ. ඉතින් අඩි පාර වනාහි සුන්දර මතකයක් පමණි. 

නව අදහස දක්වන්න