රෑ ඉර­පානේ දී බන්දුල ගේ විස්මිත ගේය පද ලාව­ණ්‍යය

බුද්ධ­දාස ගල­ප්පත්ති

රෑ හඳපානකදී, සිතකට නැ‍ඟෙන හැඟුම්, එක් එක් පුද්ගල සිතුම් පැතුම් සමඟ වෙනස් වුවත්, හඳපානකදී අනිවාර්යයෙන්ම සිතට නැඟෙන්නේ, චමත්කාරජනක, සුන්දර ඇතැම් මොහොතක ශෘංගාරාත්මක හැඟුම් බව අපි දනිමු. එසේ නම් රෑ ඉරපානකදී එවැන්නක් වේද? එවැන්නක් එනම් එවැනි කල්පිතයකදී, අප සිතට නැ‍ඟෙන්නේ කුමන හැඟුම් ද? ඒවා කවරාකාර, මිහිරි, චමත්කාරජනක හැඟුම්දැයි දැන කියා ගන්නට, විඳගන්නට, නෙළුම් පොකුණ රඟහල ප්‍රේක්ෂාගාරය පිරී‘තිරී ගොස් රැස්ව සිටි රසික සමූහයකට අවස්ථාවක් ලැබුණේ මාර්තු 10 වනදා හැන්ඳෑ යාමයේ රෑ ඉරපානේදී ය.

රෑ ඉරපාන අභිමංගල ප්‍රසංගය හෙවත් බන්දුල නානායක්කාරවසම්, ගේය පද ලාවණ්‍යය සවනින් ඇසූ, නෙතින් දුටු හෝරා කීපයේදීය. කුමක්ද මේ ලාවණ්‍යය? අපි රූපලාවණ්‍යය පිළිබඳ දනිමු. එහෙත් ගේය පද ලාවණ්‍යයක්? එය සෞන්දර්යය ද, සිත්ගන්නා බව ද, මනහර බව ද? අර්ථය කුමක් වූවත්, බන්දුලගේ විස්මිත ගේය පද නිමැවුම් බහුතරයක, ලාවණ්‍යය පිරීතිරී තිබිණ. අපි එය වින්දෙමු, දෙසවනින් හා දෙනෙතින්.

බන්දුල නානායක්කාරවසම්, නම් වූ විස්මිත ගේය පද මැවුම්කරුවා ගේ ලාවණ්‍යය, මහා රසික සම්භාෂණයකදී, අප දුටුවේ දශකයකටත් වඩා දිගු කාලපරිච්ඡේදයකදීය. එනම් 2002 වර්ෂයේ සැප්තැම්බරයේදී ය. සිනා තොටක් ගීතාවලිය සමඟ එහි ගේය පද සංකල්පනා ඇතුළත් කෘතිය, සංයුක්ත තැටිය එළිදැක්වුණු බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදීය. මෙදා නෙළුම් පොකුණේදී ඔහු සිනා තොටින් එතෙර වී, ඔහුට ඔහු හමුවිණැයි අපට පවසන්නේ රෑ ඉරපාන ගීතාවලිය සමඟ මට මා හමුවුණා සංගත තැටි අටකින් යුත් ගීත තිළිණය හා එකී ගේය පද ඇතුළත් මුද්‍රිත කෘතිය හා එනු කොහි සිට, ස්වයං චරිතාපදාන කාණ්ඩයක් ද සමඟිනි. මට මා හමුවුණා ගේය පද සංග්‍රහයේ, සංකල්පනා පිළිබඳ පෙරවදනක් ලියන්නැයි ඔහු මහට ඇරැයුම් කොට, ඒ සඳහා මට ලබා දුන් කාලය පැය විසිහතරකටත් නො අඩුය.

ගී පද රචනා කියවන්නට සලසා තිබුණේ විද්‍යුත් තැපෑලකට අමුණා තිබූ PDF ඇමිණුමකය. මුද්‍රිත පිටපතකින් තොරව ගේය පද සංකල්පනා පනහකට අධික සංඛ්‍යාවක් එකිනෙක කියවා මා සිත් ගත් රචනා තෝරාගෙන අදහසක් පළකිරීම අතිශයින් දුෂ්කර අභියෝගයක් වූ මුත්, ඔහුට අවශ්‍ය දින අවශ්‍ය නියම වේලාවට මගේ සටහන ප්‍රකාශකයන්ට භාරදෙන්නට වගබලා ගතිමි.

පෙරවදන අවසන, මා ඔහු හැඳින්වූයේ, ඔහු බන්දුලම විනා, අන් කවර හෝ ගේය පද රචකයෙක් නොවන බව සඳහන් කරමිනි. මහගම සේකර, සුනිල් ආරියරත්න හෝ ලූෂන් බුලත්සිංහල වැන්නන් අතර ඔහුගේ නම ද තිබෙන මුත්, ඇතැම් අවස්ථාවල මට අසන්නට ලැබුණු ඉහත ගීත රචකයන් විශේෂයෙන් සේකර වැන්නෙක් අතික්‍රමණය කළා යැයි පැවසෙන ගීත රචකයකු හෝ රචකයන් මෙන් බන්දුල ඉහත රචකයන් අතික්‍රමණය කොට නොමැති බවය මා පැවසූයේ. මතු යම් දිනෙකදී බන්දුලට එබඳු අභියෝගයක් වුව ජය ගන්නට ලැබේවායි පතන්නේ ඔහුගේ නිසඟ කවිත්වයට නිදසුන් සපයන ගේය පද සංකල්පනා රැසක් දැනටමත් ඔහු පන්හි‍ඳෙන් ලියැවී ඇති බැවිනි. මට මා හමුවුණා, ගේය පද සංකල්පනා සංග්‍රහයෙහි වූ බොහෝ රචනා රෑ ඉරපානේදී අසන්නට ලැබුණි. ඉන් ඇතැම් ගීයක් හෝ දෙකක් අතීතයේ පටිගත වී ප්‍රවීණ හෝ නවීන හඬකින් ගැයුණද අපට නිතර අසන්නට නොලැබුණු නිර්මාණයි.

රෑ ඉරපානට එබඳු ගීත ද ඇතුළත් කොට ඉදිරිපත් වනු දුටිමි. එහෙත් එක්වරක් පමණක් ප්‍රාසංගික ස්වරූපයෙන්, සිතිවිලි ශ්‍රී ලංකා ප්‍රතිභා (ඩී. එස්. අයි. ආයතනයේ ඉදිරිපත් කිරීම) මහෝත්සවයේදී අසන්නට ලැබුණු විරාගය ගී සංකල්පනාව, බන්දුල නානායක්කාරවසම් යනු විස්මිත ගී සංකල්පනා මවන්නෙක්ය යන මගේ විශේෂණයට සාධකයකි. විරාගය මහ ගත්කරු මාර්ටින් වික්‍රමසිංහගේ නවකතා කලාවේ අග්‍රඵලය සේම සිංහල නවකතාවේද මුදුන් මල්කඩ ලෙස අපි දකිමු. අරවින්ද ජයසේනගේ අපිස් ගූඪ ජීවිතය තුළ උපන්නා වූ ආදර හැඟුම්, ප්‍රබන්ධ කතාවකින් නිරූපණය කළ නොහැකි තැන් සියුම් ව ස්පර්ශ කරමින් සරෝජිනී අරවින්ද සංවාදය තුළින් අපූරුවට රසික මනසට ළංකොට ඇති බව හැ‍ඟේ.

සරෝජිනී:

අරවින්ද මල ඔබ මගේ අරණේ

සුවඳ වින්දත් නෙළාගන්නට බැරි වුණා

අරණේම ඔබ පරවුණා

බලා සිටි මා ඔබෙ සරා...

අරවින්දගේ අප්‍රකාශිත ප්‍රේමයේ සියුම් ඉංගිත වටහා ගන්නී සරෝජිනීයි. අරවින්දගේ සිතුම් පැතුම් බන්දුලගේ ගේය සංකල්පනාවට එක්වන්නේ මෙලෙසිනි.

අරවින්ද:

සරෝජිනියයි ඔබ මගේ පොකුණේ

රුසිර දකිමින් ඔබේ මිහිරෙන් නැළවුණා

ඔහුට ඔබෙ අත හිමි වුණා

ඈත සිට මා සැනසුණා

අරවින්ද ගේ ආදරය පූජනීය යි. රාගයෙන් තොරයි. ඇගේ රූ සිරිය දකිමින් ඒ මිහිරෙන් ඔහු නැළවෙන්නේ එබැවිනි. ඈ අනෙකකු සතුවෙද්දීත්, දුරින් සිට ඔහු සැනසෙන්නේ එබැවිනි. විරාගය නවකතාව තුළින් අරවින්ද සරෝජිනී ගේ ප්‍රේම වෘතාන්තයට ප්‍රමුඛ ස්ථානයක් නොලැබෙන මුත්, අරවින්දගේ ගුප්ත හැසිරීම් විලාස තුළින් ඔහු ආදරය හඳුනන්නකු බවත්, කිසියම් භීතිකාවක් ඔහු තුළ වන බවත් පාඨකයා වටහා ගනී. නවකතාවකින් කියවා හඳුනා ගත් චරිත ද්වයක් ආදරය හමුවේ හැසිරෙන විලාසය, ගේය පද සංකල්පනාවකට නිමිතිකර ගන්නවා පමණක් නොව, නවකතාකරු නොදුටු සියුම් හැඟුම් මතුකොට ඔවුන් දෙදෙනාගේ චරිත නිරූපණයට ඉතා කෙටි කාලයක් තුළ ගැයෙන ගීතයක් බවට නිර්මාණය කොට තිබීම ද බන්දුලගේ ගේය පද රචනයෙහි විශේෂත්වයයි. මට මා හමුවුණා, ගේය සංකල්පනා සංග්‍රහය නම් කොට අති සුනිල් එදිරිසිංහ ගායනා කළ මට මා හමුවුණා රචනය ද, බන්දුල තම ගේය පද රචනා කලාවෙහි අත්දැකීම් හි පොහොසත්, ජීවිත විවරණය රුචි කරන පරිපාකයට පත්ව ඇති නිර්මාණකරුවකුගේ හැඩරුව පෙන්වන්නකි.

මට මා හමුවුණා

මා ද මට හමුවුණා

ගන නිල් වනන්තරේ

කාත් කවුරුවත් නැති

එක නිමේෂයේ

මට මා හමුවුණා

මා ද මට හමුවුණා

එකම පුද්ගලයකුට ඔහු තුළ සිටිනා දෙදෙනකු හමුවීම කෙලෙස සිදුවිය හැක්කක් ද? පෙනෙන මා හා නොපෙනෙන මා හමුවීම ද මේ කාත් කවුරුවත් නැති නිමේෂයකදී සිදු වී ඇත්තේ? උඩු සිත හා යටි සිතෙහි පිළිසඳරක් ද මේ? කෙටි හමුවක් වුවත්, ජීවිතයේ අරුත පිළිබඳ ඔවුන් දෙදෙනා අතර වූ ප්‍රශ්න හා පිළිතුරු අපගේ ද ප්‍රශ්න හා පිළිතුරු බවට පත්වේ. ජීවිතයේ අවසන අප අපේක්ෂා කරන සංතුෂ්ටිය, ඔවුන් අත්වින්දේ දැයි එකිනෙකාගෙන් ප්‍රශ්න කරයි. ඊට ලැබෙන පිළිතුරක් නොවේ. ඔහුගෙන් ඔහුම මැකී යන්නේ පිළිතුරක් නොදීමෙනි.

රෑ ඉරපාන අභිමංගල ප්‍රසංගයේ ගායනාවට එක් වූ ප්‍රවීණ, නවීන, ගායක ගායිකාවෝ බන්දුලගේ ගේය සංකල්පනා ඔවුනගේ මධුර ස්වරයෙන් විචිත්‍රවත් කළහ. එහෙත් ඇතැම් ප්‍රවීණයකුගේ මෙන්ම නවීනයකුගේ ද ගායනා ප්‍රේක්ෂාගාරයට වින්දනයක් ගෙන දුන්නාද කියා ප්‍රශ්නයක් සේ හැඟුණු අවස්ථා ද වූ බව මතකය. එසේ වූයේ නම්, ඊට හේතු වූයේ බන්දුලගේ අපූර්ව සංකල්පනා සහිත ගීත රාශියක් මතකයේ රඳවා සිටින රසික පර්ෂදයකට, එක් සැණෙකින් නව පදමාලාවක් හෝ පැරණි පදමාලාවක්, ගායනයක් හෝ පළමුවරට ඇසෙන කල්හි එහි ගායන මිහිරට එක්වන්නට ලැබෙන අවකාශය සීමිත බැවිනි.

එහෙත් ප්‍රසංගයෙහි අලංකාරය, වරින්වර දීප්තිමත් වූයේ ශ්‍රාවක මතකයෙහි නිදන්ගත වී ඇති ඉතා ජනප්‍රිය ගීත අතරින් ඉඳහිට අසන්නට ලැබුණු සුන්දර ගායනා හේතුකොට ‍ෙගනය. ගී පෙළගැස්මෙහි දී බන්දුලගේ ඇතැම් අපූර්ව ගේය පද සංකල්පනාවක්, මිහිරි හඬින් ගැයුණු ගීතයක් හෝ ගීත කිහිපයක්ම ගිලිහී ගොස් තිබුණේ කෙසේදැයි සිතා ගැනීම උගහටය. වසන්තා තිලකාංගනීගේ ගායනය, එපා තවත් ඔබ මා රවටන්නට වැනි ගීයක් අසන්නට නොලැබීම සිතට දුකකි. එවැන්නක් ගැයුණා නම් බන්දුලගේ ගේය සංකල්පනා මැවීමෙහි විස්මිත බවට තව එකතු කිරීමේ ලකුණක් එක්වන බව සිතිණ. ගායක, ගායිකාවන් හා ගීත තෝරා ගැනීම ගේය පද රචකයකුගේ ප්‍රසංගයකදී විශාල අභියෝගාත්මක කර්තව්‍යයක් බව දන්නේ මුත්, ඇතැම් ගීතයක් අසන්නට නොලැබුණු කල්හි රසික ප්‍රජාව ඉච්ඡා භංගත්වයට පත්වන බව බන්දුලට වැටහිය යුතුය. දීපිකා ප්‍රියදර්ශනී, සුනිල් එදිරිසිංහ ගායනා කළ අහසයි ඔබ මට නිම් හිම් නොපෙනෙන, රංචාගොඩ (නිරෝෂා විරාජිනී), නිහඬ අරණ (රෝහන් ශාන්ත බුලේගොඩ), පායනා ඉර පාන කාගේ (උරේෂා රවිහාරි) හා තවත් එවන් ගීත අසන්නට නොලැබීම, කාගේ වරදකින් සිදුවුණි දැයි නොදනිමු.

අනේ එවිපත සිදුවිණි, නොදනිමි කාගෙ දොසා යන සරච්චන්ද්‍රයන්ගේ නාටක ගී පද සිහිවේ. දෙහෝරාවකට වැඩි කාලයක් තුළ ගායක ගායිකාවන් විසිපහකට ආසන්න පිරිසකගේ ගීත තෝරාගැනීම තුළ එවිපත සිදුවීම, සිදුවිය හැක්කකි. එහෙත් ඇතැම් ගී පසුබිම් තොරතුරු කෙටි කරමින් හෝ ඉඩ සොයා ගත්තේ නම් විපත සැපත වනු නො අනුමානය.

රෑ ඉරපාන ගේය පද ලාවණ්‍යය විචිත්‍ර වූයේ, ප්‍රවීණ නවීන ගායක ගායිකා ගායන ලාවණ්‍යය ද රෝහණ වීරසිංහ ගාන්ධර්වයාගේ, සංගීත ලාවණ්‍යය ද නිසා බව පවසමි. දීපිකා ප්‍රියදර්ශනී, නෙලූ අධිකාරි, උරේෂා රවිහාරි, සමිතා එරන්දති, චරිතා ප්‍රියදර්ශනී, නිරෝෂා විරාජිනී, ශෂිකා නිසංසලා, ප්‍රදීපා ධර්මදාස, ධම්මිකා වල්පොල ආදීන් මෙන්ම සුනිල්, එඩ්වඩ්, කසුන්, අතුල, අමල්, ලක්ෂ්මන්, වේරලියද්ද, කෝලිත භානු, රෝහණ, සංගීත්, හර්ෂ, බන්දුල ප්‍රමුඛ නව පරපුර ද ගේය පද ලාවණ්‍යය සඳහා දායක වූ නිර්මාණශීලී පරිවාර සේනාව සේ දකිමි.

සනත්, වික්ටර් වැන්නන්ගේ සහභාගීත්වය වුව, ප්‍රසංගයේ අබිමනට හේතු වූවා නොවේදැයි සිතිණ. රෑ ඉරපාන යනු ගේය පද රචකයකුගේ ජීවිතයේ අසිරිමත්ම මොහොතක් වීම විශේෂත්වයකි. ඔහුගේ ජන්ම දිනයකදී, ඔහු නෙළාගත් අස්වැන්නෙන් බිඳක් හෝ දිවයිනේ විශිෂ්ටතම හඬ පෞරුෂ මඟින්, විශිෂ්ටතම සංගීත නිර්මාණ මඟින් ප්‍රතිනිර්මාණය වී රසික සවනට, දෑසට සමීප කරවන්නට ලැබෙන දුලබ අවස්ථාවක හිමිකාරයා වීම යනු බන්දුල නානායක්කාරවසම් නම් වූ විස්මිත ගේය පද රචකයා ලද වාසනාවකි. 


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 10 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.

Or log in with...