ලසන්ත ඝාතනය මාධ්‍යවේදීන්ට පහරදීම එකම කණ්ඩායමකින්

 සන්ඩේ ලීඩර් පුවත්පතේ හිටපු කර්තෘ ලසන්ත වික්‍රමතුංග මහතාගේ ඝාතනය සහ එවකට සිදු වූ මාධ්‍යවේදීන්ට පහරදීම් සහ හිංසාවන් සිදු කර ඇත්තේ එවකට යුද හමුදා බුද්ධි අංශ අධ්‍යක්ෂවරයා වූ මේජර් ජනරාල් කපිල හෙන්දවිතාරණ යටතේ සිටි එකම කණ්ඩායමක් බව පරීක්ෂණවල දී අනාවරණය වී ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ගල්කිස්ස මහේස්ත්‍රාත් මොහොමඩ් මිහාල් මහතා වෙත ඊයේ (20) දැනුම් දුන්නේය.

ලසන්ත ඝාතනයට අමතරව , මාධ්‍යවේදී උපාලි තෙන්නකෝන්, කීත් නෙයාර් ඇතුළු මාධ්‍යවේදීන්ට හා මාධ්‍ය ආයතනවලට පහර දීම ඇතුළු අපරාධ රැසකට මෙම කල්ලිය සම්බන්ධ බවට කරුණු අනාවරණය වී ඇති බවත් රහස් පොලීසිය අධිකරණයට දැනුම් දී ඇත.

ලසන්ත වික්‍රමතුංග ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය වෙත විශේෂ වාර්තාවක් ඉදිරිපත් කළ අතර එම වාර්තාවේ තවදුරටත් සඳහන් වන්නේ මාධ්‍යවේදි කීත් නෙයාර්ට පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් දැනට අත්අඩංගුවට ගෙන සිටින පිරිස මෙම ලසන්ත ඝාතන සිද්ධියට සම්බන්ධ බවට කරුණු අනාවරණය වන බැවින් ඉදිරියේ දී ලසන්ත වික්‍රමතුංග ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් එම සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කරන බවය.

ලසන්ත වික්‍රමතුංග මහතාගේ ඝාතන සිද්ධිය සම්බන්ධ නඩුව ගල්කිස්ස මහේස්ත්‍රාත් මොහොමඩ් මිහාල් මහතා ඉදිරියේ දී ඊයේ (20) යළි කැඳ වූ අතර රහස් පොලීසිය අධිකරණයට මෙහිදී දන්වා සිටියේ මෙම සිද්ධියට අදාළව ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍ය, හිටපු යුද හමුදාපති, ෆීල්ඩ් මාස්ටර් සරත් ෆොන්සේකා මහතාගෙන් ප්‍රකාශයක් ලබාගත් බවත් ඔහු විසින් සඳහන් කර ඇත්තේ කොළඹ හා තදාසන්න ප්‍රදේශවල ආරක්ෂාව සම්බන්ධයෙන් විශ්‍රාමික මේජර් ජනරාල් අජිත් පෙරේරා පත් කර සිටි බවත් යුද හමුදා බුද්ධි අංශ අධ්‍යක්ෂවරයා වූ මේජර් ජනරාල් කපිල හෙන්දවිතාරණ මහතා යටතේ ක්‍රියාත්මක කල්ලියක් විසින් මාධ්‍ය ආයතන හා මාධ්‍යවේදීන්ට සම්බන්ධ අපරාධ සිදු කර ඇති බවය.

මීට අමතරව මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග මහතාගේ දෙවැනි පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව ලැබී ඇති බව සඳහන් කළ රහස් පොලීසිය එම වාර්තාවට අනුව ඔහු මරණයට පත්ව ඇත්තේ වෙඩි වැදීමෙන් නොව හිසට ඇන මොළයේ කොටස් එළියට ගැනීමෙන් බව අධිකරණයට දැන්වීය. මෙම ඝාතන සිද්ධිය ජූනි මස 19 වැනිදා නැවත කැඳවීමට නියමිතය. 


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 4 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.

Or log in with...