මුෂ්ෆීකර් ආඩම්බරෙන් | දිනමිණ

මුෂ්ෆීකර් ආඩම්බරෙන්

ප්‍රින්ස් ගුණසේකර

පිතිකරුවන් හා පන්දු යවන්නන් වගකීම නිසි ලෙස ඉටු කිරීමෙන් ශ්‍රී ලංකාව දෙවැනි ටෙස්ට් තරගයෙන් පරාජය කිරීමට හැකිවූ බව බංග්ලාදේශ ක්‍රිකට් නායක මුෂ්ෆිකර් රහීම් පවසයි. “ නිසැකවම මේ ජයග්‍රහණය පිළිබඳ මා ආඩම්බර වෙනවා“ මුෂ්ෆිකර් තරගයෙන් අනතුරුව මාධ්‍යවේදීන්ට පැවැසීය. ගාල්ලේ පැවැති පළමු ටෙස්ට් තරගයේ ජය ශ්‍රි ලංකාවට හිමිවූ හෙයින් තරගාවලිය 1-1ක් ලෙස සම තත්ත්වයකට පත්විය. සියවැනි ටෙස්ට් තරගයෙන් ජය වාර්තා කිරිම හා ශ්‍රී ලංකාව සමග පැවැති ටෙස්ට් තරග 18කදී ජයගත් පළමු තරගයවිම බංග්ලාදේශයට මෙහි ඇති විශේෂත්වය වේ. එබැවින් ශ්‍රී ලංකාව පරාජය කිරීමට හැකියාව ලැබීම තම ක්‍රිකට් දිවියේ නැවුම් අත්දැකීමක් බව රහීම් පැවැසීය. මුෂ්ෆිකර් රහීම් ටෙස්ට් තරග 54 කට සහභාගීවී ඇති පළපුරුදු ක්‍රීඩකයකු වන අතර ශතක 5ක් හා අර්ධ ශතක 17ක් රැස්කර ගෙන සිටී.

“ මගේ ක්‍රිකට් ජීවිතයේ මේ වගේ තරගයකට මුහුණදුන් පළමු අවස්ථාව මෙයයි. ලකුණු හඹා යෑම අලුත් අත්දැකීමක් වුණා. පස්වැනි දිනයේදී ජයග්‍රහණය හඹා යෑමේදී අපේ සැලසුම සාර්ථක වූවා. ටමීම් ඉක්බාල් හා ෂබීර් රෙහ්මාන් ගොඩනැගූ ශතක සම්බන්ධතාව ජයග්‍රහණයට විශාල දායකත්වයක් වූවා. සකීබ් අල් හසන් දැවී යද්දී නවක ක්‍රීඩක මොසෙඩෙක් හොසේන් හා මෙහෙදි හසන් පිළිබඳ විශ්වාසය ගොඩ නැගුණා. සියල්ල සාර්ථක වූ තරගයක් ලෙස දෙවැනි ටෙස්ට් තරගය සැලකිය හැකියි“ රහීම් පැවැසීය.

ජයග්‍රහණය වෙනුවෙන් ලකුණු 191ක ඉලක්කය හඹා යෑමේදී ටමීම් බක්බාල් හා සබීර් රෙහ්මාන් තෙවැනි කඩුල්ලට ලකුණු 109ක සම්බන්ධතාවක් ගොඩ නැගීමට සමත් විය. “මෙය වැදගත් ජයග්‍රහණයක්. මෙය ලෙහෙසියෙන් අපට ලැබුණු ජයක් නොවෙයි. ගාල්ලේ පළමු ටෙස්ට් තරගයෙන් පරාජයවී කොළඹට පැමිණෙද්දී මානසිකව ශක්තිමත්ව දෙවැනි තරගයට මුහුණදීමට ලැබීමත් ලොකු දෙයක්“ බංග්ලාදේශ ක්‍රිකට් නායකයා පැවැසීය.

නව අදහස දක්වන්න