පාසල් ලීග් තරගාවලියට මෙතෙක් රගර් ආයතනයේ අනුමැතිය නෑ | දිනමිණ

පාසල් ලීග් තරගාවලියට මෙතෙක් රගර් ආයතනයේ අනුමැතිය නෑ

ෆවුස් මොහොමඩ්

ජාත්‍යන්තර රගර් සම්මේලනයේ නීතිරිති ප්‍රකාරව අන්තර් පාසල් ලීග් රගර් තරගාවලියේ නීතිරීතිමාලාව සංශෝධනය කොට එම තරගාවලියට අනුමැතිය ලබාගත යුතු බවට ශ්‍රී ලංකා රගර් ආයතනය කළ දැනුම් දීමට මෙතෙක් පාසල් රගර් සංගමය මෙතෙක් කිසිදු ප්‍රතිචාරයක් දක්වා නැතැයි ‘දිනමිණ‘ට වාර්තා වෙයි.

පාසල් රගර් ක්‍රීඩකයන්ගේ ආරක්ෂාව උදෙසා පාසල් රගර් සංගමය කිසිදු ආකාරයක පියවරක් ගෙන නැති බවට ශ්‍රී ලංකා රගර් ආයතනය චෝදනා එල්ල කරන අතර තරගාවලිය ගුණාත්මක භාවයකින් යුතුව පැවැත්වීමේ උනන්දුවක් පාසල් රගර් සංගමයට නොමැති බවට ද චෝදනා එල්ල වී තිබේ.

මේ තරගාවලිය ආරම්භයේ සිටම පාසල් රගර් සංගමයේ සහ ශ්‍රී ලංකා රගර් සංගමයේ නිලධාරීන් අතර පාසල් ලීග් තරගාවලිය සම්බන්ධව පැන නැගුණු ගැටලු සහගත තත්ත්වය මෙතෙක් සමථයකට පත්වී නොමැති අතර ජාත්‍යන්තර රගර් සම්මේලනයේ නීතිරීති ප්‍රකාරව පාසල් ලීග් රගර් තරගාවලිය නොපවත්වන්නේ නම් ඊට අනුමැතිය ලබා නොදීමට ශ්‍රී ලංකා රගර් ආයතනය තීරණය කොට තිබිණි.

ශ්‍රී ලංකා රගර් ආයතනයේ අනුමැතිය නොමැතිව තරගාවලිය පවත්වාගෙන යාමෙන් ඉදිරියේදී සිදුවිය හැකි කිසිදු ගැටලුවකට මැදිහත් නොවීමට ශ්‍රී ලංකා රගර් ආයතනය තීරණය කොට ඇතැයි වාර්තා වේ. ඒ අනුව පාසල් ලීග් රගර් තරගාවලිය නිල නොලත් තරගාවලියක් ලෙස සැලකීමට රගර් ආයතනය කටයුතු කරන බවට එහි ප්‍රකාශයකු දිනමිණට කීවේය.

පාසල් ලීග් රගර් තරගාවලිය අතරතුර ක්‍රීඩකයන්ට සිදුවිය හැකි ශාරිරික ආබාධ හෝ තරගයකදී සිදුවිය හැකි ගැටුම් සම්බන්ධව හෝ ඒ පිළිබඳ පාසල් මගින් එල්ල කරන විරෝධතාවකට හෝ මැදිහත් නොවීමටත්, එහි වගකීම බාර නොගැනීමටත් ශ්‍රී ලංකා රගර් ආයතනය තීරණය කොට ඇත.

මේ පිළිබඳ කරුණු දැනගැනීමට පාසල් රගර් සංගමයේ සභාපතිවරයා සහ ලේකම්වරයා දුරකතන මාර්ග ඔස්සේ සම්බන්ධ කරගැනීමට උත්සාහ කළ ද ඔවුන් ඊට ප්‍රතිචාර නොදැක්වූහ.

නව අදහස දක්වන්න