දියතරිප්පු ඇස් කණ්ණාඩි

මහනුවර දිස්ත්‍රික්කයේ ගඩලාදෙණිය ඉතා වැදගත් වන්නේ, එහි ඇති රජමහා විහාරය නිසා ය. එසේ ම, ඉතා දුර්ලබ , ඉතා පැරැණි දියතරිප්පු මැණික්වලින් ඇස් කණ්ණාඩි සාදන ශිල්පීන් කිහිපදෙනකු සිටින ගම්මානයක් ලෙස ද එය වැදගත් වෙයි. මහනුවර සිට සැතැපුම් පහළොවක් පමණ දුරින් පිහිටි ගඟසිරිපුර හෙවත් ගම්පළ, පළමුවරට අගනුවර කරගත් හතරවැනි බුවනෙකබාහු රජු කල (ක්‍රි. ව. 1341 – 1351) කුරුණෑගල බිඳවැටීමෙන් පසු ගම්පොළ ලංකාවේ අගනුවර බවට පත් විය. 1341 සිට 1410 දක්වා ගම්පොළ ලංකාවේ අගනුවර විය.

ගම්පොළ පළමු රජු වූ හතරවැනි බුවනෙකබාහු කල ගම්පොළ ඇති ප්‍රධානතම විහාර දෙකක් ඉදි විය. ඉන් පළමුවැන්න වූ ලංකාතිලකය, සේනාධිලංකාර සෙනෙවි විසින් ස්ථපතිරායර් ද්‍රවිඩ ශිල්පියා ලවා කරවූ බව ලංකාතිලක ශිලා ලිපිවලින් පෙනෙයි. එය ගල්තලාව මත ගඩොල්වලින් කරවා ඇත. ගඩලාදෙණිය තුන්වැනි ධර්මකීර්ති හිමි විසින් තනි කළුගල් තලාවක් මත තනි කළු ගලෙන් බඳවා ඇත්තේ, ගණේශ්වර නමැති ද්‍රවිඩ ශිල්පියා මූලිකව බව ගඩලාදෙණිය ශිලාලිපි කියයි. මේ ස්ථාන දෙක ම මීට පෙර අවැදගත් විය.

අවුරුදු දහයක් වැනි කෙටි කාලයක් තුළ ලංකාතිලක හා ගඩලාදෙණියේ වැඩ නිමවී ඇත. එම විහාර දෙකේම දකුණු ඉන්දීය විජයනගර් ගෘහ නිර්මාණ ශිල්පය දැකිය හැකි ය. විහාර දෙක ම වැඩ අරඹා ඇත්තේ හතරවැනි බුවනෙකබාහු රජුට පෙර කුරුණෑගල රජකල පස්වැනි විජයබාහු (ක්‍රි. ව. 1335 – 1341) රජු කල ය.

ලංකාතිලකය, ගඩලාදෙණිය, ඇම්බැක්කේ, පුසුල්පිටිය යන ප්‍රධාන විහාර හතරම ඉදිකිරීම සඳහා ගම්පොළ කල පැමිණියේ දකුණු ඉන්දීය කාර්මිකයන් ය. වැඩ නිමවූ පසු ඔවුන් ආපසු දකුණු ඉන්දියාවට ගියේ නැත. රජුගෙන් ගම්බිම් තෑගි ලබාගෙන, ලංකාවේ ම ගම්පොළ අවට ජීවත් වී, ඒ පරපුර අද ලාංකේයයන් බවට පත්වී ඇත. ගම්පොළ කල මේ විහාර කරවීමට ආ ශිල්පී පරම්පරාවක් අතර සිටි සුවිශේෂී හැකියාවක් ඇති එක් ශිල්පී පරපුරක්, හතරවැනි බුවනෙකබාහු රජුට වැළඳී තිබූ ඇස් පෙනීමේ අඩුකමට ප්‍රතිකර්මයක් ලෙස, දියතරිප්පු මැණික්වලින් ඖෂධීය ගුණ බහුල ඇස් කණ්ණාඩි නිපදවා, රජුගේ ඇස් රෝගය සුවකර ඇත.

ඒ පරපුර පාරම්පරිකව අදත් සුවිශේෂී උරුමයක් ලෙස දියතරිප්පු මැණික්වලින් ඇස් කණ්ණාඩි නිපදවයි. ඒවා අක්ෂි රෝග දුරලයි. ඇසට සිසිල ලබාදෙයි. ඒවා ඇසට ගුණදායක ය. මේ පරපුර අදත් ගඩලාදෙණිය හා කිරිවවුල යන ගම්වල ජීවත්වේ.

 

එස්. කේ. ජයවර්ධන
වත්තේගම හිටපු කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
16 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.

Or log in with...