සිරුර නවීකරණය කරන කලාව

ලෝකයේ විවිධ ජනයා අතර විවිධ සම්ප්‍රදාය ඇත. ඒ සම්ප්‍රදාය ඔවුන්ගේ සංස්කෘතියට බද්ධ වූ ඒවා ය. එයින් සමහර සම්ප්‍රදාය, ඔවුන්ගේ ආරක්ෂාව, ශරීර ස්වභාවය, ඔවුන්ගේ ප්‍රජාවේ අත්වන තැන වැනි දේ තහවුරු කරනවාට සැකයක් නැත. ලෝකයේ විවිධ සමාජවල කලින් කලට දක්නට ලැබුණු 'ශරීර නවීකරණය කිරීමේ ක්‍රම කිහිපයකි. මේ කුමන ක්‍රමයක් නිසා ශරීරය ලස්සන වීද? කුමන ක්‍රමයක් නිසා ශරීරය අවලස්සන වීද ? යන්න පිළිබඳ තීරණය කරීම ඔබ සතු ය. එහෙත්, ඒ කිසිදු ක්‍රමයක් ප්‍රාථමික යැයි කියා හෝ උසස් යැයි කියා හෝ තීරණය කිරීමට ඉඩක් නොමැත්තේ , ඒවා ඔවුන්ගේ සංස්කෘතියට සාපේක්ෂ නිසා බව සැලකිය යුතු ය.

1.මියැන්මාරයේ ජිරාෆ් ගැහැනුන්

කාන්තාවන්ගේ ගෙල උස් වූ තරමට අලංකාර යැයි කියා විශ්වාස කරන 'කයාන්' නමැති ගොත්‍රිකයන් ජීවත් වන්නේ, නැඟෙනහිර මියැන්මාරයේ ය. ගෙල උස කර ගැනීමේ අරමුණ ඇතිව මේ කාන්තාවන්ට විශේෂ පළඳනාවක් පැළඳගෙන ජීවත් වීමට ගෝත්‍රයේ සම්ප්‍රදාය විසින්ම බල කෙරේ. මේ පළඳනාව පිත්තල රවුම්වලින් හෝ පිත්තල දඟරවලින් හෝ සකසන ලද එකකි. එකී ආකාරයට පිත්තල රවුම් පැළඳගෙන සිටින කාන්තාවන් 'ජිරාෆ් කාන්තාවන්' යන අන්වර්ථ නාමයෙන් හැඳින්වේ.

බරැති පිත්තල වළලු හෝ පිත්තලවලින් කරන ලද දඟර හෝ ගෙලෙහි පැළඳීම නිසා , ඒවායේ බර හේතු කරගෙන ගෙල ප්‍රදේශයේ මාංශ පේශි තෙරපුමකට ලක් වන බවට ඔවුන් අතර විශ්වාසයක් ඇත. මේ නිසා, ගෙල උස් වන බව කියැවේ. එහෙත්, මේ පළඳනාව නිසා කාන්තාවන්ගේ ගෙල ප්‍රදේශයේ මාංශපේශි කිසියම් විකෘතිතාවකට පත්වන බව ඔවුහු පිළි නොගනිති. ඒ ගැන තර්ක කරන විට , ගෝත්‍රයේ සිටින ඇතැම් වැඩිහිටියන් කියන්නේ, ගෙලට එවැනි ආධාරයක් නැතිව නිදහසේ පැවතිය නොහැකි බවකි. ගෙල ඒ ආකාරයට නිදහසේ පැවතියහොත් කඩා වැටීමකට ලක්වන බව ඔවුන්ගේ මතය වේ.

තවත් සමහරුන් කියන්නේ, ඔවුන්ගේ ආදිතමයන් වනාන්තර සහ කඳුකර පෙදෙස්වල ජීවත් වුණු නිසා, කොටින්ගේ සපා කෑම්වලට ලක්වුණු බවකි. කොටින් ගෙල ප්‍රදේශය සපා කෑවොත් යන සැකය සහ බිය හේතුවෙන් මෙවැනි පළඳනාවක් භාවිතයට ගත්තා යැයි කියා ඔවුහූ කියති.

2.මුඛ පළඳනා

ඉතියෝපියාවේ මුර්සි ගෝත්‍රයට අයත් කාන්තාවන්, මුඛයෙහි විශාල පළඳනාවක් රඳවාගෙන සිටිනු දැකිය හැකි ය. මේ මුඛ පළඳනාව රඳවා ගැනීමට අවසරය ලැබෙන්නේ, වැඩිවියට පත් ගැහැනු ළමයින්ට පමණි. එයින් සංකේතවත් කෙරෙන්නේ, එකී ගැහැනු ළමයා දරුවන් දරන්නට සුදුසු තත්ත්වයක සිටින බවකි. මුඛ පළඳනාව රවුම් හැඩයක් ගනී. එය ලීවලින් කරන ලද එකක් හෝ මැටියෙන් හෝ කරන ලද එකක් වන්නට පුළුවන. තැටියක් බඳු මේ මෙවලම පළඳින්නේ යටි තොලෙහි ය. පළමුවෙන් මේ මෙවලම් පැළඳවීමේදී යටි තොල ආසන්නය සිදුරු කර, තැටිය පැළඳවීම කරනු ලැබේ.

වැඩිවිය පත් ගැහැනු ළමයාට පළමුව පළඳින්නට ලැබෙන්නේ ඉතා කුඩා ප්‍රමාණයේ තැටියකි. පසුව ප්‍රමාණයෙන් විශාල තැටි පළඳින්නට බල කෙරේ. මේ අන්දමට කවර ප්‍රමාණයක හෝ තැටි පැළඳගෙන සිටීම හේතුවෙන් යටි තොල ආශ්‍රිත සිදුර විශාල වන්නටත්, යටි තොල විකෘති වන්නටත් පුළුවන. එහෙත් මුර්සි ගැහැනු එය අවලස්සනක් ලෙස නොසිතති.

3.බගොබෝ සහ බාකා ජනයාගේ දත් උල් කිරීම

බගොබෝ ජනයා, පිලිපීනයේ මින්දනාවෝ වෙරළ තීරයේ ජීවත් වන ගෝත්‍රික ජන කොටසක් හැටියට හඳුන්වන්නට පුළුවන. බගොබෝ ගැහැනුන්ගේ දත් කළු කිරීමටත්, දත් පීරී ගා මුවහත් කර ගැනීමටත් ඔවුන්ගේ සංස්කෘතියෙන් බල කෙරේ. දිගු කාලයක් පුරා පීරී ගෑම හේතුවෙන් දත් ඇන්දේ දත් එකිනෙකකින් වෙන්වී, උල් සිට වූවාක් වැනි ස්වරූපයකට පැමිණේ. පීරී ගෑම කෙරෙන්නේ ලීයෙන් තනන ලද පීරක භාවිතයෙනි.

දත් මේ ආකාරයට උල් කිරීම වේදනා ගෙන දෙන්නක් බව අමුතුවෙන් කිවයුතු නොවේ. එහෙත් වැඩිවිය පත් ගැහැනු ළමයකු ලස්සන කරන්නට ඔවුහූ මේ ක්‍රියාවලිය භාවිතයට ගනිති. දත් කළු කිරීමට පාවිච්චියට ගැනෙන්නේ දුම් හෝ විශේෂයෙන්ම සකසා ගන්නා ලද සිහින් කුඩු වර්ගකි.

මධ්‍යම අප්‍රිකා ජනරජයේ වනාන්තර ආශ්‍රිතව ජීවත් වන බාකා ගෝත්‍රික ජනයාත් දත් උල් කිරීම චාරිත්‍රයක් ලෙස පවත්වාගෙන යති.

4.දෙනාස් පුඬු සිර කිරීමෙන් ලැබෙන අවලස්සන

ඉන්දියාවේ අරුනාචල් ප්‍රදේශයේ ජීවත් වන අපටානී ගෝත්‍රයේ කාන්තාවෝ දෙනාස් පුඬුවල ඇබ ගැසීමේ චාරිත්‍රයක් පවත්වාගෙන යති. ඔවුන් එවැන්නක් කරන්නේ ඔවුන්ගේ ආකර්ෂණය අඩු කර ගැනීම සඳහා බව වාර්තා වේ. කාන්තාවන්ගේ ආකර්ශනීයභාවය ඔවුන් පැහැර ගෙන යාමට හේතුවක් බව ඔවුන්ගේ විශ්වාසයයි. කාන්තාවන් ආරක්ෂා කර ගැනීමේ අරමුණ ඇතිව එවැනි සම්ප්‍රදායක් ආරම්භ වුණු බව ඔවුහූ පවසති. අපටානී ගෝත්‍රික කාන්තාවන් පැහැර ගැනීම අතීතයේදී සිදු කර ඇත්තේ, එකී ප්‍රදේශයේ ඔවුන් සමඟ ජීවත් වුණු සෙසු ගෝත්‍රවල පිරිමින් ය. පැහැරගෙන යතැයි කියන බියක් අපටානී කාන්තාවන් අතර අද වනවිට නැත. එසේ වුවත් ඔවුහූ මේ චාරිත්‍රය අදටත් පවත්වාගෙන යති. මානව විද්‍යාඥයන් පවසන්නේ, අද වනවිට මේ චාරිත්‍රය දැකිය හැක්කේ, මේ ගෝත්‍රිකයන් තුළ ඉතා කලාතුරකින් වන බව ය.

5.ඩානිවරුන්ගේ ඇඟිලි පුරුක් කපා දැමීම

ඉන්දුනීසියාවට අයත් බටහිර නිව් ගිනියාව යනුවෙන් හැඳින්වෙන පෙදෙස නිව් ගිනියාහි කොටසක් ලෙස සැලකේ. මේ ප්‍රදේශයේ ජීවත්වන ඩානි ගෝත්‍රයට අයත් කාන්තාවන්ගේ අතැඟිලිවල ඇඟිලි පුරුක් කපා දැමීමේ චාරිත්‍රයක් ඇත. මේ විධිහට ඇඟිලි පුරුක් ඉවත් කරන්නේ, ඒ කාන්තාවගේ ළඟම ඥාතියකු අභාවයට පත් වූ විටදී ය. ඔවුන් කල්පනා කරන්නේ තදබල ලෙස ශෝකයට පත් වීම බැහැරට පෙන්විය හැකි වන්නේ, එවැනි චාරිත්‍රයක් පවත්වාගෙන යාමෙන් කියායි. ඇඟිලි පුරුක කපා දැමීම සිදුවන්නේ අදාළ කාන්තාව අවමංගල්‍යයට සහභාගී වන අතරතුරදී ය.

ඇඟිලි පුරුක කපා දැමීමට පෙර මිනිත්තු 30ක පමණ කාලයක්, කපා දැමීමට නියමිත ඇඟිලි පුරුක නූලකින් තදට ගැට ගසා තබනු ලැබේ. එසේ ගැට ගසා තැබීම නිසා, ඇඟිලි පුරුක කපා දැමීමේදී මතු වන වේදනාව අඩුවන බවට මතයක් ඇත. කපා දැමීම කරන්නේ, ඇඟිලි පුරුක කපා දැමීමට භාජනය වන කාන්තාවගේ ඉතා සමීපතම ඥාතියෙකි. සමහරවිට වැඩිහිටියකු හෝ සහෝදරයකු හෝ වන්නට පුළුවන. ඩානි පිරිමින්ගේත් ඇඟිලි පුරුක් කපා දැමීම සිදු කෙරෙන අවස්ථා ඇත. එවැන්නක් කෙරෙන්නේ ශක්තිමත් පුද්ගලයන් කිහිප දෙනකු ගෝත්‍රය තුළ ජීවත් වීම වැළැක්වීම සඳහා ය.

6.හිස් සරසා ගැනීමේ අමුතු කලාව

කොන්යක් ගෝත්‍රික ජනයා ජීවත් වන්නේ ඉන්දියාවේ නාගලන්තයෙහි ය. ඔවුන් ජීවත් වන පරිසරය ඉතාමත් අලංකාර එකකි. එය ඉන්දීය - මියැන්මාර දේශ සීමාව ආසන්නයේ පිහිටි ප්‍රදේශයක් හැටියටත් හඳුන්වන්නට පුළුවන. කොන්යක් ගෝත්‍රික ජනයා එක්දහස් නවසිය හැට ගණන් වනතුරුම සටන්කාමී ජන කොටසක් ලෙස ප්‍රකටව සිටියහ. කොන්යක් පිරිමි සටන් කළේ, හිස ආධාර කරගෙන ය. මේ නිසා ඔවුහූ නිතරම හිස විවිධ දෙයින් සරසා තබා ගැනීම පුරුද්දක් ලෙස කළහ. හිස සරසන්නට යොදා ගත්තේ සත්ව අං තට්ටු ආදියයි. ඒ වගේම මුහුණ සහ ශරීරය නොයෙක් පච්චා රටාවලින් සහ වර්ණවලින් අලංකාර කර ගන්නට ඔවුහු එදා සිටම අමතක නොකළහ.

7.පතුල් බැඳ තැබීම

පතුල් හිර වන සේ කිටි කිටියේ බැඳ තැබීමේ සම්ප්‍රදායක් ලොව ඇතැම් රටවල ඈත අතීතයේදී තිබී ඇත. මේ සම්ප්‍රදාය ඉතාමත් බරපතළ ආකාරයට ක්‍රියාත්මක වුණු රාජ්‍යයක් හැටියට චීනය හඳුන්වන්නට පුළුවන. සම්ප්‍රදාය චීනයේ ක්‍රියාත්මක වී තිබෙන්නේ, 10 වැනි සහ 11 වැනි සියවස් තුළදී බව ඉතිහාස වාර්තාවල දැක්වේ. පතුල බැඳ තැබීමේදී පතුලේ ඇඟිලි යටි අතට නවා හිරවන සේ බැඳ දැමීම කර ඇත. එසේ බැඳ දමන ලද පතුල් ඉතා කුඩා සපත්තුවක් තුළට හිර කර ඔබා තබා තිබේ. පතුල බැඳ තැබීම මේ ආකාරයට විස්තර කළ හැකි වුවත්, චීනයේ එක් එක් පළාත්වල මේ සම්ප්‍රදාය සිදු කර තිබෙන්නේ විවිධාකාර ක්‍රමවලට ය. ඒ කුමන ක්‍රමයට පතුල බැඳීම කළත්, එය දැඩි වේදනා සහගත එකක් බව අමතක කළ නොහැකි ය.

මේ අන්දමට බැඳ දමන ලද පතුල නැවත ගැලවීමට සමහර කාන්තාවන්ට කොහෙත්ම ඉඩක් ලැබුණේ නැත. මුළු මහත් ජීවිත කාලය පුරාම බඳින ලද පතුල් සහිතව වධ වේදනා විඳිමින්, ජීවත්වන්නට ඔවුන්ට සිදු විණ. තවත් සමහර කාන්තාවන්ට විවාහයේදී පතුල ලිහා දමන්නට අවසරය හිමි විය. ඇතැම් කානතාවෝ පතුල බැඳ දමා ස්වල්ප කලයක් ගතවත්ම ඒවා ලිහා දැමුවෝය. කොහොම වුණත්, පතුල බැඳ දැමීම හේතුවෙන් චීන කානතාවන්ට අන්තිමට උරුම වුණේ, විකෘති වී, ඉතාමත් අශෝභන තත්ත්වයට පැමිණි පතුල් බව වාර්තාවල දැක්වේ. විකෘති වීම සහ අවලස්සන කෙසේ වුවත්, සමහර කාන්තාවෝ ඇවිදීමේ අපහසුතා ඇත්තෝ බවට ද පත්ව සිටියහ.

 

අන්තර්ජාලය ඇසුරෙනි
මංජුලා විජයරත්න 


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
12 + 4 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.

Or log in with...