සොබා සිරි පිරි අහුපිනි ඇල්ල

සුන්දරත්වයෙන් අනූන හා ඓතිහාසික වටිනාකමකින් යුතු, සොබාව ධර්මයේ අපුර්ව දායාදයක් ලෙස, මාවනැල්ල අරණායක පිහිටා ඇති රමණීය දිය දහරාවක් වන, අහුපිනි ඇල්ල හැඳින්විය හැකි ය. ශ්‍රී ලංකාවේ දස දිගින් ගලා බසින ගංගා, විටෙක සුන්දර ලාලිත්‍යයෙන් කඳු පල්ලම් මතින් පහළට ඇද වැටෙයි. මෙලෙස ඇද හැලෙන දිය දහරා, පරිසරය ඒකාලෝක කරන අතරම, ශ්‍රී ලංකාව තුළ සංචාරක කර්මාන්තට නව මංපෙත් විවර කර දෙයි.

මුහුදු මට්ටමේ සිට මීටර් 570ක් පමණ උසින් පිහිටන මේ ඇල්ල, රාවණා ඇල්ල ලෙස ද ප්‍රදේශවාසීන් හඳුන්වයි. මේ දිය ඇල්ල කෑගල්ල හා මහනුවර දිස්ත්‍රික්ක වෙන් වන සීමාවේ, මහනුවර දිස්ත්‍රික්කයට අයත්ව පිහිටා තිබේ. මෙලෙස අලංකාර සුන්දර දිය ඇල්ල, සමහර දිනවලදී ඇඟ කිළිපොලා යන ශබ්දයක් නිකුත් කරයි. ගම් වාසීන් මේ පිළිබඳ පවසන්නේ එම ශබ්දය ඇසුණු පසු මේ ඇල්ල, මිනිස් බිල්ලක් ගන්නා බව ය.

මේ අති රමණීය සුන්දර දිය ඇල්ල නැරැඹීමට යාම සඳහා මාර්ග දෙකක් ඇත. එනම්, කොළඹ සිට මාවනැල්ලට පැමිණ, මාවනැල්ල නගරයේ සිට අරණායක දක්වා පැමිණ, එතැන් සිට හොරේවල දෙයියන්වල හරහා නාත්තාකන්ද උඩුවැල්ල පාරේ දන්තැල්ගොඩ ඔය පසු කරමින්, උඩුවැල්ල- නාත්තාකන්ද දෙසට විහිදෙන අඩි පාරේ තවත් කිලෝමීටර් එක හමාරක් පමණ ගමන් කළ යුතු ය.

එවිට, උසින් මීටර් 100 ක් පමණ වූ අලංකාර දිය ඇල්ල නෙත ගැටේ. කඳු බෑවුමෙහි ඉදි කර තිබෙන නැරැඹුම් ස්ථානයේ සිට දිය ඇල්ල බලන විට, ඉදිරියෙන්ම වැටකේදෙනිය කන්දත්, නුදුරින් රහලගලත් දිස් වෙයි. එහෙත්, අද වන විට ඇල්ල නැරැඹීමට තනා ඇති නැරැඹුම් මැදිරිය කැළෑ වැදී ඇති අතර, එය සෙවිලි කර ඇති තහඩු තැනින් තැන කැඩී ගොසිනි. මේ හේතුව නිසා අධික සුළං කාලවලදී හා වැසි දිනවලදී එහි සිටීම අවිනිශ්චිත වේ.

දිය ඇල්ල නැරැඹීමේ අනෙකුත් පිවිසුම වන්නේ, ගම්පොළ නගරයේ සිට ගමන් ගන්නා මඟයි .ගම්පොළ නගරයේ සිට කුරුඳුවත්ත නගරය දක්වා කිලෝමීටර් 8 ක් පමණ ගමන් කර, දොළොස්බාග පාරේ කිලෝමීටර් 4 ක් පමණ ගොස්, දකුණු පස පාර වන වැටකේදෙනිය හා උඩුවැල්ල මාර්ගයේ උඩුවැල්ල නගරයෙන්, අහුපිනි ඇල්ල බලා කිලෝමීටර් 2ක් පමණ යා යුතු වේ.බොහෝ දෙනකු සංචාරය කිරීම සඳහා පැමිණෙන්නේ, ගම්පොළ නගරයෙන් එන මාර්ගයෙනි. එයට හේතුව, වාහනයකින් පැමිණ ඇල්ල නැරැඹීමට ඒ අසලටම යා හැකි වීම ය.

කෑගල්ල සිට පැමිණෙන සංචාරකයන්ට, වාහනයකින් ඇල්ල සමීපයට යා නොහැකි ය.

එහෙත්, කුරුල්ලන්ගේ මිහිරී ගී අසමින්, පරිසරයේ සොබා සිරිය විඳිමින් ගමන් කිරීමට, එම මඟ තෝරා ගත් සංචාරකයන්ට හැකියාව ලැබේ. අහුපිනි ඇල්ල බලා ගමන් ගන්නා කුඩා අඩි පාර, සංචාරකයන්ගේ පැමිණීම නිසා ම හෙළි පෙහෙළි වී ඇත. එහි ගොස්, ඒ හා සමාන බොරළු පාරක් මතින් ද ගමන් කිරීමට ඔවුන්ට සිදුවේ. දිය ඇල්ල නෙත ගැටීමත් සමඟම , සිතට හා කයට දැනුණු ගමන් විඩාව පහව යයි.

දිය ඇල්ල පිහිටි පරිසරය ශීත දේශගුණ තත්ත්වයකින් යුක්ත ය. එයට හේතුව, මෙය මහනුවර දිස්ත්‍රික් මායිමේ උස කන්දක් වන නිසා විය හැකි ය. එහි යන විටම හාත් පස දක්නට ඇත්තේ, ශ්‍රී ලංකාවේ ප්‍රධාන ආර්ථික භෝගයක් වන තේ වගාව ය.

දිය ඇල්ල පිළිබඳ සොයා බැලීමේදී, ඒ වටා ගෙතුණු සුන්දර ජනප්‍රවාද රැසක් පවතී. ශ්‍රී ලංකාව පාලනය කළ වළගම්බා රජු අසු පන්නා එතෙර වූ නිසා, අසුපිනි ඇල්ල පසුව අහුපිනි වූ බවට මතයක් පවතී. රාවණා දිය ඇල්ල ලෙස නම් ලැබීමට ද ජනප්‍රවාදයේ විවිධ කථා පටබැඳී ඇත.රාවණා රජු රහලගල මාලිගයට යාමට අසු පිටින් එතෙර වූ බව තවත් මතවාදයකි. එපමණක් නොව, දිය ඇල්ලට පහළින් පිහිටි මිණිකඳ වළ පිළිබඳ ජනප්‍රවාදයේ සඳහන් වන්නේ, ප්‍රාදේශීය රජු කෙනකු අසු සමඟ දිය ඇල්ලෙන් පහළට පැන දිවි නසා ගත් බව ය. අදටත් එම ස්ථානය අතිශයින් ගැඹුරු වන අතර, බිලී ගැනීම් ද සිදුවන බව පැවසේ.

මේ දිය ඇල්ලේ ආරම්භය පිළිබඳව ද ගම් වැසියන් විවිධ කතා පවසයි. දන්තැල්ගොඩ ඔයෙහි පිහිටි දිය ඇල්ලත්, මහ ඔයෙන් ආරම්භ වන අහුපිනි දිය ඇල්ල අතරත් සමානකම් පවතී. මහ ඔයෙහි ආරම්භය සිදු වන්නේ ද අතීතයෙහි යක්ෂ හෝ රාක්ෂ ගෝත්‍රිකයන් සිටියේ යැයි කියැවෙන දොළොස්බාගයේ කඳු වැටියට අයත් රාක්ෂ අඩවියෙනි.

මේ දිය ඇල්ල නැරැඹීමට යන සංචාරකයන් තම ආරක්ෂාව සලසා ගැනීම වඩා වැදගත් ය.

නෑමට යාම අතිශයින් ම භයානක ය. මේ සුන්දර අහුපිනි ඇල්ල අද වන විට විනාශ මුඛයට පත් ව තිබේ. එයට හේතුව, සංචාරකයන් විසින් රැගෙන ආ සියල්ල , පරිසරය තුළ දමා යාම හේතුවෙනි. සොබාව ධර්මය නමැති මාතාව මෙය අපට දායාද කළේ, සුන්දරත්වය බැලීමට මිස, ඇය වසන එම පරිසරය විනාශ කිරීමට නොවේ. එබැවින්, ඔබ නරඹන සිරියාව අනාගත පරපුරටත් දැකබලා ගැනීමට එම පරිසරය ආරක්ෂා කිරීම, සංචාරකයකු ලෙස ඔබ සතු උත්තුංග වගකීමකි.

සටහන
ලක්මිණි ගාල්ලගේ 


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...