වහාම පළාත් පාලන මැතිවරණය පැවැත්විය යුතුයි - චම්පික | දිනමිණ

වහාම පළාත් පාලන මැතිවරණය පැවැත්විය යුතුයි - චම්පික

නව ව්‍යවස්ථාව මහා සම්මතයෙන් සම්මත විය යුතු බවත් වහාම පළාත් පාලන මැතිවරණය පැවැත්විය යුතු බවත් අමාත්‍ය පාඨලී චම්පික රණවක පවසයි.

ව්‍යවස්ථාවක් කියන්නේ රටේ ප‍්‍රධාන නීතිය, ඒ ව්‍යවස්ථාව මෙවර හදනවා නම් ඒක මහා සම්මතයෙන් සෑදිය යුතුයි. සියළුම දේශපාලන පක්ෂවල එකඟතාවයෙන් සෑදිය යුතුයි. ශ‍්‍රී ලංකා එකේ අදහස විතරයි, යූ.එන්.පී. ඒකේ අදහස විතරයි කියලා බැහැ. සෑම කෙනාගේම අදහස් එකට එකතු කරපු සාමූහික ප‍්‍රයත්නයක් විය යුතුයි, එය මහා සම්මතයක් විය යුතුයි. එසේ නොවන සෑම ව්‍යවස්ථාවක්ම ජනතාවට එරෙහි ව්‍යවස්ථාවක් හැටියට ප‍්‍රකාශ කළ යුතු යැයි අමාත්‍යවරයා පවසා සිටියේය.

මහානගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා මෙම අදහස් පළ කළේ, හෙළ තුරුණු සවිය මගින්  සංවිධානය කර තිබූ ටිබෙට් ජාතික එස්. මහින්ද හිමියන්ගේ 66 වන ගුණ සැමරුම සහ විශේෂ තරුණ හමුවට සහභාගී වෙමිනි. එම උත්සවය පානදුර මහලේකම් කාර්යාලයේදී පසුගියදා (19) පැවැත්වුණු අතර එම අවස්ථාවට බස්නාහිර පළාත් සභා මන්ත‍්‍රී නිශාන්ත ශ‍්‍රී වර්ණසිංහ, හෙළ තුරුණු සවියේ සභාපති කිංස්ලි පෙරේරා, ලේකම් තරිඳු දිලීප යන මහත්වරුන් ඇතුළු විශාල පිරිසක් සහභාගී වූහ. 

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා, ‘පානදුර අපේ ජාතික ඉතිහාසයේ, විශේෂයෙන්ම අපි බි‍්‍රතාන්‍යයන්ට යටත් උනාට පස්සේ අපට නිදහස ලබාගැනීමට ඉතාම වැදගත් මෙහෙවරක් කළ ස්ථානයක්. අපි දන්නවා අපේ ඉතිහාසයේ විශාල ජාතික වටිනාකමකින් යුතු සිදුවීම් ගණනාවක් සිද්ධ වෙච්ච ජය භූමියක් පානදුර. ඒ ස්ථානයෙන් ඒ වැදගත් දිනයේදී කළුතර දිස්ත‍්‍රික්කයේ හෙළතුරුණු සවිය ආරම්භ වීම සුභ කටයුත්තක් හැටියට අපි දකිනවා. අද විදේශීය භික්ෂූන් වහන්සේලා විශාල පිරිසක් මේ ලංකාවට එනවා. ඒ ප‍්‍රධාන වශයෙන්ම ධර්මය ඉගෙන ගැනීම සඳහා නමුත් අද අපේ රටේ වෙහෙර විහාරස්ථානවල තිබෙන භික්ෂු හිඟය සැලකිය යුතු මට්ටමකට අඩුවෙලා. ඒත් අඩුව පූර්ණය ඒ විදේශීය භික්ෂූන් වහන්සේලා නිසා බව සඳහන් කළේ ය.

අද සමහරු ටියුෂන් පන්තියේ ඉඳන් වෛද්‍ය පීඨය, විශ්වවිද්‍යාලය දක්වා පිහිටවන්නේ සල්ලි උපයන්න, ලාභ උපයන්න.    එදා ලාභය නෙමෙයි මුල් උනේ. පාරාර්ථය තමයි මුල් උනේ. ඒ සඳහා සමිති සමාගම් පිහිටවලා තමයි ඒ ආනන්ද විද්‍යාලය, විශාඛා විද්‍යාලය වැනි ආයතන එදා බෞද්ධ ප‍්‍රබෝධය යටතේ ඇති වුණේ. ඒක විශාල ආදර්ශයක් උනා. ඒ වගේම අපි කියන්න  ඕනේ කි‍්‍රස්තියානි පාසලූත් ඒ ආදර්ශය මත තමයි ගොඩනැගුණේ, ලාභ උපයන්න නෙමෙයි අධ්‍යාපනයේ නිම් වළලූ පුළුල්ව ඇත්තේ. ඒ වගේම සී.ඩබ්.ඩබ්. කන්නංගර මැතිතුමා අධ්‍යාපනය අපට පුළුල් කරලා දුන්නා නිදහස් අධ්‍යාපන ධාරාවක් හැටියට. ඒ නිසා තමයි අද අපි සියළු දෙනාම මෙතන හිටගෙන ඉන්නේ. අද සමහරුන්ට මේ නිදහස් අධ්‍යාපනයෙන් උඩට ගිහිල්ලා ඒකේ තියෙන ඒ අනුහස තේරෙන්නේ නැහැ. ඒකට පයින් ගහන්න උත්සාහ කරනවා. ඒකනිසා අපි අනාගතයේ දී අපේ බෞද්ධ භික්ෂූන් වහන්සේ තමයි මේ නිදහස් අධ්‍යාපනය අපට දිනා දීමට කටයුතු කළේ.

ඇමරිකා එක්සත් ජනපදයේ නිදහස් අධ්‍යාපනය, නිදහස් සෞඛ්‍ය සේවය කරන්න බැහැ. මොකද පොඩි ප‍්‍රශ්නයක් අහනවා. ඇයි මගේ සල්ලිවලින් මම බදු ගෙවලා ඇයි මම අනුන්ගේ ළමුන්ට උගන්වන්නේ, අනුන්ගේ සෞඛ්‍ය සේවාවන්වල බිල් ගෙවන්නේ කියලා.  ඕක තමයි ඇමරිකාවේ මිනිස්සු අහන ප‍්‍රශ්නේ. පහුගිය ජනාධිපතිවරණයේදී අහපු ප‍්‍රශ්නය ඒකයි. අපේ සල්ලිවලින් ඇයි අපි අනෙක් මිනිස්සුන්ට බෙහෙත් කරන්නෙ කියාල. මේ රටේ කිසිම මිනිහෙක් ඒ වගේ ප‍්‍රශ්න අහන්නේ නැහැ. හැමෝම එකඟතාවයක ඉන්නවා සෑම කෙනාටම නිදහස් සෞඛ්‍යත්, නිදහස් අධ්‍යාපනයත් ලබාදිය යුතුයි කියලා.  ඒකෙන් අපි විශාල සමාජ දර්ශකවලින් ගොඩක් ඉදිරියට ගිහින් තිබෙන බව ද අවධාරණය කළේ ය.

බුදුරජාණන් වහන්සේ, සැරියුත් මුගලන් වහන්සේට වඩා ලෙනින්ලා, ස්ටැලින්ලා, ට්‍රොස්කිලා ගැන දැනන් හිටපු යුගයක් තිබුණා අපේ රටේ තරුණ ව්‍යාපාරය තුළ.  ඒ මොකද මේ තරම් දුරට ඒ මාක්ස් වාදය විසින්  අපේ තරුණ කාලයෙත්,අපේ ජීවිත වලටත් විශාල බලපෑමක් එල්ල කරලා තිබුණා. මම රුසියාවට, පීටර්ස්බර්ග් නුවරට ගිය අවස්ථාවේ මම බැලූවා මේ ලෙනින්, ස්ටැලින්, ටොස්කි මොනවද ඒ ගොල්ලන්ට තිබෙන තැන කියලා. කිසිම සලකුණක් ඒ රටේ නැහැ. ලෙනින්ගේ තිබෙන එකම ප‍්‍රතිමාවටත් බොම්බ ප‍්‍රහාරයක් එල්ල කරලා එකෙනුත් භාගයක් කැඩිලා.  ඒ රටේ කිසිම කෙනෙක් ඒ අය ගැන කතා කරන්නේ නැහැ. කොමියුනිස්ට් පක්ෂයේ කිහිපදෙනෙක් ඇරෙන්න. නමුත් මේ රටේ තාමත් ඒ උමතුවෙන් හැසිරෙනවා. රතු තොප්පි ඇඳගෙන, රතු කමිස ඇඳගෙන උස් හඬින් චතුර කථිකත්වයෙන් කතා පවත්ව පවත්ව අහස් මාලිගා නිර්මාණය කරනවා. සමාජයවාදය දවසක එනවා, පන්ති නැති සමාජවාදයක් ඇතිවෙනවා. තරුණයිනි එක්වව් ඒ පන්ති විරහිත සමාජය හදන්න පෙළඹෙව් කියලා බොහෝම ලස්සන වචන හදනවා. ඒ වගේම අපි දන්නවා මව්බිම නැත්නම් මරණය කියලා විශාල පිරිසකට ආරාධනා කරනු ලැබුවා රට වෙනුවෙන් සටන් කරන්න කියලා. නමුත් බොහෝ නායකයෝ කෙළවර උනේ මේ රටේ නෙමෙයි පැරීසියේ. ඒක නිසා මේ අතීතයෙන් අපි අත්මිදිය යුතුයි. මේ රට හදන්න, ප‍්‍රායෝගිකව ගොඩනගන්න නම්, අහස් මාළිගා තැනීමෙන්, මනෝරාජික සිහින කතන්දර වලින්  අත්මිදෙන්න  ඕනේ .

අලූතෙන් ඇතිවෙන මේ ජාතික ව්‍යාපාරයේ ප‍්‍රබල කොටසක් තමයි මේ තරුණ ව්‍යාපාරය. ඒ තරුණ ව්‍යාපාරය තමයි අලූතෙන් හිතන්නේ. ඒ තරුණ ව්‍යාපාරය තමයි අලූතෙන් නිර්මාණය කරන්නේ. මේ රටේ අතීතයේ තිබු තේ, පොල්,රබර් ඊට පස්සේ ඇතිවෙච්ච ඇඟලූම් කාර්මාන්ත වෙනුවට අද ඉන්නවා අන්තර්ජාලයේ විසිදාහක්. ඒ අන්තර්ජාලයේ විසිදාහක් තරුණ ව්‍යාපාරික කර්මාන්ත කරුවෝ විසින් තමයි අද මේ රටට අලූතින් යමක් එකතු කරලා තිබෙන්නේ අපනයනය පැත්තෙන්. ඒ කියන්නේ ඒ අන්තර්ජාලයේ සේවාවිකිණීමෙන් අද විසිදාහක් තරුණයෝ ජීවත් වෙනවා. ඒගොල්ලෝ ව්‍යාරිකයෝ හැමතැනම. ඒගොල්ලො  තමයි අර තේ, පොල්, රබර් ආර්ථිකය වෙනුවට අලූත් ආර්ථිකයක් රටට ගෙනල්ලා තිබෙන්නේ. අපි බලාපොරොත්තු වෙනවා මේ රට 2020 වෙනකොට තේ, පොල්, රබර්, ඇඟලූම් වෙනුවට අන්තර් ජාලයේ සේවා විකුණන ශක්තිමත් උගත් තරුණ පරම්පාරවක් සිටින ඔදවත් තෙදවත් රටක් බවට අපි පරිවර්ථනය විය යුතුයි.

ඒ වගේම මේක පොදු අවස්ථාවක් නිසත්, අපේ ස්වාමීන් වහන්සේලා වැඩ ඉන්න නිසත්, මේ රටේ බයක් තිබෙනවා. රණවිරුවෝ පාවා දෙනවා, කොටි නිදහස් වෙනවා කොටි උතුරේ බලවත් වෙනවා කියලා, ව්‍යවස්ථාවක් හැදෙනවා කියලා. මම මතක් කරන්න  ඕනේ අපේ හැඩිගල්ලේ විමලසාර හාමුදුරුවෝ මෙතන වැඩඉන්නවා. 2000 වසරේ මහින්ද රාජපක්ෂ - චන්ද්‍රිකා ආණ්ඩුව එදා ෆෙඩරල් ව්‍යවස්ථාව ගෙනාපු වෙලාවේ අද ඔය ෆෙඩරල්වාදයට විරුද්ධව කෑමොර දෙන කවුරුවත් හිටියේ නැහැ. අපේ හාමුදුරුවෝ තමයි මියෙම්වා රැකෙම්වා කියලා රට වෙනුවෙන් ඒ උපවාසය ආරම්භ කරලා කිසිම පාර්ලිමේන්තු ඡන්දයක් නැතිව පාර්ලිමේන්තුවේ ඒක අතුගාලා දාන්න මහජන බලවේගයක් මේ රටතුළ නිර්මාණය කළේ. ඒ ඒකීයභාවය ගැන කතා කරන්න බයවෙලා හිටියේ. ඒ බයවෙලා හිටපු රටට ඒකීය භාවය කියලා දුන්නේ අපි. මහින්ද මහත්මයා අපිත් එක්ක ගිවිසුමක් අත්සන් කළා එදා රටේ ඒකීයභාවය ආරක්‍ෂා කරනවා කියලා. එතුමා බයෙන් හිටියා මේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනය පක්ෂයේ නයිකා චන්ද්‍රිකා කුමාරතුංග මැතිණියට පෙන්වන්න. මොකද ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප‍්‍රතිපත්තිය ෆෙඩරල්වාදය. ජනතා විමුක්ති පෙරමුණත් ගිවිසුමක් අත්සන් කරලා තිබුණා 2004.හැබැයි බැරි උනා  ඒකීය භාවය ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයට ගෙනයන්න.  අපි තමයි ඒ කටයුත්ත කළේ. කරලා ඒ 2005 ඒ ජයග‍්‍රහණය ලබාදුන්නේ.  ඒ නිසා මේ රටේ ඒකීයභාවය ගැන බොරුවට බුරන සියළු දෙනාටම අපි කියන්නේ මේ රටේ ඒකීය භාවය අපට අවශ්‍ය මේ රටේ ස්වාධිනත්වය වෙනුවෙන්. ඒ ස්ථාවරත්වය කිසිම ආකාරයකට බිඳ දමන්න අපි ඉඩ තබන්නේ නැහැ.

ස්වාධින කොමිසන් සභා හැදුවා, අද ඔය කවුරුවත් අහනවද මොකද ඒ ස්වාධින කොමිසන් සභාවලට වෙලා තියෙන්නේ කියලා. මැතිවරණ කොමිසමක් හැදුවා, මැතිවරණ පනත වෙනස් කරලා නැහැ. ඒ වගේම අපි හැදුවා විගණන කොමිසමක්, විගණන පනත වෙනස් කරලා නැහැ. ඒ වගේම ප්‍රොකියූමන්ට් කොමිෂන් එකක් හැදුවා ඒකට අදාල අනපනත් වෙනස්කරලා නැහැ. තාම 2006 ගැසට් එක තියෙන්නේ. කිසිම රාජ්‍ය ආයතනයක මිලදී ගැනීමක් කරන්න  හැකියාවක් නැහැ.  මේ කරපු ටිකවත් තර්කාන්විත අවසානයකට ගෙනිහිල්ලා නැහැ. ඒ වගේම පළාත් පාලන ඡන්ද ක‍්‍රමය වෙනස් කළා, හැබැයි දැන් අවුරුදු ගාණක් වෙනවා තවමත් පළාත් පාලන ආයතනවල ඡුන්ද නැහැ. දැන් මේ කඹඇදිල්ල ඇති, ජනතාවට ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතිය  ඕනේ. පරණ අනුපාත ක‍්‍රමය වේවා, කොට්ඨාශ ක‍්‍රමය වේවා මොන ක‍්‍රමයෙන් හරි කඹ ඇද ඇද ඉන්නේ නැතිව වාහාම පළාත් පාලන මැතිවරණය තැබිය යුතුයි. මේ රටේ ජනතාවගේ ප‍්‍රජාතාන්ත‍්‍රික අයිතිය වංගු ගගහා විවිධ ආකාරවලින්  හෝ උදුරා ගන්න එක ඉතාම නිර්ධය වරදක්. මොකද මේ රට කැරළි කිහිපයක් ගහපු රටක්, ලේ වගුරවපු රටක්. මේ රටට වහාම  ප‍්‍රජාතන්ත‍්‍රවාදය  ඕනේ. මේ ක‍්‍රමය හොඳද නරකද කියලා හොය හොය ඉන්න එක නෙමෙයි, ප‍්‍රධාන දේ නතර කරලා තිබෙනවා, මොකක්ද ඡුන්දය නතර කරලා තියෙනවා. ඒ නිසා වහාම පළාත් පාලන ඡන්දය පැවැත්විය යුතු’යැයි අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

නව අදහස දක්වන්න