දියේ ගිලෙන වටිනා ජීවිත ! | දිනමිණ

දියේ ගිලෙන වටිනා ජීවිත !

මේ වසර ආරම්භයේ සිට අද දක්වා දියේ ගිලීමෙන් සිදු වූ මරණ සංඛ්‍යාව තිහකට අධික යැයි කියන්නට පුළුවන. ඒ ජන මාධ්‍ය ඔස්සේ වාර්තා වූ මරණ සංඛ්‍යාව පමණි. එලෙස වාර්තා නො වූ මරණ ද තිබෙන්නට පුළුවන. මේ සෑම මරණයක් ම අකාලයේ සිදු වූ විනාශයක් හැටියට හඳුන්වන්නට පුළුවන. තවත් අතෙකින් බලන විට දිය රකුසාට ගොදුරු වී ඇත්තේ තරුණ ජිවිත ය. ඒ අනුව රටට හා අනාගතයට බරපතළ පාඩුවක් සිදුවන බව ද පෙනෙන්නට තිබේ. දියේ ගිලීමෙන් සිදුවන සියලු ම මරණ දෙස බල විට ඉදිරිපත් කළ හැකි පොදු සාධකය වන්නේ නොසැලකිල්ල හා අපරීක්ෂාව එතැන තිබෙන බව ය.

අලුත්ම මරණය වාර්තා වන්නේ කටුගස්තොට ප්‍රදේශයෙන් ය. මහවැලි ගඟෙහි දිය නෑමට ගිය පාසල් දරුවකු දිය රකුසාට බිලි වී ඇත. ඔහුගේ වය අවුරුදු පහළොවක් පමණ වෙතැ‘යි ද වාර්තා වී ඇත. මේ දරුවා ‘බිග්මැච්‘ එකට සහභාගී වන බව කියා ගෙදරින් පිට වී ඇත. එහෙත් ඔහු ක්‍රීඩා පිටියට ගොස් නැත. ඔවුන් කාණ්ඩ ගැසී මහවැලියේ නාන්නට ගොස් තිබේ. මාපියන් කිසිවක් දන්නේ නැත. පාසලේ ගුරුවරුන් ද මේ වගක් දන්නේ නැත. පිරිස නෑමට තෝරාගෙන ඇත්තේ ගඟෙහි බිහිසුණු ම ස්ථානයකි. දිය නෑමට නුසුදුසු බවට දැන්වීම් පුවරු පවා එහි ප්‍රදර්ශනය කර තිබේ. එහෙත් හිතුවක්කාරී දරුවන් ඒ කිසිවක් ගණනකට ගෙන නැත.

පාසල් යන දරුවන් ගැන අප කතා කරන්නේ දීර්ඝ කාලයක සිට ය. එක අතෙකින් මේ දරුවන්ට ස්වයං විනයක් තිබිය යුතු ය. තව අතෙකින් අපේ වැඩිහිටියන් දරුවන් ගැන මීට වඩා අවධානයකින් පසුවිය යුතු ය.

සමහර දරුවෝ හවස පන්ති කියා අනතුරුදායක ගමන්වල යෙදෙති. තව දරුවෝ ක්‍රීඩා උත්සව යැයි කියා ප්‍රේම කිරීම සඳහා මල්වතුවලට හා වෙනත් ස්ථානවලට යති. තවත් දරුවෝ ගෙදරට බොරු කියා මත්පැන් - මත්ද්‍රව්‍ය ආදිය පාවිච්චි කිරීම සඳහා ගුම්බෑයම්වලට යති. මේ සෑම දෙයක් ම එක සේ භයානක ය. පාසල් දරුවන් කිහිප දෙනකුට එච්. අයි. වී ආසාදනය වී තිබීම දැන් මුළු රට ම දනිති. දරුවන් මේ තත්ත්වයට පොළඹවාගෙන ඇත්තේ අතරමැදියෙකි.

රටේ දරුවන් සම්බන්ධයෙන් අවධානය යොමු කරන විට බරපතළ අවදානමක් ඔවුන් ඉදිරිපිට ඇති බව ඉතා පැහැදිලි ය. බොහෝ විට මේවාට ගොදුරු වන්නේ වැඩි නිදහසක් භුක්ති විඳින එලෙස ම ස්වයං විනයක් නැති දරුවන් යැයි කියන්නට පුළුවන. පාසල් කාලය තුළ ද, පාසලේ සිට නිවෙසට එන කාලය තුළ ද දරුවා පිළිපැදිය යුතු නීති හා රීති සමූහයක් තිබිය යුතු ය.

ඒවා අකුරටම ක්‍රියාත්මක වන්නේ දැ යි සොයා බැලිය හැකි ක්‍රමවේදයක් ද ඇති කළ යුතු ය. මේ සම්බන්ධයෙන් පාසල හා නිවස අතර සම්බන්ධතාවක් ද පැවැතිය යුතු ය. පාසල් යන දරුවන් ගැන එක අතෙකින් ගුරුවරුන් වගකිව යුතු ය. අනෙක් අතින් මාපියන් වගකිව යුතු ය.

මීට දසක තුන - හතරකට පෙර රටේ ප්‍රධාන පාසල්වල සිසුන් ‘පන්ති කට්‘ කර චිත්‍රපට බලන්නට ගිය බව කව්රුත් දනිති. එදා ඊට වැඩි දෙයක් වාර්තා වූයේ නැති තරම් ය. චිත්‍රපට බැලීම නරක දෙයක් නොවේ. එහෙත් පාසල් කාලය තුළ සිසුන්ට චිත්‍රපට ශාලාවලට යෑම තහනම් ය. මෙසේ ‘පන්ති කට්‘ කර චිත්‍රපට ශාලාවලට යන අය ඇල්ලීම සඳහා විදුහල්පතිවරු අපූරු ක්‍රමයක් යෙදූහ. එනම්; චිත්‍රපට ශාලාවලට ගුරු මණ්ඩලයේ කිහිප දෙනෙකු යැවීම ය. මේ ක්‍රමය නිසා ‘පන්ති කට්‘ කර චිත්‍රපට නැරඹීම අවසන් විය.

අද තත්ත්වය ඊට වඩා සංකීර්ණ ය. දැන් විදුහල්පතිවරුන්ට ප්‍රශ්න වැඩි ය. ඒ නිසා සිසුන් ගැන සොයන්නට ඇති කාලය ද අඩු ය. මේ තත්ත්වය අප පිළිගත යුතු ය. ඒ අනුව කළ යුත්තේ ස්වයං විනයක් ශිෂ්‍ය ප්‍රජාව තුළ ගොඩනැඟීම යැයි කියන්නට පුළුවන. ඒ - ඒ පාසල් මේ සඳහා උනන්දු වන්නේ නම් එය කළ හැකි ය යනු අපගේ විශ්වාස යයි.

දියේ ගිලී මිය යෑම සම්බන්ධයෙන් නැවත අවධානය යොමු කළහොත්; නාච්චිමලේ ප්‍රදේශයේ දී එකවර තිදෙනෙක් ජල රකුසාට බිලි වූහ. තරුණ ජීවිත තුනක් රටට අහිමි වූ අතර එය සැලැකිය හැක්කේ ඛේදවාචකයක් හැටියට ය.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන ඇතමකුගේ මතය වි ඇත්තේ සමහරුන් බීමත් ව ජලයට පනින බව ය. එය බෙහෙවින් අනතුරුදායක බව ඔවුන් දන්නේ නැත. මේ අයුරින් ම ගම්පහ ප්‍රදේශයේ කැටවල ව්‍යාපාරයට අයත් අමුණක් ළඟ දී තවත් දෙදෙනෙක් ජල රකුසාට බිලි වූහ. ඔවුන් ආයුර්වේද විදුහලේ සිසුන් බව ද කියති. බොහෝ දෙනා විනෝද වීම සඳහා ජලයට පනිති. ජල ක්‍රීඩාව අතීතයේ පටන් පැවැත එන චාරිත්‍රයකි. එහෙත් එය කළ යුත්තේ පියවි සිහියෙන් යුතුව පරෙස්සමට ය.

ජල රකුසාට බිලිවන බොහෝ දෙනකුට හොඳින් පිහිනීමට නොහැකි බව පෙනී ගොස් ඇති සත්‍යයෙකි. පිහිනීමට නොදත් අග ගංගාවලට පැනීමේ දී ආරක්ෂාකාරී පියවර අනුගමනය කළ යුතු ය. නැතහොත් සුදුසු තැනක පමණක් ජල ක්‍රීඩාව කළ යුතු ය. පිහිනීමට් නො දන්නා සමහරුන් වැඩ පෙන්නීමට යන අවස්ථා තිබේ. මේ අය බීමත් ව සිටින්නේ නම්; තත්ත්වය වඩාත් භයානක වනු ඇත. කොයි හැටි වු ව අපේ පාසල් දරුවන් ට පිහිනීමට ඉගැන්වීම ඉතා වැදගත් ය.

ඒ සඳහා සෑම පාසලකට ම පහසුකම් නැති බව සැබෑවකි. එහෙත් සම්පත් හුවමාරු කර ගනිමින් හෝ මේ කාර්යය ඉටු කරන්නේ නම් වැදගත් යැයි අපට සිතේ.

කොයි අතින් බැලුව ද තරුණ ජීවිත අකාලයේ විනාශ වීම රටට බලවත් පාඩුවකි. පාසල් දරුවන් අකාලයේ මිය ගිය විට ඔවුන්ගේ මාපියන් නඟන විලාපය අපට හොඳ හැටි හුරුපුරුදු ය. වැඩිහිටියන්ගේ අපේක්ෂා මේ මගින් සමතලා වෙයි. මේ ගැන අපේ සමාජයේ ද අවධානය යොමු විය යුතුය. අකාලයේ මිය යන්නේ අපේ ම දරුවන් යැයි කල්පනා කිරීම වැදගත් ය.

දරුවන්ට කරුණු කියාදීම සඳහා පාසල, ගෙදර පමණක් නොව; සමාජය ද ඉදිරිපත් විය යුතු යැයි අපට සිතේ. සමාජය ඉදිරිපත් වී කරුණු කියා දෙන විට තරුණ පරපුරට එය මඟ හැර යා නො හැකි ය. අපේ තරුණ දූ පුතුන්ට අධ්‍යාපනය, හැකියා ව පමණක් නොව; ස්වයං විනය ද ලබා දිය යුතු ය.


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...