ඔබ්සර්වර් වසරේ ක්‍රීඩකයා සම්මාන දිනූ දෙදෙනෙක් ගාලු ටෙස්ට් ජයට උර දෙති

ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී නිමාවට පත්වූ බංග්ලාදේශයට එරෙහි පළමු ටෙස්ට් තරගයෙන් ශ්‍රී ලංකාවට පහසු ජයක් අත්වෙද්දී ඔබ්සර්වර් වසරේ පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා සම්මානයෙන් පිදුම් ලැබූ ක්‍රිකට් තරු යුවළකට ද ඒ ජයග්‍රහණයේ සතුට විඳගැනීමේ අවස්ථාව හිමිවිය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නව ක්‍රිකට් කළමනාකරු අසංක ගුරුසිංහටත්, ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ යොවුන් පිතිකරු කුසල් මෙන්ඩිස්ටත් ගාල්ලේ ටෙස්ට් තරගයේ ජයග්‍රහණය අතිශය ප්‍රීතිමත් මතක සටහනක් වනු ඇත.

වසර 1985 දී ඔබ්සර්වර් වසරේ පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා සම්මානය දිනාගත් අසංක ගුරුසිංහ 1996 ලෝක කුසලාන තරගාවලියේ වීරයකු බවට පත්වූ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ක්‍රිකට් කළමනාකරු ලෙස පත්වීම ලැබූ විගසම ජයග්‍රහණයක සතුට භුක්ති විඳීමට හැකිවී තිබිණි.

දීර්ඝ ඉනිමක් ක්‍රීඩා කරමින් ලකුණු 194ක් රැස් කිරීමට සමත්වූ කුසල් මෙන්ඩිස් ද ඔබ්සර්වර් වසරේ පාසල් ක්‍රිකට් ක්‍රීඩකයාට හිමි කුසලානය අත්පත් කරගැනීමේ භාග්‍ය ලැබූ පිතිකරුවෙකි.

මීට දශක දෙකකට පෙර ගුරුසිංහ ජාතික ක්‍රිකට් පිලේ ක්‍රීඩා කළ ස්ථානයම කුසල් මෙන්ඩිස් වත්මන් කණ්ඩායමේ ක්‍රීඩා කිරීම එක්තරා අන්දමක දෛවෝපගත සිදුවීමකි.

90 දශකයේ මුල් භාගයේ දී අංක 3 ස්ථානයේ ක්‍රීඩා කරමින් ශ්‍රී ලංකා පිලේ විශාල වගකීමක් කරපින්නා ගත් ගුරුසිංහ සිය දායකත්වය විශිෂ්ට අන්දමින් කණ්ඩායමට ලබා දුන්නේය. දශක දෙකකට පසුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ක්‍රිකට් කළමනාකරු ලෙස සේවය කිරීමට ගුරුසිංහ මෙරටට පැමිණෙද්දී කුමාර් සංගක්කාරගේ විශ්‍රාම ගැනීමෙන් පසුව පුරප්පාඩු වූ ශ්‍රී ලංකා පිලේ අංක 3 ස්ථානය කුසල් මෙන්ඩිස් අත්පත් කරගෙන හමාරය.

2013 දී ඔබ්සර්වර් වසරේ පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා සම්මානයෙන් පිදුම් ලැබූ කුසල් මෙන්ඩිස් වර්තමානයේ ශ්‍රී ලංකා පිලේ ප්‍රබලතම පිතිකරුවෙකි. මොරටුව වේල්ස් කුමාර විදුහලෙන් බිහිවූ කුසල්ගේ පාසල් දිවියේ විශිෂ්ටතම මතක සටහන මීට වසර 4කට පෙර ලැබුණු ඔබ්සර්වර් මොබිටෙල් වසරේ පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා සම්මානයයි.


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...