අවසන් අවස්ථාව!

ව්‍යවස්ථා සම්පාදනය විහිළුවක් නොවේ. එය හුදු ජනප්‍රිය දේශපාලන ක්‍රියාමාර්ගයක් ද නොවේ. ව්‍යවස්ථා සම්පාදනය යනු රටේ මූලික අවශ්‍යතාවකි. ඒ අනුව රටේ අනාගතය පිළිබඳ සාධක තීරණය වන්නේ යැයි සිතන්නට පුළුවන. අවාසනාවකට මෙන් අපේ දේශපාලන පක්ෂ මේ තත්ත්වය ගැඹුරින් වටහාගෙන ඇති බවක් පෙනෙන්නට නැත. ඒ අනුව අපට දකින්නට ලැබෙන්නේ ව්‍යවස්ථා සංශෝධනය යන මාතෘකාව පෙරටුකොට ඇතිවන විහිළු ජවනිකා පමණි. එහෙත් එය වෙනස් කළ යුතු ය. රට ඉදිරි පිම්මක් කරා මෙහෙයැවීමට නම් ව්‍යවස්ථා සංශෝධනයක් අවශ්‍ය වේ.

අපේ රටේ ඇති මූලික ප්‍රශ්න කිහිපයක් සඳහන් කරන්නට කැමැත්තෙමු. පළමුව කිව යුත්තේ ජනවාර්ගික සංහිඳියාව සඳහා වූ ශක්තිමත් නීතිමය රාමුවක් අපට නැති බව ය. දෙවනුව කිව යුත්තේ ස්ථිරසාර ශක්තිමත් ආර්ථිකයක් ගොඩනැගීම සඳහා අවශ්‍ය ප්‍රතිපාදන අප ළඟ නැති බවය. තෙවනුව කිව යුත්තේ පිරිහීගෙන යන සමාජ ක්‍රමය නැවත සාධනීය ලෙස ගොඩනැඟීම සඳහා ක්‍රමවේදයක් ද අප ළඟ නැති බව ය. මේවා විග්‍රහ කරගෙන යන විට පෙනී යන වැදගත්ම කාරණය වන්නේ අප මුලින් පටන්ගෙන අත්තිවාරමේ සිට ඉදිරියට යා යුතු බව ය. ඒ සඳහා ගත යුතු හොඳම උපාය මාර්ගය වන්නේ නව ව්‍යවස්ථාවක් ඇති කිරීම ය.

රටකට ව්‍යවස්ථාවක් වැදගත් වන්නේ ඇයි? ව්‍යවස්ථා රාමුවෙන් තොරව රටේ තීන්දු ගැනීම කළ නො හැකි ය. එම රාමුව අතහැර පිටරට සමඟ සම්බන්ධතා ගොඩනැඟිය නොහැකි ය. අපට පළමුව ප්‍රතිපත්තියක් හා වැඩසටහනක් තිබිය යුතුය. එම ප්‍රතිපත්ති හා වැඩසටහන් ක්‍රියාත්මක කළ හැකි පසුබිමක් ද දෙවනුව තිබිය යුතුය. ව්‍යවස්ථා සම්පාදනයේදී මෑත කාලීන සාර්ථක මෙහෙයුම් අපට තිබේ. කොටින්ම පැරණි මතවාද හා පැරැණි ආකල්ප තවදුරටත් ඉදිරියට ගෙන යෑමට මේ ආණ්ඩුව උත්සුක වන්නේ නැත. එය වගකීමෙන් යුතුව ප්‍රකාශයට පත්කළ හැකිය.

1987 දී පළාත් සභා ක්‍රමය ශ්‍රී ලංකාවට හඳුන්වා දෙන ලද්දේ ඉන්දියාවේ බලපෑම් මත ය. එය පිළිගැනීමට ශ්‍රී ලංකා රජයට සිදුවිය. මේ වනවිට එම ක්‍රමයේ සම්පූර්ණ අසාර්ථකත්වය හෙළිදරව් වී තිබේ. පුවත්පත් මගින් හෙළිදරව් කරන ඇතැම් වැදගත් ප්‍රවෘත්තිවලින් ද එය සනාථ වේ. ඊට විසැඳුමක් සපයාගත යුතු ය. ඉන්දියාව, බංගලිදේශය, පාකිස්ථානය, නේපාලය වැනි රටවල් ද මීට සමාන දේශපාලන අර්බුදවලට මුහුණ දී සිටී. එය නොවැළැක්විය හැකි තත්ත්වයකි.

නව ව්‍යවස්ථාවක් ගැන සංවාදය ආරම්භ වෙත්ම දේශපාලකයා පිළිබඳ විවේචනය ඉතා හොඳින් ඉහළට නඟී. අපට කිසිදු මහජන නියෝජිතයකු අපහසුතාවට පත් කිරීමේ වුවමනාවක් නැත.

1932 දී සුද්දා ශ්‍රී ලාංකිකයනට ඩොනමෝර් දේශපාලන ක්‍රමය හඳුන්වා දෙනු ලැබී ය. එහෙත් රටේ සාමාන්‍ය ජනතාවට එය දැනුනේ නැත. 1947 දී සෝල්බරි කොමිෂන් සභාව කරළියට පැමිණියේ ය. 1972 දී සිදු කළ සංශෝධනවල මූලික අර්ථය වූයේ මහජනයාට ඒ සම්බන්ධයෙන් කිසිදු දැනුම්වත් කියැවීමක් නොලැබුණු බවය. මේ ගැනද අප සොයා බැලිය යුතුය.

ව්‍යවස්ථා සම්පාදනයක අවශ්‍යතාව දීර්ඝ කාලයක සිට තිබූ බව දේශපාලන ඉතිහාසය විමසන විට පැහැදිලි වෙයි. එහෙත් රටේ කිසිදු දේශපාලන පක්ෂයකට හෝ නායකයකුට හෝ අවංක ලෙස මේ පරිවර්තනය කිරීමේ වුවමනාවක් තිබූ බවක් පෙනෙන්නට නැත. ඒ සඳහා ඉතිහාසයෙන් ඕනෑ තරම් සාධක උපුටා දැක්විය හැකි ය. නූතන දේශපාලන වපසරිය ගතහොත් එහි දකින්නට ලැබෙන්නේ ඉතා සාධනීය තත්ත්වයකි. නිදසුනක් ගතහොත් උතුරේ දෙමළ දේශපාලන නායකයන් අද පෙඩරල් ගැන කතා කරන්නේ නැත. දකුණේ ඇතැම් නායකයන් සිංහල ජාතිවාදය හා ආගම්වාදය ප්‍රතික්‍ෂේප කරන තැනකටද ගොස් තිබේ. මෙය හොඳ දේශපාලන පසුබිමකි.

මෙය අවසන් අවස්ථාව ලෙස සැලැකීමෙහි වරදක් නැත. ඒ බව දේශපාලකයන් මෙන්ම සාමාන්‍ය ජනතාව ද වටහා ගත යුතුය.

රටකට ව්‍යවස්ථාවක් අවශ්‍ය වන්නේ එම රටේ දේශපාලනය, ආර්ථිකය, නීතිය, සමාජ ක්‍රමය ඇතුළු තවත් බොහෝ සංකල්පීය දේවල් ක්‍රියාත්මකභාවයට නැංවීම සඳහා ය. ලෝකයේ දියුණුම රටවල් තමන්ගේ දේශපාලනය හා ආර්ථිකය හැසිරවීම සඳහා නිර්මාණය කරගත් අර්ථ සම්පන්න ව්‍යවස්ථා තිබේ. ව්‍යවස්ථාව යනු නීතිමය රාමුවකි. එහි ඇත්තේ වගන්ති රාශියකි. එම වගන්ති සමාජයේ ක්‍රියාකාරිත්වයට මෙන්ම අනාගතයට ද සම්බන්ධ ය. මහා බ්‍රිතාන්‍යයේ ලිඛිත ව්‍යවස්ථාවක් නැතත් නීති පිළිපැදීම හා සම්මතයට ගරු කිරීම අකුරටම සිදුවෙයි. ඒ නිසාම මහා බ්‍රිතාන්‍ය තුළ සදාචාරයෙන් යුතු සමාජ ක්‍රමයක් තිබේ. ශ්‍රී ලංකාවටද අවශ්‍ය වන්නේ දියුණු සමාජ ක්‍රමයකි. එය ඇති කළ හැකි හොඳම උපාය මාර්ගය වන්නේ ව්‍යවස්ථා සංශෝධනයකට යෑමය.

මෙවර ව්‍යවස්ථා සංශෝධනයේ කැපී පෙනෙන ප්‍රජාතන්ත්‍රීය ලක්ෂණයක් තිබේ. එනම්; ව්‍යවස්ථා සම්පාදනය සඳහා ජනතාවගේ සහභාගිත්වය ලබා ගැනීම ය. ජනතා සහභාගීත්වය ලබාගත් ව්‍යවස්ථා සම්පාදනයක් කිසිදිනෙක පරාජය කරා ගමන් කරන්නේ නැත. 


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 11 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.

Or log in with...