සහ­න­දායී මවු­පිය නිවාඩු ක්‍රම­වේ­දය ඇම­රි­කා­වට යහ­පත් ලෙස බලපා ඇත්ද?

හසිත කැකුලාවල

අලුත ඉපදුනු දරුවන් සහිත සියලු මව්වරුන් සඳහා සති ගණන් වැටුප් සහිත නිවාඩු ලබා දීම සඳහා ඇමරිකානු සමාගම් රැසක් පසුගිය වසර කිහිපය තුළ බෙහෙවින් උත්සුක විය. කෙසේ වෙතත්, එම ප්‍ර වණතාව ඇමරිකානු ආර්ථිකයේ ක්ෂේත්‍ර කිහිපයකට පමණක් සීමා වී ඇති බව පෙනේ. ඒ වෙනුවට, පසුගිය දශක කිහිපය පුරා බොහෝ සමාගම් සේවක නිවාඩු කප්පාදු කිරීමට කටයුතු කර තිබේ.

මෑත කාලීනව කම්කරු වෙළෙඳපොළ සීමා වීමේ තත්ත්වයක් තුළ ගූගල්, නෙට්ෆ්ලික්ස්, ඇමරිකන් එක්ස්ප්‍රස් වැනි දැවැන්ත සමාගම් සිය සේවක නිවාඩු ප්‍රතිපත්ති පුළුල් කිරීමට කටයුතු කළේය. ගූගල් සමාගම 2017 වසරේදී මාතෘ නිවාඩු සති 12 සිට සති 18 දක්වා වැඩි කිරීමෙන් අනතුරුව ගැබිණි මවුවරුන් සමාගම අතහැර යාම ප්‍රතිශතය 50% කින් අඩු විය.

එතැන් පටන්, එතෙක් කාර්යමණ්ඩල සාමාජිකයන් බඳවා ගැනීම සහ ඔවුන් සමාගම තුළ රඳවා තබා ගැනීම තුළ අර්බුදයකට ලක්ව සිටි සමාගම් ද වඩාත් සහනදායී නිවාඩු ලබා දීමේ ක්‍රමවේදයක් තුළින් සිය පාඩු පියවා ගත හැකි බව අවබෝධ කර ගත්හ.

එහෙත්, දරුවන් ලැබුණු දෙමාපියන් හට කිසියම් වේතනයක් ලබා දෙන සමාගම් ප්‍රමාණය පසුගිය දශකය තුළ 46% සිට 58% දක්වා වර්ධනය වී ඇතත්, බොහෝ සමාගම් නිවාඩු දීර්ඝ කිරීමේ ක්‍රමවේදය වෙනුවට තාවකාලික අබාධිත රක්ෂණාවරණ වැනි වෙනත් සහන ලබා දීමේ ක්‍රමවේදයක් අනුගමනය කරන බව පෙනී යයි. ගැටලුව නම්, තාවකාලික අබාධිත රක්ෂණාවරණයක් මගින් නව පියවරුන් හෝ කාන්තාවන් හෝ දරුකමට දරුවන් හදාවඩා ගන්නා දෙමාපියන් අයත් නොවන බැවින් එම රක්ෂණය මගින් ආවරණය කෙරෙනුයේ ශ්‍රම බලකායේ ඉතා සීමිත ප්‍රමාණයකි.

ඇමරිකාවේ 1993 දරන පවුල් සහ වෛද්‍ය නිවාඩු පනතට අනුව ද, කාර්යමණ්ඩල සාමාජිකයන් 50 ට වැඩි ඕනෑම සමාගමක් අවම වශයෙන් සති 12ක කාලයක් ගෙවීම් රහිත නිවාඩු නව දෙමාපියන් හට ලබා දිය යුතුය. 2005 වසරේදී එම පනතට අනුකූල වූ සමාගම් ප්‍රමාණය 73% ක් වූ අතර මේවන විට එම ප්‍රතිශතය 93%ක් දක්වා වර්ධනය වී ඇත. ඒ අනුව, ඇමරිකාවේ ප්‍රමුඛ පෙළේ සමාගම් අනුගමනය කළ වැටුප් සහිත නිවාඩු දීර්ඝ කිරීමේ ක්රඒමවේදය එරට බහුතර සමාගම් අනුගමනය කිරීමට මැලිකමක් දක්වන බව පෙනේ.

වැටුප් සහිත නිවාඩු සඳහා ඇමරිකාව තුළ වෙනම ෆෙඩරල් නීතියක් නොමැත. මේ පිළිබඳ අවධානය යොමු කළ ඇමරිකාවේ වත්මන් ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්, නව මවුවරුන් සඳහා සති හයක අර්ධ වැටුප් සහිත නිවාඩු ලබා දීම සිය ඉලක්කය බව පසුගිය ජනාධිපතිවරණ සමයේදී ප්‍රකාෂ කළේය.

මේ අතර ඉන්දීය පාර්ලිමේන්තුව, මෙතෙක් සති 12ක්ව තිබූ වැටුප් සහිත මාතෘ නිවාඩු ප්‍රමාණය සති 26ක් දක්වා වැඩි කිරීම සඳහා නව නීතියක් පසුගියදා අනුමත කළේය. එම නිවාඩු ක්‍රියාදාමය දෙවැනි වන්නේ කැනඩාව සහ නොර්වේ රාජ්‍ය යන්හි නිවාඩු ක්‍රමයට පමණක් වීම විශේෂත්වයකි. ඇමරිකාව මාතෘ සහ දෙමාපිය නිවාඩු ලබා දීමේ ක්‍රමවේදය වැඩිදියුණු කිරීම පිළිබඳ තවමත් නිශ්චිත තීරණයකට එළඹීමට නොහැකිව සිටින තත්ත්වයක් තුළ ඉන්දියාව සිය මව්වරුන් සඳහා ලබා දෙන නිවාඩු දෙගුණයකට ද වඩා වැඩි කිරීමට පියවර ගැනීම ඇමරිකානු කම්කරු ප්‍රතිපත්තියට එල්ල කළ අභියෝගයක් බව සඳහන් කළ හැකිය.

 


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
4 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.

Or log in with...