මහ බැංකු හිටපු අධිපතිවරුන් දෙදෙනකු පර්පෙචුවල් ලොක්කන් සමඟ ඥාති සබඳතා | දිනමිණ

මහ බැංකු හිටපු අධිපතිවරුන් දෙදෙනකු පර්පෙචුවල් ලොක්කන් සමඟ ඥාති සබඳතා

ගුණරත්න රාමනායක
කමනි අල්විස්

ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපතිවරුන් දෙදෙනෙකු හා පර්පෙචුවල් සමාගම් සමූහයේ අධ්‍යක්ෂවරුන් සමඟ පැවති ඥාති සබඳතාවයන් නිසා එම ආයතන දෙකෙහි උසස් නිලධාරීන් අතර ආරම්භයේ සිටම අභිලාෂයන් පිළිබඳ ගැටුමක් පැවැති බව බැඳුම්කර නිකුතුව පිළිබඳ විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිෂම ඉදිරියේදී ඊයේ අනාවරණය විය.

පර්පෙචුවල් සමාගම් සමූහයේ කළමනාකාර අධ්‍යක්ෂ අර්ජුන ඇලෝෂියස් මහතා මහබැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතාගේ බෑනා වීමට අමතරව එම සමූහයේ අනුබද්ධිත සමාගමක අධ්‍යක්ෂධුරයක් එවකට මහ බැංකුවේ අධිපතිව සිටි අජිත් නිවාඩ් කබ්රාල්ගේ සහෝදරියක දැරූ බවද හෙළිවිය.

කොමිෂමේ සාමාජික පී.එස්. ජයවර්ධන ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාරතුමා විසින් කරන ලද විමසීමක් අනුව ඊයේ පැවති සාක්කි විභාගයේ දී මේ බව පැහැදිලිවිය.

ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාර කේ.ටී.චිත්‍රසිරි (සභාපති) සාමාජිකයන් වන ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චකාර පී.එස්. ජයවර්ධන හා විශ්‍රාමලත් නියෝජ්‍ය විගණකාධිපති වී. කන්දසාමි යන මහත්වරුන්ගෙන් සමන්විත මෙම කොමිසම ඊයේ පෙරවරුවේ අළුත්කඩේ පිහිටි කොමිෂන් ශාලාවේදී රැස්විය.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් මිලින්ද ගුණතිලක මහතාගේ මෙහෙයවීම අනුව සාක්කිදීම යළි ආරම්භ කළ ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවේ හිටපු අධිකාරිවරයෙකු වන රාජා ධම්මික නානායක්කාර මහතා භාණ්ඩාගාර බැඳුම්කර වෙන්දේසියකින් පසුව අවශ්‍යයෙන්ම සෘජු ස්ථානගත කිරීම් සඳහා අවස්ථාවන් ඇතිවන්නේ නැතැයි කීය.

තමා පෙරදින ඉදිරිපත් කළ ලේඛනයේ යම් බැඳුම්කර ගනුදෙනුවක පලදායිතාවය ලැබෙන්නේ කෙසේදැයි සඳහන්වන්නේයැයි ද එම පලදායිතාවයට අධිපතිවරයාගේ ක්‍රියාමාර්ග හා තාක්ෂණ වාතාවරණය යන කරුණු බලපාන්නේ යැයිද කීවේය. භාණ්ඩාගාර බැඳුම්කර වෙන්දේසියක් අවසන් වූ විට එයට අමතරව ලබාගත යුතු මුදල් සොයාගැනීම සඳහා අවශ්‍ය සෘජු ස්ථානගත කිරීම් ලබාගැනීම සඳහා ඵලදායිතා අනුපාතයක් සකස් කර ගන්නේ යැයිද, එම අනුපාතය පිළිබඳව තොරතුරු, ණය දෙපාර්තමේන්තුව සමඟ දුරකතන මගින් සම්බන්ධ වන ප්‍රාථමික ගැනුම්කරුවන්ට ලබාගත හැකි බවද කීවේය.

සෘජු ස්ථානගත කිරීම් සඳහා රුපියල් බිලියනයකට වඩා මුදල්විශාල ප්‍රමාණයක් රැගෙන එන ආයෝජකයන් දිරි ගැන්වීම සඳහා ඉහළ ඵලදායිතා මට්ටමක් දීමට මෙහෙයුම් අත්පොත මගින් ඉඩකඩ ලබාදී ඇති අතර, වෙනස් නීති රීතිවලින් ද ආරක්ෂා වී ඇති මෙම තත්ත්වය වඩාත් ක්‍රමානුකූල කිරීම සඳහා තමා ලේඛනයක් සකස් කළේ යැයි ද කීවේය.

සෘජු ස්ථානගතකිරීම් සඳහා ආයෝජකයන්ම ඉඩකඩ ලැබෙන්නේ පැමිණි පිළිවෙළ අනුව බව කී ඒ මහතා සෘජු ස්ථානගත කිරීම්වල ඵලදායිතාවය ප්‍රසිද්ධ ලේඛනයක් මගින් ප්‍රකාශයට පත් කළ හොත් එමගින් පොලී අනුපාතය වැඩිවීම මගින් රජයට අයහපතක් සිදුවන්නේ යැයි කීවේය.

සෘජු ස්ථානගතකිරීම්වල ඵලදායිතා අනුපාතය සඳහා නියෝජ්‍ය අධිපතිවරයාගේ අනුමැතිය සඳහා ඉදිරිපත් කෙරෙන යෝජනාවලියට එයට අදාළ වෙනත් තොරතුරු ලේඛනද අනුපූරක ලේඛන ලෙස ඉදිරිපත් කිරීම ඉතා උචිත බව ජයවර්ධන විනිසුරු තුමාගේ විමසීමකට පිළිතුරු දෙමින් සාක්කිකරු කීවේය.

රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවේ අධිකාරි ලෙස කටයුතු කරන අවස්ථාවලදී ප්‍රාථමික ගනුදෙනුකරුවන් බඳවාගැනීම පිළිබඳව සුදුසුකම් වාර්තාවද සකස් කළේ යැයි කීය.

තමාගේ පාලන කාලය තුළදී පෞද්ගලික ආයතන හතරක් ප්‍රාථමික ගැනුම් කරුවන් ලෙස ලියා පදිංචි වූ අතර පර්පෙචුවල් ටෙෂරීස් සමාගම හා යුනියන් හා ෆෑන් ඒෂියා බැංකු ද ඒ අතර සිටින බව ඒ මහතා කීවේය.

පර්පෙචුවල් ටෙෂරීස්සමාගම වෙනුවෙන් එහි අධ්‍යක්ෂ අර්ජුන් ඇලෝෂියස් මහතා විසින් එම සමාගමේ අයදුම්පත ඉදිරිපත් කර ඇති බව කී සාක්කිකරු එම සමාගම් සමූහයට මේ ක්ෂේත්‍රයෙහි ව්‍යාපාර කටයුතු කිරීම සඳහා අවශ්‍ය මූල්‍ය ශක්තිය ඇති බවට සහතිකයක් යුනියන් බැංකුව විසින් 2012 සැප්තැම්බර් මස 17 දින ඒ සමඟම එවා ඇති බවද සාක්කිකරු කීය. පර්පෙචුවල් සමාගමේ අයදුම්පත්වල කර ඇති සටහන් රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව විසින් කරන ලද්දක් බව කී ඒ මහතා එම සමාගම එවා ඇති එම ලිපිය සම්පූර්ණ අයදුම්පතක් නොවන බවද කීය.

ඇලෝෂියස් මහතා විසින් එම අයදුම්පත ගැන 2013 පෙබරවාරි 20 වැනි එවා ඇති ලිපියක තමා පර්පෙචුවල් පෞද්ගලික සමාගම, පර්පෙචුවල් ඇසස්ට් මැනේජ්මන්ට්, පර්පෙචුවල් හෝල්ඩින්ස් යන සමාගම්වල නම් සඳහන් වන බව කීවේය.

මෙම අවස්ථාවේ පර්පෙචුවල් සමාගමේ 2016 සමස්ත ව්‍යාපාර පුරෝකථනය කොමිෂමට ඉදිරිපත්කළ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා එහි සමාගමේ අපේක්ෂිත මුදල රුපියල් මිලියන 150ක් ලෙස දැක්වෙන්නේ යැයි කීවේය.

පර්පෙචුවල් සමාගම් සමූහයේ බල ව්‍යුහය ඉදිරිපත් කළ සාක්කිකරු එහි පර්පෙචුවල් ටෙෂරීස් සමාගම සතුව ඇති විවිධ ඒකක ගැන සඳහන්වන බව කීය.

මෙම සමාගම ප්‍රාථමික ගනුදෙනුකරුවෙකු ලෙස දන්වා තමාගේ අත්සනින් ලිපියක් එහි අධ්‍යක්ෂ අර්ජුන ඇලෝෂියස් මහතාට යැවූ බව කීය.

ඉන් අනතුරුව එම සමාගම ප්‍රාථමික ගනුදෙනුකරුවෙකු ලෙස තෝරාගත් බවට දැන්වීමක් ප්‍රසිද්ධ කළ බවද ඒ මහතා කීවේය.

රාජ්‍ය ණය බැංකුවේ භාණ්ඩාගාර බැඳුම්කරයකට සම්බන්ධ ප්‍රාථමික ගනුදෙනුකරුවන් සඳහා ආචාර ධර්ම පද්ධතියක් ඇතිකළ බව කී නානායක්කාර මහතා තමාගේ පාලන කාලය තුළදී එම ප්‍රඥප්තිය උල්ලංඝනය කිරීම පිළිබඳව කිසිදු සිද්ධියක් ඇති නොවූ බව කීවේය.

මෙම ප්‍රඥප්තිය අනුව භාණ්ඩාගාර බැඳුම්කර අලෙවි ක්ෂේත්‍රයට සම්බන්ධ රහස්‍ය ස්වභාවයේ විශේෂිත තොරතුරක් තම පෞද්ගලික අභිලාෂයක් සඳහා හෝ අන්‍යයන්ගේ අයහපත සඳහා භාවිතා කිරීම තහනම් වන්නේ යැයි කී නානායක්කාර මහතා මේ ප්‍රඥප්තිය උල්ලංඝනය කරන යම් ප්‍රාථමික ගනුදෙනු කරුවෙකුගේ සාමාජිකත්වය යම් කලකට තහනම් කිරීම හෝ එම බල පත්‍රය අවලංගු කිරීමට එමගින් ඉඩකඩ ලැබෙන බවද සඳහන් කළේය.

ප්‍රාථමික ගනුදෙනුවෙකුගේ යම් ක්‍රියාවන් තුළින් අභිලාෂයන්හි ගැටුමක් ඇතිවුවහොත් එමගින්ද මෙම ප්‍රඥප්තිය උල්ලංඝනය විය හැකි බවද සාක්කිකරු කීවේය.

පර්පෙචුවල් සමාගමේ අධ්‍යක්ෂ අර්ජුන් ඇලෝෂියස් මහතා ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිව සිටි අර්ජුන් මහේන්ද්‍රන් මහතාගේ බෑනා වීම නිසා අභිලාෂයන්ගේ ගැටුමක් ඇතිවන්නේ යැයි සාක්කිකරු කීය.

ජයවර්ධන විනිසුරුතුමා : ඔබ කියන්නේ යම් ප්‍රාථමික ගනුදෙනු කරුවෙකුගේ සමීප ඥාතියෙක් මහබැංකුවේ මූල්‍ය මන්ඩලයේ සාමාජිකයෙකු වුවහොත් එය අහිතකර වන බව කියලද?

පිළිතුර : එය අහිතකර බව මගේ පෞද්ගලික මතය වෙනවා ස්වාමිනී.

මේ අවස්ථාවේදී මහ බැංකුවේ බැඳුම්කර ගනුදෙනුව පිළිබඳව පරීක්ෂාකිරීම සඳහා ඩිව් ගුණසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් පත් කරන ලද පොදු ‍ ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කමිටු වාර්තාවේ මහබැංකුවේ අධිපතිවරයාව සිටි අජිත් නිවාඩ් කබ්රාල් මහතාගේ පාලනය කාලයේ දී ඔහුගේ සමීප ඥාති සහෝදර සහෝදරියන් ගනනාවක් මෙරටෙ වාණිජ බැංකුවල අධ්‍යක්ෂ තනතුරු දරා ඇති බව සඳහන් වන්නේ යැයි සඳහන් කළේය.

කබ්රාල් මහතාගේ සොහොයුරියක් වන ශ්‍රීමා වික්‍රමසිංහ මහත්මිය, පර්පෙචුවෙල් ඉන්වෙස්ට්මන්ට් ‍හෝල්ඩිංග්ස්සමාගමේ අධ්‍යක්ෂවරියක ලෙස කටයුතු කරන්නේ දැයි එහිදී ප්‍රශ්න කරන ලදුව කබ්රාල් මහතා එවිට සෘජු පිළිතුරක් දී නොමැති බව සාක්ෂිකරු කීවේය.

රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ ආචාර්ය අවන්ති පෙරේරා මහත්මියගේ මෙහෙයවීම අනුව නැවතත් සාක්කිදුන් ඒ මහතා තමා රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවේ කටයුතු කරන ලද ඉතා දීර්ඝ කාලය තුළදී නිකුත්කිරීමට පෙරදී අදහස් කරන ලද බැඳුම්කර ප්‍රමාණය මෙන් පස් හෝ හත් ගුණයක බැඳුම්කර නිකුත්කරන ලද අවස්ථා ඉතා සුළු සංඛ්‍යාවන් දක්නට ලැබුණද කිසි දිනක දසගුණයක බැඳුම්කර නිකුත් නොකරන ලද බව කීවේය.

සභාපතිතුමා - සමහර පෞද්ගලික කෙටිකාලීන ණය සඳහා දිගුකාලීන ණයවලට වඩා වැඩි පොලී අනුපාතයක් ගෙවනවා. ඇයි ඒ?

පිළිතුර - බැංකුවේ මුදල් ගලා ඒම හා මුදලේ විචල්‍යභාවය රැකගැනීම සඳහා බැංකු එලෙස කරනවා.

ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජෙනරාල් දප්පුල ලිවේරා මහතාගේ මෙහෙයවීම අනුව සාක්කි දුන් ඒ මහතා වසර දහයක කාලයක් සඳහා නිකුත්කරන බැඳුම්කර මධ්‍යම කාලීන ඒවා වන අතර එයට වඩා කාලයක් සඳහා නිකුත්කරන ඒවා දිගුකාලින වන්නේ යැයි කීය.

ජයවර්ධන විනිසුරු - සියලුම පර්පෙචුවල් සමාගම්වල පාලනයන් ඇලෝෂියස් වරුන් නේද? ඒ කියන්නේ එකම පවුලේ උදවිය?

පිළිතුරු : එසේයැයි මම විශ්වාස කරනවා. පර්පෙචුවල් සමාගම සංස්ථාගත කර දින කිහිපයක් තුළදී ප්‍රාථමික ගැනුම්කරුවෙකු වීම සඳහා අයදුම්පත් ඉදිරිපත් කර ඇතැයි කී ඒ මහතා මෙම සමාගම් සමූහයට අයත් සමාගම් රැසක අධ්‍යක්ෂවරුන් පිළිබඳ විස්තර කිසිවක් සඳහන් කර නැතත් අර්ජුන් ඇ‍ලෝෂියස් මහතා විසින් එම ලිපිය ලියා තිබෙන බව කීය.

කොමිෂම යළි අද පෙරවරුවේ රැස්වේ. 

නව අදහස දක්වන්න