මෙන්න බිල්ලෙක්! | දිනමිණ

මෙන්න බිල්ලෙක්!

රාජ්‍ය ආයතන පෞද්ගලිකකරණය කරන්නේදැ’යි සැලකිය යුතු සංවාදයක් රට තුළ පවතී. එක අතෙකින් බලන විට එය ආණ්ඩුව විවේචනයට හසුකර ගැනීමේ උපාය මාර්ගයක් ලෙස ද සැලැකිය හැකිය. තව අතෙකින් බලන විට රටේ රාජ්‍ය ආයතන ගණනාවක් පාඩු ලබමින් පවතින බව ද සත්‍යයෙකි. ඇතැම් ආයතන මෙලෙස පාඩු ලබන්නේ වැරැදි හා දුර්වල කළමනාකරණය නිසා යැයි කියන්නට පුළුවන. කෙසේ වුව ප්‍රශ්නය මතුවී ඇත්තේ දැනට ලාභ ලබන රාජ්‍ය ආයතන ‍පෞද්ගලිකකරණයට නතු කරන්නේ ද යන්න ගැන ය. මේ සම්බන්ධයෙන් රජය ලබාදෙන පිළිතුර වන්නේ කිසිදු රාජ්‍ය ආයතනයක් පෞද්ගලික අංශයට විකුණා දමන්නේ නැති බවය.

විදුලිබල මණ්ඩලය, ඛනිජ තෙල් සංස්ථාව, රාජ්‍ය බැංකු හා ගුවන් සමාගම පෞද්ගලිකකරණයට ලක් කරන්නේ යැයි මතයක් දේශපාලන කණ්ඩායමක් විසින් ප්‍රචාරය කරනු ලැබේ. ජනතාව ඒ ඔස්සේ වැරැදි ආකල්පයක් ඇතිකර ගැනීමට පුළුවන. ඇතැම්විට විරෝධතා දැක්වීමටද පුළුවන. විදුලිබල මණ්ඩලය 2015 වසරේදී පමණක් රුපියල් බිලියන 15 ක් ලාභ ලබා ඇත. මෙබඳු ආයතනයක් පෞද්ගලික අංශයට පැවරීමේ කිසිදු වුවමනාවක් නැතැ’යි විදුලිබල හා පුනර්ජනනීය අමාත්‍යවරයා ඉතා පැහැදිලිව ප්‍රකාශ කර තිබේ. රජයේ ඉලක්කය වී ඇත්තේ ජනතාවට තවදුරටත් සහන ලබා දෙන අයුරින් මේ ක්ෂේත්‍රය දියුණු කිරීම යැයි ද අමාත්‍යවරයා කියා සිටී.

ආණ්ඩුවට දැනට එල්ල වන ප්‍රධාන චෝදනාවක් වන්නේ රාජ්‍ය ආයතන හොර රහසේ පෞද්ගලික අංශයට විකුණනවා යන්න ය . රාජ්‍ය ව්‍යවසාය හා සංවර්ධන අමාත්‍යාංශයේ නියෝජ්‍ය අමාත්‍යවරයා මීට නිසි පිළිතුරක් ලබා දී ඇත. එම පිළිතුරට අනුව රාජ්‍ය ආයතන ‍පෞද්ගලික අංශයට පැවරීම සඳහා වූ කිසිදු යෝජනාවක් කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් වී නැත. කැබිනට් මණ්ඩලයට එබඳු ‍යෝජනාවක් ඉදිරිපත් නොකොට පෞද්ගලිකකරණයක් සිදු කළ නො හැකි ය. අමාත්‍යවරයා තවදුරටත් පැහැදිලි කරන්නේ හොර රහසේ පෞද්ගලිකකරණ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමේ කිසිදු අවශ්‍යතාවක් වත්මන් ආණ්ඩුවට නැති බවය. ඒ අනුව පෙනී යන්නේ ‍පෞද්ගලිකකරණ චෝදනාව හුදු දේශපාලන විවේචනයක් බව ය.

බටහිර රටවල් මෙන් ම ඇතැම් ආසියාතික රටවල් ද පෞද්ගලිකකරණය පිළිගෙන ඒ අනුව රාජ්‍ය ආයතන පෞද්ගලික අංශයට විකුණා ආර්ථිකය පුළුල් කරගෙන තිබේ. ශ්‍රී ලංකාවේ ද මීට වසර ගණනාවකට පෙර පෞද්ගලිකකරණය සිදු විය. ඒවායින් ඇතැම් ආයතන වසා දමා ඇත. ඇතැම් ආයතන සාර්ථක වී ඇත. තවත් ආයතන නැවත රජයට පවරාගෙන ඇත. ශ්‍රී ලංකාවට පෞද්ගලිකකරණය පිළිබඳ සාර්ථක අත්දැකීම් නැතැ’යි කියන්නට පුළුවන. එහෙත් එහි අර්ථය වන්නේ පෞද්ගලිකකරණය මුළුමනින්ම අසාර්ථක බව නොවේ. වරද ඇත්තේ ක්‍රමවේදය තුළ ය . අපට තව ම කළමනාකරණය පිළිබඳ සාර්ථක අත්හදාබැලීම් නැතැ’යි කියන්නට පුළුවන. අප අසාර්ථක වී ඇත්තේ එම හේතුව නිසා ය .

ශ්‍රී ලංකාව දීර්ඝ කාලයක් තිස්සේ පැවැතී ඇත්තේ සුබ සාධන රාජ්‍යයක් හැටියටය. ජනතාව පුරුදු වී ඇත්තේ සියල්ල රජයෙන් නොමිලේ ලබා ගැනීමට ය . අධ්‍යාපනය නොමිලයේ ය. සෞඛ්‍ය සේවා නොමිලයේ ය. මේ හැරෙන්නට පින් පඩි සහනාධාර සලාක හා තවත් දේවල් ජනතාව රජයෙන් අපේක්ෂා කරති. ආයතනයක් පවත්වා ගැනීම, ආයතනය ලාභ ලබන තැනකට පත් කිරීම එහි කළමනාකරණය උසස් මට්ටමකින් පවත්වා ගැනීම ආදිය කෙරෙහි කිසිදු හැඟීමක් ජනතාවට නැත. මේ අනුව රා ජ්‍ය ආයතන පෞද්ගලිකකරණය කිරීම පිළිබඳ අංශුමාත්‍ර අදහසකට වුව ජනතාව විරුද්ධවීම පුදුමයක් නොවේ. එක අතෙකින් මේ තත්ත්වය සුබදායක නොවන්නා සේම අනෙක් අතින් දේශපාලකයන්ට ආයුධයක් සේ පාවිච්චි කිරීමටද අවස්ථාව ලැබී තිබේ.

විදුලිබල මණ්ඩලය, දුම්රිය දෙපාර්තමේන්තුව, ඛනිජ තෙල් සංස්ථාව වැනි ආයතන පෞද්ගලික අංශයට අලෙවි කරන්නේ යැයි විරෝධතා මතුවූයේ අද - ඊයේ නොවේ. මේ ගැටලුවට වත්මන් ආණ්ඩුව පමණක් නොව මීට පෙර පැවැති ආණ්ඩු ද මුහුණ දී ඇත. ඇතැම් අවස්ථාවල මේ ආයතන තුළ වි‍රෝධතා පමණක් නොව වැඩ වර්ජන පවා පවත්වා ඇත. එම විරෝධතා නිසාද, වර්ජන නිසා ද ආයතනවලට විශේෂ පාඩුවක් විඳීමට සිදුවුව පෞද්ගලිකකරණයක් සිදුවූයේ නැත. විරුද්ධ දේශපාලන බලවේග මේ තත්තවය හිඟන්නාගේ තුවාලය සේ පවත්වා ගැනීමට උත්සාහ කරන බවක් ද පෙනෙන්නට තිබේ. ඇතැම් දේශපාලකයන් ආණ්ඩුව සම්බන්ධ විවේචනය ආරම්භ කරනුයේ පෞද්ගලිකකරණය ඉදිරියට දමමින් ය.

කෝප් වාර්තාව පෙන්වා දෙන අන්දමට පාඩු ලබන රාජ්‍ය ආයතන පවත්වා ගැනීම සඳහා භාණ්ඩාගාරය කරන වියදම අති විශාලය. නිදසුනක් ගතහොත් මත්තල ගුවන් තොටුපොළ, හම්බන්තොට වරාය වැනි ආයතන පවත්වා ගැනීම සඳහා විශාල මුදලක් යෙදවීමට සිදු වී තිබේ. ඒ හැරෙන්නට එම ආයතන ඉදිකිරීම සඳහා ලබාගත් ලෝක ණය ගෙවීම සඳහා ද විශාල මුදලක් වෙන් කිරීමට සිදු වී ඇත. මෙබඳු ආයතන තවදුරටත් පවත්වා ගැනීම සඳහා එක්කෝ දේශීය පෞද්ගලික අංශයෙන් සහයෝගය ලබාගත යුතුය. නැතහොත් විදේශීය ආයෝජකයන් වෙතින් සහයෝගය ලබාගත යුතුය. ඒ දෙක ම කළ නොහැකි නම්; ආයතන වසා දැමීමට සිදුවනු ඇත. මේ යථාර්ථය ජනතාව වටහාගත යුතු යැයි සිතේ.

ආණ්ඩුවේ ප්‍රතිපත්තිය වී ඇත්තේ පාඩු ලබන හා ආර්ථිකයට විශාල බරක් වූ ආයතන පවත්වා ගැනීම සඳහා පෞද්ගලික අංශයේ සහයෝගය ලබා ගැනීමය. එහිදී සිදුවන්නේ ආයතන විකිණීමක් නොව; ආයතනයේ කළමනාකරණයේ කොටස්කරුවකු බවට පෞද්ගලික අංශය පත්වීමය. එහි වරදක් ඇතැ’යි සිතිය නො හැකි ය . ‍ලෝකයේ බොහෝ රටවල් මේ ක්‍රමය අනුගමනය කොට දියුණුවට පත්ව තිබේ. එහෙත් මේ සියල්ල සිදුවන්නේ අලාභ සහිත රාජ්‍ය ආයතන සම්බන්ධයෙන් පමණි. පාඩු ලබන ආයතන වසා දැමීම රජයකට ඉතා පහසුවෙන් කළ හැකි ය. එහෙත් එම ආයතනවල සේවක මණ්ඩල මෙන් ම ජනතාවට ලබා දුන් සේවයද සැලැකිල්ලට ගැනීම ආණ්ඩුවේ ප්‍රතිපත්තිය වී තිබේ.

පෞද්ගලිකකරණය සම්බන්ධයෙන් විවිධ දේශපාලන ප්‍රචාර රට පුරා පවතී. එහෙත් ඒවා සත්‍යය නොවේ. මෙහි ඇත්ත - නැත්ත විමසා බලා අදහසක් ඇතිකර ගැනීම ජනතාව සතු වගකීමකි.


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...