මළත් නිහඬ නොවූ ගැහැ­නිය | දිනමිණ

මළත් නිහඬ නොවූ ගැහැ­නිය

ජයලාල් ආනන්දගොඩ,ඇඩ්ලින් විතාරණ

හිමාලි එන්. ලියනගේ

එක්දාස් නමසිය පනස් නමය වසරේ සෙනසුරාදාවක් වූ මාර්තු 14 දාක වයස විස්සත් විසිපහත් අතර තරමක වූ නන්නාඳුනන තරුණියක ගේ මළ සිරුර අනුරාධපුර- පුත්තලම පාරේ 27ත් වැනි සැතපුම් කණුවට කිට්ටුව තිඹිරිවැව නමැති පෙදෙසින් හමු විය. ඈ “පියකරු දැනුම් තේරුම් ඇති” ගැහැනියක වූ ඇඩ්ලින් විතාරණ නමැති අය බව නඩු තීන්දුවේ සටහන් වී තිබේ (Regina v. J. Anandagoda Appeal 114 of 1960- උපුටා ගැනීම: http://www.lawnet.gov.lk) මා ඇඩ්ලින් විතාරණ යන නම මුලින්ම ඇසූවේ තාත්තා විසින් කියන ලද කතන්දරවලය.

ඔහු ඇඩ්ලින් විතාරණ යන ගැහැනිය මතක් කළේ කිසියම් ළෙන්ගතු හැඟීමකිනි. ඒ කාලයේ හැටියට තමන්ට වූ අසාධරණයට එරෙහිව සටනකට එළඹි එම ගැහැනිය ගැන තාත්තා කතා කළේ ගෞරවයක් සහිතවය. ඈ මරා දැමීමෙන් පවා නිහඬ කළ නොහැකි වූ ගැහැනියකි. කෙතරම් ස්වභාවික කාරණාවක් වූවත් විවාහයට පෙර ලිංගිකව හැසිරීම අපරාධයක් ලෙස සැලකෙද්දිත් තමන්ගේ පෙම්වතා විශ්වාස කොට ඔහු වෙතින් ලද දරුවා සුරැක හදා වඩා ගත් එම ගැහැනිය ඒ කාලයේ සමාජ පිළිගැනීමට අනුව ඔහු වෙතින් ඉල්ලුවේ තමන්ට දුන් වචනය රකින්නටය. ඈ කන්දොස්කිරියාවක් ලෙස සැලකූ ඔහු ඈ මරා දැමුවේය.

ඇගෙන් ගැළවීමක් නැති බව දැන ඈ මරා දැමූ ඔහුට නීතියෙන් පවා ගැලැවීමක් නොවීම ආශ්චර්යක් ලෙස දකින්නට මම කැමැත්තෙමි.

නමුත් දැන් කාලය වෙනස් වී ඇත. මේ අපරාධ නඩුවේ විත්තිකරු වැනි අය ගැන විද්‍යාත්මක අධ්‍යයන ඕනෑ තරම් සිදු වී ඇත. සිදුවෙමින් පවතිමින් ඇත.

එවැනි අයගෙන් ඈත් වී සිටිමේ වැදගත්කම ගැන අප දැනුවත් වී ඇත.

නමුත් ගැහැනියක සහ පිරිමියකු පෙමින් බැඳෙද්දී තමන් මේ දිව යන්නේ අපරාධකරුවකුගේ/කාරියකගේ දෑතට බව දන්නේ නම් කෙනෙක් ඒ අනුවණකමට නතු වේද? 1957 නොවැම්බර් මාසයේ ජයලාල් ආනන්දගොඩගේට (විත්තිකරු) දාව පළමු දරුවා බිහිවූ පසුව ඈ විවාහ කරගන්නා බවට පොරොන්දුවක් වූවත් නැවත හත් මස් ගැබිනියක වූ ඇඩ්ලින් තමන් රැවටූ අය සොයා කළුතරට යන්නේ, ඔහු සේවය කරන පාසලේ විදුහල්පතිට සිද්ධ වූ දේ දන්වා ලිපියක් ලියන්නේ පළිගැනීමේ චේතනාවකින්වත් තමන්ගේ පෙම්වතා අමතක කිරීමට නොහැකි වීමෙන්වත් යැයි මම කිසි විටෙක නොදකිමි. ඒ කාලයේ හැටියට තමන්ට වූ අසාධාරණ අත්හැර දැමීමට එකම පිළියම ඔහු ඈ විවාහ කරගැනීම වූ නිසා ඔහු වෙතින් ඈ ලද දරුවන් වෙනුවෙන් හරි දේ කරන්නට ඈ ලද උත්සාහයක් ලෙස මා ඈ කළ සෑම දෙයක්ම දකින්නෙමි.

තමන්ගේ රථය වෙනුවට ඇවිස් සමාගමෙන් කුලියට ගත් රථයක ඈ නංවාගෙන තවත් පිරිමින් දෙදෙනකු සමඟ එකතු වී ඇගේ ඝාතනය කළ ආනන්දගොඩගේ වැනි අය ලෝකයේ ඕනෑම තැනක දකින්නට හැක. තමන් ගැන ඕනෑවට වඩා සැලකිල්ලක් දක්වන, තමන්ගේ වුවමනා වෙනුවෙන් අනෙක් අය අසීමාන්තිකව පාවිච්චි කිරීමක නිරත වෙන එවැනි මනෝවිඥානයක් සහිත අය අපරාධකරුවන් අතර අපට දකින්නට ලැබේ.

තාවකාලික සම්බන්ධතා වලින් පමණක් සෑහීමකට පත් වෙන එවැනි අය ප්‍රචණ්ඩත්වය සබඳකම් කෙළවර කිරීමට මඟක් ලෙස උපයෝගී කර ගනී.

සමහර විටෙක බොරු නමක් පාවිච්චි කොට ඈ රවටා අතහැර දැමීට හැකි වේයැයි විත්තිකරු සිතුවා විය හැකිය. අතහැර දැමීමද ළෙන්ගතු අය විසින් වන ගෘහස්ථ හිංසනයේ එක කොටසකි. පුරා අවුරුදු දෙකක් ඇඩ්ලින් විතාරණ තමන්ගේ අනියම් ප්‍රියාව වූ බවට උසාවියෙදී කියා සිටිනා විත්තිකරු වෙනත් වඩා යහපත් සමාජ තත්ත්වයක් සහිත කෙනකු සමඟ විවාහ වීමට තමන් ගිවිස සිටි බව කියයි.

එසේ නම් ඇඩ්ලින් රවටන්නටවත් උත්සහ ගත්තේ ඇයි දැයි කියා අපරාධකරුවකුගෙන් අසා වැඩක් නැති බව මම දනිමි. ඈ සිඹින්නට, ඈ සමඟ යහන්ගත වෙන්නට ඔහුට හැකි වී නම් ඈ විවාහකරගැනීමට සුදුසු නොවූයේ ඇයි යන ප්‍රශ්නය ඔහුගෙන් මම කිසි විටෙක අසන්නේ නැත.

නමුත් ඈට තමන්ගේ දරුවන් වෙනුවෙන් ජීවත් වීමට ඉඩ නොදුන්නේ ඇයිද යන්න පවා ඔහු වැනි අපරාධකරුවකුගෙන් අසා වැඩක් නැති ප්‍රශ්නයකි. ඒවාට පිළිතුරු ඔහු වෙත වී නම් ඔහු කිසි දිනෙක ඇඩ්ලින් මරා නොදමනු ඇත.

සමහර විටෙක එදා ජයලාල් විසින් ඇඩ්ලින් මරා නොදැමුවේ නම් අපට වෙනස් වෙනත් කතාවක් අසන්නට ලැබෙණු ඇත. ජයලාල් වෙනුවට, ඇඩ්ලින් එම නඩුවේ විත්තිකරු වෙන්නට ඉඩ තිබිණි. අවුරුදු හතරකට වඩා වැඩි කාලයක් තමන් අපයෝජනය කළ තමන්ගේ සැමියා මරා දැමූ ඔස්ට්‍රේලියාවේ වෙසන දොස්තර චාමරී ලියනගේ කියන්නේ සියලුම හිංසනයන්ට වඩා මානසික හිංසනය ඇයට දැරිය නොහැකි වූ බවයි.

1989 දී එංගලන්තයේ තමන්ගේ සැමියා සැතපී සිටිද්දී මරා දැමූ කරන්ජිත් අලුවාලියා ඔප්පු කොට පෙන්නනුයේත් ආදරය කරන්නේයැයි සිතූ අය විසින් හිරිහැරයට ලක් වීමේ සීමාවයි. සමහර විටෙක අපට ඇඩ්ලින් විතාරණ සහ ජයලාල් ආනන්දගොඩගේ කතාව වෙනස්ම එකක් ලෙස අසන්නට ඉඩ ලැබෙනු ඇත.

විවාහයට පෙර ලිංගික හැසිරීම, ගබ්සාව, අවජාතක දරුවන් ගැහැනියකගේම වගකීම වූ ඇගේම අපරාධය වූ කාලයක, රටක, ලෝකයක ඇඩ්ලින් විතාරණ නම් අසරණිය තමන්ගේ පෙම්වතා පසුපස නොයා වෙන කුමක් කරන්නද? ගැහැනුන් පමණක් නොව පිරිමින් පවා ළෙන්ගතු ඇසුරක් තුළ ප්‍රචණ්ඩත්වයට/ අසාධාරණ තත්වයන්ට මැදි වී අන්ත අසරණ වූ අවස්ථාවන් කොතෙක් දැක ඇති මට ඇඩ්ලින් විතාරණ නඩු විභාගය කියවද්දි ඈ ගැන දුක සිතේ.

ඈ අත තදින් අල්ලා ගෙන ඒ ඇගේ වරද නොවේ යැ‍යි කියන්නට හැකි නම් මට සිතේ. නමුත් දැන් ඈ නැත. මට කරන්නට පුළුවන් එකම දේ වන්නේ සමාජය විසින් සාවද්‍ය ලෙස කෙනකු ගැරහීමකට ලක් කරද්දී එයට එරෙහිව නැඟී සිටීම පමණි. ඇඩ්ලින් විතාරණ යනු ඒ කාලයේදී තමන් වෙනුවෙන්, තමන්ගේ දරුවන් වෙනුවෙන් සාධාරණය ඉල්ලූ ගැහැනියක බව ප්‍රකාශ කිරීම පමණකි. 


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...