පා ගම­නින් සිරිපා කරු­ණාව | දිනමිණ

පා ගම­නින් සිරිපා කරු­ණාව

මහානාම දුනුමාල

සංවහන වැසි වසින මේ දවස්වල ගිනියම් මද්දහනක මඳ වෙලාවක් කෑගල්ල අවිස්සාවේල්ල පාර අද්දර රැඳී සිටින්නට මට සිදු විය. එක් වරම මට දකින්නට ලැබුණේ නුහුරු දර්ශනයකි. සරොං කමිස හැඳගත්, තලප්පා බැඳගත්, කරින් සැහැල්ලු එල්ලා ගත් පිරිසක් තුන් සරණය කියමින් පාර දිගේ පෙළට එති.

පාර අසල සිටියෙක් කීවේ මේ පිරිස පා ගමනින් සිරිපා කරුණා කරන පිරිසක් බවයි.

ඔහුට අනුව ඔවුන් එන්නේ දුර ඈත පෙදෙසකිනි. ඒ ගැන හරි විස්තරයක් මට විස්තර කියූ තැනැත්තා නොදැන සිටියේ ය. ඔවුන් පා ගමන යන්නේ නල්ලතන්නිය හරහා ද නැතහොත් දැරණියගල හරහා වැටෙන අප්‍රකට පාරකින්දැයි කියන්නට ද විස්තර කියන්නා දැන සිටියේ නැත. මට පිරිස හා කතා කරන්නට සිතිණි. එහෙත් තාලයකට තුන් සරණය ගායනා කරමින් යන පිරිසට බාධා කිරීම නොහොබිනා කමක් යයි ඒ හා ම සිතට නැඟිණි.

මේ එක්කෝ කතරගම පා ගමනින් යන හින්දු බැතිමතුන්ගේ චාරිත්‍රය අනුව යාමකි. නැතහොත් පා ගමනින් සිරිපා කරුණා කළ අපේ මුතුන් මිත්තන් අනුව යාමකි. ඒත් නැත්නම් ඒ චාරිත්‍ර දෙකේ ම සංකලනයකි.

අපේ පළාතේ පැරැන්නෝ සිරිපා කරුණා කළේ පා ගමනිනි. අදින් අවුරුදු හැටකට, හැටපහකට පමණ පෙර ප්‍රවාහන දියුණුව හේතුවෙන් කෙළවර වූයේ යයි සිතිය හැකි ඒ පාද චාරිකා බෙහෙවින් විනෝදජනක වූ බැව් මා අසා ඇත. එහෙත් එසේ පා ගමනින් ම සිරිපා කරුණා කළ අයගේ අත්දැකීම් ඔවුන්ගේ මරණයත් සමඟ ම වැළලී යයි. ඔවුන්ගේ අත්දැකීම් සටහන් වී නැත.

එහෙත් දැරණියගල හරහා අතීතයේ ගිය පා ගමනක් පිළිබඳ අපූරු සටහනක් මෑත කාලීන සාහිතයේ එයි. (අදටත් දැරණියගල හරහා සිරිපා යන්නෝ වෙත්. ඒ බොහෝ විට ඊට ආසන්න ගම්වල අය ය.) ලේඛකයා මාගම් තෙන්නකෝන් ය. කෘතිය ‘දිවි සයුරින් දිය දෝතක්’ ය.

කලකට පෙර මියගිය ලේඛක මාගම් තෙන්නකෝන් මහතා අප ජීවත්වන කෑගලු දිස්ත්‍රික්කයේ තුන් කෝරලයේ වැසියෙක් ව සිටියේ ය. ඔහුගේ උපන් ගම මාහිංකන්දයි. මාගම් තෙන්නකෝන් සිය පළමු සිරිපා චාරිකාව ආරම්භ කරන්නේ සිය මහගෙදර පිහිටි වරකාතැන්නෙනි. (වරකාතැන්න දෙහිඕවිට සිට දැරණියගලට යන විට අතරමඟින් හැරී යා යුතු පාරක පිහිටි ගමකි.) ඒ අසිරිමත් සිරිපා චාරිකාවේ ඔහු යෙදෙන්නේ 1939 දී ය. දෙවන ලෝක යුද්ධයේ ආරම්භක අවධියේ ය.

මාගම් මුලින් ම වන්දනා නඩය දින දෙක තුනක සිට ලකලෑස්ති වන ආකාරය අපූරුවට විස්තර කරයි.

“ සැරට සැරේ ගම්මිරිස් කුඩු මුසු කළ පැණි අග්ගලා තැනෙයි. උම්බලකඩ හරි හරියට කලවම් කළ කොට්ටපොල් සම්බල කොළපත්වල බැඳෙයි. හීතලට ගෑමට කුරුඳු තෙල් පැසවෙයි. ගැහැනු කරුංකා විකුණා ලබා ගත් මුදලින් අලුත් හැට්ටා මසා ගනිති. ගෙඩි රුපියල් මකවා ඉණ බඳින හවඩි පොටවල් පිරිමි තනවා ගනිති. කෙල්ලෝ කලින් විද්ද කන් පෙතිවල කරාබු බුබුළු පැළඳ ගනිති.

කොපමණ බර දැම්මත් බර නැති සැහැල්ලු මසාගෙන ය. කුඹුරෙන් ගත් වී කැකුළෙන් කොටා මෙම සැහැල්ලුවලට පිරැවෙයි. පොල් තෙල් පාන්කඩ කැවූ උණ බම්බු පන්දම් සූදානම් කැරෙයි.” (දිවි සයුරෙන් දිය දෝතක්)

කුඩා මාගම් ඇතුළු නඩය වරකාතැන්නෙන් ගමන් ආරම්භ කරන්නේ දහවල් එකට පමණ ය.

ඔවුහු මාලිගාතැන්න පසුකොට දැරණියගල කඩ මණ්ඩියට සම්ප්‍රාප්ත වී එතැනින් සීතාවක නදියෙන් එතෙරව දැරණියගල සමන් දෙවොලට යති. දෙවොලට පඬුරු දැමීමෙන් ඉක්බිති මියනවිට තේ කම්හල අසලදී සීතාවක නදියේ වම් ඉවුරේ පිහිටි අම්බලමේ නවාතැන් ගනිති. ඒ අම්බලම එදවස පිහිටියේ වන ගුල්මයක් මැද ය.

රැය ගෙවෙන්නේ ද එකිනෙකා වෙතින් කියැවෙන ජනකතා අතරිනි. පසුදා උයා පිහා ගෙන රැයින් පිටත් වෙන ගමනේ දී කොස්ගහකන්ද හා යටිවල පසුවේ. නඩය යටිවල දී ගිමන් හරින්නේ සිරිපා සමයේ ඇටවූ කෝටු කඩ කීපයක් අසල ය. එතැන මහා කිතුල් අරඹකි.

“ බරට බර සැහැල්ලු දෙකක් දෙඋරින් ගෙන ගමන් කළ ‘ඈ කොට ආතා’ මෙහිදී පෙණ දමමින් තිබුණු කිතුල් රා මුට්ටියක් හිස් කළේ ය. කොලු කෙල්ලන්ට තෙලිදිය පොල් කටුව බැගින් ලැබිණි. කොළපත් පිරිවැසුම්වල එල්ලා තැබුණ දොඩම් ගෙඩි පමණ හකුරු ගෙඩි මිලට ගත් සමහරෙක් ඉඟුරු මිශ්‍ර තේ කහට බීහ. අනතුරුව ගමන ඇරඹිණි. ගල් අරඹක් වන් මේ පෙදෙසේ අතරින් පතර පිහිටි කටු මැටි ගෙවල් පසු කරමින් නව පණක් ලත් කටවලින්, බුද්ධං සරණේ සිරස දරාගෙන...” (දිවි සයුරින් දිය දෝතක්)

යටිවලින් එරත්නට ගොස් ගමන් කරන පිරිස දෙවන දා රැය ගත කරන්නේ තේ වත්ත ඉස්මත්තේ පිහිටි අම්බලමේ ය. මාගම් කියන හැටියට එතැන මුහුදු මට්ටමින් අඩි පන්දහසක් පමණ ය.

සමනල මුදුනට එතැන් සිට සැතපුම් දහයක් පමණ වෙයි. ඒ හැන්දෑවේ පිරිසට ගුවන් යානයක් දක්නට ලැබෙයි. නඩේ හැම දෙනම ගුවන් යානයක් දුටු මුල් ම වතාව එයයි. (ඒ දෙවන ලෝක යුද්ධය ඇවිළෙමින් තිබුණු සමයයි.) පිරිස පාන්දර දෙකට පමණ පිටත් වෙති. මහ වනය, ආඩියා මළ තැන්න අම්බලම, ගෙත්තම්පාන, ඇහැල කණුව, මහ ගිරි දඹ පසු කරමින් සීතලේ ගැහෙමින් පන්දම් එළියෙන් පාන්දර පහ පමණ වන විට සිරිපා මළුවට ගිය ගමන මාගම් තෙන්නකෝන් සිය රමණීය බස් වහරින් සිත්තම් කරන අයුරු අපූරු ය.

දැරණියගල හරහා යන විට මාලිබොඩ ඔස්සේ යන සිරිපා ගමනක් ගැන අසා පුරුදු මට මාගම් තෙන්නකෝන් සිරිපා ගිය මග ගැන ගැටලුවක් තිබිණි.

මම දැරණියගල ගැන මට වඩා බොහෝ ඇසූ පිරූ තැන් ඇති මා සේවය කරන පාසලේ ම සේවය කරන ගිණුම්කරණ ගුරුවරයකු වූ අනිල් මල්ලීගේත්, ගණිත ගුරුවරයෙකු වූ ධනුෂ්ක මල්ලීගේත් පිහිට පැතීමි. දෙදෙන ම එක්ව මගේ නොදැනුම්කම් දැනුම්වත් කරමින් තොරතුරු කීහ.

“ දැරණියගලින් මාලිබොඩ හරහා සිරීපාදෙ යන්නත් පුළුවන්. යටිවල හරහා එරත්නට ගිහින් යන්නත් පුළුවන්. මාලිබොඩින් යනකොට වැටෙන්නෙ එරත්නෙන් එන පාරෙ අතරමැදට. කොහොම ගියත් දැරණියගලින් පාගමනින් සිරීපාදෙ යන එක හරි අපූරු අත්දැකීමක්. ” දෙ‍දෙනම කීහ. 


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...