බාහුගේ යථා­වාදී විම­සුම සහ අපේ ‍ලෝකය | දිනමිණ

බාහුගේ යථා­වාදී විම­සුම සහ අපේ ‍ලෝකය

තිඹිරියාගම බණ්ඩාර

ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්නගේ පුවත්පත් ලේඛන ඇතුළත් යථාවාදී විමසුම මෑත අවධියෙහි මා ආසාවෙන් කියවූ කෘතියකි. කඳු ගණන් පොත් ප්‍රකාශනයට පත් වන අවධියක බුද්ධිය විකසිත කරවීමේ ගුණය ඇති පොතක් සොයා ගැනීම නිකිණි සොයන්නාක් වැනි දුෂ්කර කටයුත්තකි.

වික්‍රමබාහු ආචාර්ය උපාධිලාභියෙකි, දේශපාලනඥයෙකි. දේශපාලකයා හා දේශපාලනඥයා අතර වෙනස ඔහුගෙන් කදිමට පිළිබිඹු වේ.

ඔහු පාර්ලිමේන්තුව නියෝජනය නොකරයි. එහෙත් ගෝත්‍රවාදයේ නරා වළෙහි වැටී සිටින දිනේෂ් ගුණවර්ධන වැනි දේශපාලකයන්ගේ බිරුසන් හඬ ඇසෙන කල වික්‍රමබාහු කරුණාරත්න පාර්ලිමේන්තු නොයැවීමෙන් මහජනතාව කර ඇත්තේ බලවත් වරදකැයි සිතමි. මෙරට ඡන්දදායකයන්ගේ තරම එයින් පෙනේ. ‘යකාගෙ හැටියට විමානේ’, ‘කූඹියගේ හැටියට කැවුත්ත’ යනාදී ජන කියමන් මෙහිදී සිහිපත් වීම වැළැක්විය නොහැක.

වික්‍රමබාහු එජාපයට කඩේ යනවා යැයි මෑතක දී අප හිතවත් ලේඛකයකු මූණු පොතේ සටහනක් තබා තිබිණ. “බාහු අපූරු මිනිහෙක්. හොඳ රසවතෙක්” මම ප්‍රතිචාර දැක්වීමි. බාහුගේ තීරු ලිපිය සතිපතා කියවන්නකු වන මම මෙරට සමාජයෙන් තුරන් වී යන බුද්ධිමය සම්ප්‍රදාය යළි ඇතිකිරීමේ ප්‍රඥාසම්පන්න විචාරකයකු ගේ පහළ වීම දකිමි.

මීට පෙර එම සම්ප්‍රදාය පෝෂණය කළ බුද්ධිමතුන් අතරින් ආනන්ද කුමාරස්වාමි, මාර්ටින් වික්‍රමසිංහ, ගණනාථ ඔබේසේකර, රෙජී සිරිවර්ධන, ඊ. ඩබ්. අදිකාරම් සහ නිව්ටන් ගුණසිංහ යනාදීන්ගේ සමාජ චින්තන මම බෙහෙවින් අගය කරමි. බාහුගේ විශ්වවිද්‍යාල අධ්‍යයන ක්ෂේත්‍රය විද්‍යාත්මක චින්තනය යි. එහෙත් ඔහු මාක්ස්වාදය, බෞද්ධ දර්ශනය හා සාහිත්‍ය විචාර සිද්ධාන්ත ක්ෂේත්‍ර පිළිබඳ ගැඹුරු අධ්‍යයනයක නිරතවන්නකු බව මේ කෘතියෙහි ලියැවිලිවලින් පෙනේ. බුද්ධාගම, විද්‍යාව හා මාක්ස්වාදය නිබන්ධයෙහි ඔහු මෙසේ සඳහන් කරයි.

“ද්‍රව්‍යමය ලෝකයෙන් මනුෂ්‍යයා නිර්මාණය වී තිබෙනවා. මනස ද නිර්මාණය වී තිබෙනවා. අවසානයේ මුල් ස්ථානයට ගිය විට අනිත්‍ය, චලනය වන ස්වභාවයයි පවතින්නේ. පරමාණු ලෝකය තුළ බැහැගෙන බැහැගෙන ගිය විට පමණක් නොවේ. පෘථිවිය, සක්වළ මණ්ඩලය, මිල්කිවේ දුමාරය, ධූලි ජාලය හා වක්‍රතා ජාලය ආදී වශයෙන් ඉහළට ගිය විට ද අවසානයේ අහෝසියක් බවට පත් වේ.”

විද්‍යාත්මක චින්තනය හා බුදු දහම සසඳන ඇතැම් බුද්ධිමතුන් විඥානවාදයේ පතුලට වැටී දේව සභා සමඟ ගනුදෙනු කරන මට්ටමේ ශෝචනීය තත්ත්වයකට පත් ව සිටිනු දකින විට වික්‍රමබාහුගේ මැදිහත් වීමේ අගය කැපී පෙනේ. වකුගඩු රෝගයට හේතුව දෙවියන් පෙන්වා දුන් බවට විශ්වාස කරන ශාස්ත්‍ර ගවේශකයන් මානුෂික රෝහලට නොයවා විශ්වවිද්‍යාල ආචාර්යවරුන් හැටියට තබාගන්නා රටක බුද්ධිමතුන්ගේ කාර්යය වඩාත් පෘථුල විය යුතුව තිබේ.

“ථෙරවාදී බුදු දහම තිබෙන මේ රටේ යථාවාදය ඇතිකිරීම නිකම්ම සිදුවිය යුත්තක්. ඒත් අද එය සිදුවෙලා නැතිවාක් නොවේ. විවිධ අද්භූත දේවල් හා හොල්මන් ගැන විශ්වාසය වැඩිවෙලයි තිබෙන්නේ. එයින් පෙනෙන්නේ ලොකුවට කෑගැහුවට බුදු දහම යට ගිහින් බොරුව රජ කරන තැනට පත්වෙලා කියලයි.”

(යථාවාදී විමසුම - 45 පිටුව)

වික්‍රමබාහු එසේ අදහස් පළකරන සමයක දන්ත වෛද්‍ය ගුණදාස අමරසේකර යළි උපන්නෙමි ඉතිහාසය වළ දමා දෙමළ ලේ ඉල්ලා මරතලන හඬ වීරවංශගේ පෙරමුණ වෙනුවෙන් කහී. ගණිත විෂයයෙන් ආචාර්ය උපාධිය ලැබූ මහාචාර්ය නලින් ද සිල්වා ජාතික එක්සත්කමට පාර කපන ව්‍යවස්ථාවක් හැදීම රට බෙදීමක් ලෙස දකින රාජපක්ෂ කල්ලියේ රැස්වීම්වලට බඩ ගානු පෙනේ.

එවන් සමයක පැණසර විචාරකයකු හා හොඳ රසවතකු වන ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්නගේ විචාරමය මැදිහත්වීම අගයමි. එමෙන්ම මාක්ස්වාදී න්‍යාය හැදෑරූ බොහෝ විද්වතුන්ට ආවේණික රෝගයක්ව පවතින තේරෙන සිංහලෙන් යමක් කියන්නට බැරිකම බාහු ජයගෙන ඇති බව ද ලියා තබමි.

 


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...