සපු මලක්...

ශාන්ති දිසානායක

අලුයම ‍නිහැඬියාව විසින් උළුප්පාලන ලද ඒ මියුරු නාදයෙන් මම පිනා ගියෙමි. නාඳුනන විහඟාගේ සුපුරුදු හඬ සමග මුසු වූ ඒ හඬ අසන්නට මගේ දෙකන පුල පුලා බලා සිටි බව ඒත්තු ගියෙන් මා දවස පටන් ගත්තේ මහත් ප්‍රබෝධයෙනි. තවත් වෙහෙසකර දවසක් සමඟ අරගල කිරීමේ ශක්තිය ලබා දෙමින් ගලා යන නිල් දිය දහර දැක බලා ගන්නට උවමනා වූයෙන් මම පාර පැන ඇළට එබුණෙමි.

අතු ඉති අතරින් රිංඟා එන ලා හිරු කැන් ඇළ දිය මත පතිතව මවන පළිඟු කැට සැණෙකින් බිඳී යයි. යළි යළි නැ‍ඟෙයි.

ඇළ අද්දර වතුසුද්ද පඳුරු මලින් බරවය. හරියට විළිබර මනාලියන් වගේය. තේ කඩේ රත්නෙ මල්ලිගේ වතුසුද්ද පඳුරු පෙළ සැබැවින්ම සොඳුරු දසුනකි. දහම් පාසලට යන දරුවන් ද පුර පෝදා සිල් සමාදන් වීම පිණිස පන්සල කරා ඇදෙන උවැසියෝ ද වතුසුද්ද මල් නෙළන කල පහන් හැඟුමින් සිත පිරී යයි. ඇළේ වතුර නොඑන දිනක ළි‍ඳෙන් හෝ වතුර ඇද මේ අලංකාර මල් පඳුරු රැකගන්නට රත්නෙ මල්ලිත්, මාත් වෙහෙසෙන්නෙමු. ඒ වෙහෙසද සොඳුරු වෙහෙසකි.

නිල් දිය ද සුදු මල් ද ජනිත කළ අපමණ සොම්නස වියැකී ගියේ ඇගේ සෝබර හඬත් එක්කමය.

“ඒ මල්ලි මට හරියට උදව් කළා අක්කේ. මොන තරම් පොත්පත් මට දීලා ඇද්ද... අනේ එයා හරි අහිංසකයි... හරි ලස්සනයි... ඒ වගේම දක්ෂයි... කරුණාවන්තයි”

අති දුෂ්කර ග්‍රාමයක හේන් ගොවිතැනෙන් දිවි සරිකරගත් මව්පියන් එකම පුතුගේ අකල් මරණය කෙලෙස විඳ දරාගන්නට ඇද්ද? දියණියන් දෙදෙනෙකුට පසු උපන් පුතා ද දියණියකගේ ගති සොබා පළකරන කල පවා නොකිපී ළෙන්ගතුකමම පෑ ඒ අහිංසක මව්පියන් සිහි කළ මම දැවී ගියෙමි. ඔවුන්ගේ කටුක ජීවිත සැපවත් කරන්නට පෙරුම් පිරූ දක්ෂ දරුවා දිවි නසාගන්නට තීරණය කළේ කෙලෙසද?

ඒ අඳුරු හැන්ඳෑවේ හේනේදී ගෙල වැළලා ගත් පුත්‍රයා දුටු පියාගේ හදවත සත්කඩකට පැලී යන්නට ඇතුවා නිසැකය.

විද්‍යා පීඨයේ ගතකළ කාලය අවසන ගුරුවරයකු ලෙස පෙරළා පැමිණෙන දරුවා වෙනුවෙන් ඒ ආදරණීය මව මැවූ අනන්ත සිහින සැණෙකින් සුණු විසුණුව යන්නට ඇති.

පිරිමි සිරුරක සැඟව ගත් ස්ත්‍රී හදවත දිවි නසාගන්නට තරම් සාහසික වූයේ කෙලෙසද?

“ඔයාගෙ යාළුවා දිවි නසාගත්තා කීවට මට හිතෙන්නෙ මේ සමාජය එයාව අමු අමුවේ මැරුවා කියලයි නංගියේ...” මම මහත් ශෝකයෙන් තොල් මතුලෙමි.

“කැම්පස් තේරිලා එයා කැම්පස් ගියෙත් නෑ. රැග් එකට බයේ. විද්‍යා පීඨ ගියේ ලොකුවට රැග් කරන එකක් නෑ කියලා. අන්තිම අවුරුද්දෙ ඉස්කෝලෙක උගන්නන්න ඕනිනේ.

මට නම් හිතෙන්නෙම අක්කෙ ළමයි එයාට විහිළු කරන්න ඇති කියලා... පීඩනය දරාගන්න බැරිම තැන එයා ඔය තීරණය ගන්න ඇත්තේ. අනේ අපරාදේ හොඳ මනුස්සයෙක්, දක්ෂ ගුරුවරයෙක් මේ රටට අහිමි වුණා...” සංජීවනී සුසුම් හෙළයි. විටින් විට නෙත‘ඟ නැඟි කඳුළු පිසියි.

“අපේ සමාජය හරිම පසුගාමියි. ඒ වගේම කෲරයි... වෙනස ඉවසන්න පිළිගන්න කැමති නෑ... සම්මතයට රාමුවට පිටින් යන ඕනම කෙනෙක් ඕනම දෙයක් කුඩුපට්ටම් කරලා දානකං අපේ මහා සමාජයට නින්ද යන්නෙ නෑ... වෙනස විවිධත්වය පිළිගන්න... වෙනසේ ලස්සන දකින්න.... මනුෂ්‍යත්වයට උරුම ගරුත්වයත්, ආදරයත් ලබා දෙන්න අපි තවම සූදානම් නෑ...”

පිරිමි දරුවන් ලෙස උපත ලබා ගැහැනු දරුවන් මෙන් හැසි‍ෙරන දරුවන් නිවසේදී මෙන්ම සමාජයේදී ද අපහාසට උපහාසයට හා විවිධ අඩන්තේට්ටම්වලට ලක්වීම ඛේදවාචකයක් නොවේද? සංක්‍රාන්ති ලිංගිකයන් මෙරට ජනගහනයෙන් සියයට පහක් පමණ සිටින බව කියැවේ. ඔවුන්ටද මනුෂ්‍යයන්ට හිමි සියලු අයිතිවාසිකම් ලැබිය යුතු නැද්ද..? අවමානයට ලක්වීමට ඔවුන් කළ වරද කුමක්ද? ගැබිනි හා මාතෘ සායනයේදී ද පාසලේ හා පන්සලේදී ද එලෙස ලිංගික විපර්යාසයට ලක්වන්නන් පිළිබඳව දැනුවත් කළ යුතුය. ඔවුන් ද අප වැනිම මනුෂ්‍යයන් බව පහදා දිය යුතුය.

ජාතිය, ආගම, කුලය මෙන්ම ලිංගය ද හේතුකොටගෙන කිසිවෙකු පීඩාවට ලක්විය යුතු නැති බව පහදා දෙන්නට අපේ ආගමික පූජකවරු හා භික්ෂුන් මැලිවන්නේ මක්නිසාද? සියලු සත්ත්වයන් නිදුක් වේවා යි දෙසා වදාරන ගරුතර සංඝරත්නය මිනිසුන් බෙදා වෙන්කිරීමට නොව ආදරයෙන්, දයාවෙන් එක්කිරීමට පෙරමුණ ගත යුතු බව අවධාරණය කරමු.

“සංජීවනී පුංචිගේ යාළුවා පව් නේද අම්මේ...” නිවුන් පුතාලා මගේ ඇ‍ඟේ දැවටෙති. “ඕගොල්ලොත් හොඳට මතක තියාගන්න කිසිම කෙනකුට ජාතිය, ආගම, කුලය, ලිංගය නිසාවෙන් විහිළු නොකර ඉන්න. පීඩාවට පත් නොකර ඉන්න” මගේ කොල්ලන් එක්රැස් කළ මම තිරසාර හඬින් අවවාද කළෙමි.

“ඒ වුණාට අම්මේ ඒ ගෑනු පිරිමි ළමයි දකිනකොට හිනා යනවනේ...” මද්දුගේ කතාව මගේ හද දවාලූ ගිනි පුළක් විය.

“ඒ ගොල්ලො වරදක් කරලා නෑ... ඒක හිතාමතා කරන දෙයක් නෙමේ. අනුකම්පාව නෙමේ එයාලට අවශ්‍ය ගරුත්වය... පිළිගැනීම... ආදරය... කරුණාව”

කොලුවාට දොස් පැවරීමෙන් පලක් නැතැයි සිතූ මම තවදුරටත් කරුණු කාරණා කියා ගෙන ගියෙමි. සමාජය වෙලාගත් දුර්මත හා සාහසිකත්වයෙන් දරුවන් මුදාගැන්ම පහසු නැත.

“සමනලයෙක් වගේ අහිංසක දරුවෙක් මැරිලා ගියා... අපි හැමෝම ඒ මරණයට වගකියන්න ඕන...” දසත සුවඳ විහිදුවා සුපුෂ්පිත විය හැකිව තිබූ සපු මලක ඛේදනීය අවසානය දෛවය හෝ ඉරණම හෝ කර්මය නොවේ. දුගඳ හමන පසුගාමී සමාජයක බිහිසුණු කෲරත්වය මිස අන් කුමක්ද? 


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
10 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.

Or log in with...