පින­වන්ට සවන් ඇසු­වන්ගෙ සොඳින් සංගීත සිංහල දීපේ | දිනමිණ

පින­වන්ට සවන් ඇසු­වන්ගෙ සොඳින් සංගීත සිංහල දීපේ

සුනිල් මිහිඳුකුල

චිත්‍රපටවල ආක්‍රමණය නිසා සිංහල නූර්ති නාටකය 1930 දී විතර අභාවයට ගියා. ඊට පස්සේ පෙන්නුවේ ටීටර්.

ජයමාන්නගේ මිනර්වා නාට්‍ය. සිරිසේන විමලවීරගේ නාට්‍ය ඒ ටීටර් ගණයට වැටෙනවා. ඔවුන් චිත්‍රපටකරණයට යොමුවීමත් සමඟම ඒ ටීටර් නාට්‍ය කලාවත් නැත්තටම නැතුව යනවා.

නූර්ති නාටක සාමාන්‍යයෙන් හැඳින්විය හැක්කේ ‘සංගීත නාටක’ වශයෙන්. එහි ගී රැසක් ඇතුළත් වුණා. ඇත්තටම නූර්තිවල ජනප්‍රියත්වයට බෙහෙවින්ම බලපෑවේ ගීත. ඒවා හින්දුස්ථානි රාගධාරි සංගීතයට අනුව නිපදවුණු මධුර, මනෝහර තනු. විශ්වනාථ ලව්ජි සංගීතවත් කළ ‘දන්නෝ බුදුන්ගේ’ ගීතය මෙයට හොඳ උදාහරණයක්. ඒවා අදත් අපේ රසිකයන්ගේ භාව ස්මෘතියේ රැඳී තිබෙනවා.

ජෝන් ද සිල්වාගේ නාටකවලට සංගීත නිර්මාණය කළේ ලව්ජි. සිල්වා උන්නැහේට ඔහුව මුණගැසී ඇත්තේ කොළඹ දී අහම්බෙන්. ලව්ජි බ්‍රහ්මණ තරුණයෙක්. ඔහු නිර්මාණය කළ ‘දන්නෝ බුදුන්ගේ’ ගීතය එහි ඇති නිසඟ සංගීතමය හා කාව්‍යමය උත්කෘෂ්ටභාවය නිසාම දේශ දේශාන්තරවල පවා සංගීත ප්‍රවීණයන්ගේ ගෞරවාදරය දිනාගෙන තිබෙන බව විල්මට් පී. විජේතුංග පවසනවා. විල්මට්, නුර්ති නාටක සංගීතය ගැන පර්යේෂණ කරපු විද්වතෙක්.

‘ශ්‍රී වික්‍රම’, ‘රාමායනය’, ‘රත්නාවලී’, ‘සකුන්තලා’ යන ජෝන් ද සිල්වාගේ සෙසු නාටකවලත් සංගීතය ලව්ජිගේ.

ලව්ජිට පසු ඛාන් ජී ජටා ශංකර්, අමීර් අලි, අබ්දුල් අසීස් යන අය ජෝන් ද සිල්වාගේ නාටකවලට සංගීතය සැපයුවා. මෙයින් ජටා ශංකර් ලව්ජිගේම ඥාතියෙක්.

ජෝන් ද සිල්වාගේ නාට්‍යවල ආ ගී අදටත් ජනප්‍රියයි. ‘පිනවන්ට සවන්‘, ‘දන්න වංහුං’, ‘වාසනා දිනේකි මේක’, ‘දැන් යමව් සන්තොසින්’ (ශ්‍රී වික්‍රම) ‘ශ්‍රියා මනමත් වී’, ‘අඹදඹ නාරං’, ‘පායන මේ බැද්දේ තාරුපති’, ‘බන්දා මා දෙත්දෝ’, ‘පියාණෝ’ (රාමායනය), ‘ඇයි තරහෙන් මාන්නකාරී’ (රත්නාවලී), ‘ගුම් නාදේ දෙන බඹර‍ගෙ දොයිනා’ (ශකුන්තලා) ඊට උදාහරණ.

සමහර නූර්ති නාට්‍යවලට සංගීතය සපයලා තියෙන්නේ තනි ශිල්පියෙක් නෙමෙයි. ශිල්පීන් කීපදෙනෙක්. ඒ නිසා ඒ ඒ ගී තනුවල කර්තෘත්වය කාගේදැයි සෙවීම ලේසි නැහැ. උදාහරණ වශයෙන් ‘වෙස්සන්තර’ නාටකයට මොහොමඩ් ගවුස්, අමීර් ඛාන්, කේ. ඩී. ජෝර්ජ් යන තිදෙනාම සංගීතය නිර්මාණය කර තිබෙනවා. ‍(මේ මොහොමඩ් ගවුස් ‘අශෝකමාලාවට’ සංගීතය සැපයූ ගවුස් නෙමේ.)

ඒ අනුව එහි ආ ‘මගෙ මද්‍රි නම් බිසෝගේ’, ‘අද වෙස්සන්තර රාජ පුතා’ වැනි වි‍ශිෂ්ට ගී කාගේ තනුදැයි කියන්ට බැහැ. බොහෝවිට ඒවා ගවුස් මාස්ටර්ගේ වෙන්න පුළුවන්. ඒ වගේම නොවෙන්නත් පුළුවන්. ‘දුටුගැමුණු’ නාට්‍යයේ වුණත් එහෙමයි. එහි සංගීතය අබ්දුල් අසිස් හා අමීර් ඛාන්ගේ. එහි එන ‘සුවඳ පද්ම ඕළු ආදී’ මධුර ගීවල තනු මේ දෙදෙනාගෙන් කාගේදැයි නිශ්චිත නැහැ.

චාල්ස් ඩයස් ද ජෝන් ද සිල්වාගේ සමකාලීනයෙක්. ඔහුගේ ගී ජෝන් ද සිල්වා ලියූ ගී තරම්ම විශිෂ්ට හා ජනප්‍රිය නැතිවුණාට අතරින් පතරින් හොඳ නිර්මාණ කීපයක් හොයාගන්න පුළුවන්. ‘දැක්කොත් පද්මාවතී‘, ‘පෙම්බර දේවි මගේ පණ හා සරී‘ (පද්මාවතී), ‘මෙම ගිම්හාන ග්‍රීෂ්ම වූ කාලේ‘ (විධුර ජාතක දෘශ්‍ය කාව්‍ය), ‘ලෝනා මුනිරාජගේ ශ්‍රී දළදා පෙන්වමි‘ (හේමමාලි) ඊට නිදර්ශන කීපයක්.

සදාලාල් මගන්ලාල්, මෝහන්ලාල් බලදේව, ආම්ටාලාල්, සුල්තාන් බක්ස්, අබ්දුල් සතාර්, නවාබ් ඛාන් ආදීන් නූර්තිවලට සංගීතය සැපයීම සඳහා උතුරු ඉන්දියාවෙන් මෙරටට ගෙන්වූ සංගීතඥයන් කීපදෙනෙක්.

මේ හුඟක් සංගීත ශිල්පීන් නැවතිලා හිටියේ මරදාන හා ඒ අවට. ඔවුන්ගෙන් සංගීතය ඉගෙන ගත් ශ්‍රී ලාංකිකයන් කීපදෙනෙක්ම පසුව දක්ෂ හින්දුස්ථානි සංගීතකාර‍යෝ වුණා.

මරදානේ සංගීත කාමර සම්ප්‍රදාය පටන් ගත්තේ ඔවුන්ගෙන්. ජේ. සාදිරිස් සිල්වා (ෂෙල්ටන් ප්‍රේමරත්නගේ පියා), එච්. දොන් වින්සන්ට්, යූ. ඩී. පෙරේරා, ජේ. ඒ. එඩ්වින් පෙරේරා හෙවත් තබ්ලා පොඩි අප්පුහාමි (ජේ. ඒ. මිල්ටන් පෙරේරාගේ පියා), බී. එච්. ද සිල්වා (එඩී ජූනියර්ගේ පියා), එච්. ඩබ්ලිව්. රූපසිංහ මාස්ටර් මේ සම්ප්‍රදායේ පුරෝගාමියෝ. ඔවුන් සාජ්ජ පැවැත්වූවා. බජව්වලට සම්බන්ධ වුණා. ෆුට්බැලේ සර්පිනාව, තබ්ලා, වයලීනය, ඔවුන්ගේ සංගීත භාණ්ඩ. එම්. කේ. වින්සන්ට් ඉංග්‍රීසි මැන්ඩලීනය වාදනය කළා. තබ්ලාවලට දෙන්නෙක් හිටියා.

පොඩි අමරදාසයි, ලොකු අමරදාසයි කියලා.

මොවුන් ගුරකොට ගත්තේ උත්තර භාරතීය රාගධාරී සංගීතය නිසා මේ සාජ්ජවලින් සංගීතය පිරිහුණාය කියලා කාටවත් කියන්න බැහැ. ඒ සම්ප්‍රදාය ඉදිරියට නොගියේ ඇයිද කියලා නම් කියන්න මං දන්නේ නැහැ.

පැරණි ටවර් හෝල් නාටක ගී සංග්‍රහයක් දැන් පළව තිබෙනවා. ඒ. ජී. එච්. ස්ටැන්ලි පෙරේරාගේ ‘සතක සත්සර ටවර් ගී සරණිය.’ ජෝන් ද සිල්වා (දුටුගැමුණු, සිරිසඟබෝ) චාල්ස් ඩයස් (‘පද්මාවති‘, ‘ධර්මාශෝක‘) සිරිසේන විමලවීරගේ රොඩී කෙල්ල වැනි නාට්‍යවල ගී මෙයට ඇතුළත්. විමලවීරගේ නාට්‍ය ද සම්පූර්ණයෙන්ම නූර්ති ද, නොඑසේ නම් ටීටර් ද යන්න ප්‍රශ්නයක්. ටීටර් නූර්තියට වඩා වෙනස්. එහි කතා කලාව චිත්‍රපටවල එන ආකෘතියට බෙහෙවින් සමාන වන්නක්. 


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...