බස්නාහිර ප්‍රයිවෙට් බස්වල ප්‍රවේශපත් හෙට සිට අනිවාර්යයි | දිනමිණ

බස්නාහිර ප්‍රයිවෙට් බස්වල ප්‍රවේශපත් හෙට සිට අනිවාර්යයි

 බස්නාහිර පළාතේ සියලුම පෞද්ගලික බස්රථවල ප්‍රවේශපත්‍ර නිකුත් කිරීම හෙට (15) සිට අනිවාර්ය කෙරෙන අතර ප්‍රවේශපත්‍ර ලබාගැනීම මගීන්ටද අනිවාර්ය බව බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ සභාපති දේශබන්ධු තුසිත කුලරත්න මහතා පැවසීය. ප්‍රවේශපත් ලබානොදී අසුවන කොන්දොස්තරවරුන්ට පළමු වතාවේ රුපියල් 250ක් දෙවැනිවර අසුවුවහොත් රුපියල් 500ක් හා තුන්වැනිවර අසුවුවහොත් 1000ක් දඩමුදල් වශයෙන් අයකරන අතර ප්‍රවේශපත් නොමැතිව ගමන් කරන මගීන්ට රුපියල් 100ක් ගමන් ගාස්තුව මෙන් දෙගුණයක් අයකරන බව සභාපතිවරයා කීය.

සභපතිවරයා මේ අදහස් පළකළේ බත්තරමුල්ලේ පිහිටි බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ පැවති මාධ්‍ය සාකච්ඡාවේදීය.

බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ 12 වැනි සභාපතිවරයා වන කුලරත්න මහතා සභාපති ධූරයට පත්වීමෙන් පසු පැවැත්වු ප්‍රථම මාධ්‍ය සාකච්ඡාව මෙයයි.

දැනට පවතින නීතිමය රාමුව යටතේ බස්නාහිර පළා‍තේ මගී ජනතාවට විධිමත් ශක්තිමත් හොඳ ප්‍රවාහන සේවාවක් ලබාදීම සඳහා ගතයුතු සෑම ක්‍රියාමාර්ගයක්ම ගන්නා බවත් එසේ කිරීමේදී බස් හිමියාට බස් කොන්දොස්තර හෝ රියැදුරුට කිසිදු අසාධාරණයක් සිදු වීමට ඉඩ නොතබන බවත්, සභාපතිවරයා කීය. එසේම අධිකාරියේ සේවක මණ්ඩලවලට කිසිදු ගැටලුවක් ඇතිවීමට ඉඩ නොතබන බවද කුලරත්න මහතා කීය.බස් කාලසටහන් ක්‍රමය දැනට වඩා විධිමත් කිරීමට කවයුතු කරන අතර උදේ සිට රාත්‍රි බස් සේවා දක්වා ක්‍රියාත්මක කරන බවත්, කුලරත්න මහතා කිය.

දැනට පවත්වාගෙන යන සුඛෝපභෝගි සේවා , ග්‍රාමිය ප්‍රධාන නගර හරහා යන ග්‍රාමිය සේවා දැනට වඩා විධිමත් කරන අතර අලුතින් නව සේවා ඇරැඹිය යුතු මාර්ග පිළිබඳව සමීක්ෂණයක් කර නව සේවා අරඹන බවත් ඒ මහතා සඳහන් කළේය. බස්නාහිර පළාත් සංවර්ධන අධිකාරිය නගර සභාව මාර්ග සංවර්ධන අධිකාරිය, හා බස්නාහිර පළාත් මාර්ගස්ථ මගි ප්‍රවාහන අධිකාරිය සමඟ එක්ව කොළඹ නගරයේ පවතින අධික මාර්ග තදබදය අවම කිරීමට පියවර ගන්නා බවත්, සභාපතිවරයා කීය.

පෙරගෙවුම් කාඩ්පත් ක්‍රමය පිළිබඳව අධ්‍යයනයක් කරගෙන යන බවත්, මත්පැන් පානය කර බස් ධාවනය කරන රියැදුරන්ට විරුද්ධව කටයුතු කිරීමට කිසිදු පැකිලිමක් නොව න බවද, සභාපතිවරයා කීය.

ත්‍රිරෝද රථ සේවාව විධිමත් කිරීමට හා ත්‍රිරෝද රථ රියැදුරන්ට ගෞරවනීය ලෙස සේවය කිරීමට හැකි වටාපිටාවක් සලසන බවත්, ඒ මහතා කීය.

මගී ප්‍රවාහන අධිකාරියේ සාමාන්‍යාධිකාරි ජගත් පෙරේරා මහතාද මේ අවස්ථාව‍ට සහභාගි විය. 

අදහස් 1ක් ඇත

නව අදහස දක්වන්න