මොරටුවේ සන්නාලිය ධම්මි ප්‍රියංගනී

මදාරා මුද­ලිගේ

මොරටුවේ පදිංචි ධම්මි ප්‍රියංගිකා, තම දරු පවුලට තිබෙන දැඩි ඇල්ම නිසා තෝරා ගත්තේ, නිවෙසේ සිට කළ හැකි ස්වයං රැකියාවකි. ඇය, තමා ජීවිකාව පවත්වාගෙන යන ඒ වෘත්තිය පිළිබඳ පවසන්නේ, සිත තුළ උපන් සංතෝෂයකිනි.

“මම අවුරුදු 07 ඉඳන් තමයි මහන්න ඉගෙන ගත්තේ. ඒ කාලෙ මම තනියම තමයි මගේ පාසල් නිළ ඇඳුමත් මසා ගත්තේ. පුංචි සන්ධියේ ඉඳන් ම, මැහුම් කලාවට මම පේම් බැන්දා. මට මගේ ස්වයං රැකියාව ගොඩනගාගෙන ඉදිරියට එන්න බෙහෙවින්ම අතහිත දුන්නේ, මොරටුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ කාන්තා කාර්යාංශයෙන්. මම මැහුම් පිළිබඳ ඩිප්ලෝමා පාඨමාලාවක් හැදෑරුවා. ඉන් අනතුරුව පාවහන් නිෂ්පාදනය පිළිබඳත් මම හැදෑරුවා. මම රූපලාවන්‍ය ඉගෙන ගත්තේ එන්.වී.කිව් මට්ටම වෙනකම්. මම මට පුළුවන් හැමදේම ඉගෙනගෙන තමයි මේ නිෂ්පාදන කරන්න පෙලඹුණේ.

මම නිෂ්පාදනය කරන්නේ අවුරුදු 3-4 ඉඳන් වැඩිහිටියන් දක්වා කාන්තා ඇඳුම් සහ පාවහන්. ඊට අමතරව අවුරුදු 12 වයස්වල ගැහැනු ළමයින්ට ගවුම් මහනවා. ඇඳුම් මහන්නයි, පාවහන් හදන්නයි යන සෑම අමුද්‍රව්‍යයක්ම ගෙන එන්නේ පිටකොටුවෙන්. එහිදී අපට බොහොමලාබෙට අමුද්‍රව්‍ය ගන්න පුළුවන්.”

මීට අවුරදු 15කට පෙර ස්වයං රැකියාව පටන් ගත් ධම්මි, දවසින් දවස ප්‍රාර්ථනා කරන්නේ තම පාරිභෝගිකයන්ගේ සිතට කාවදින පරිදි තම ඇඳුම් සහ පාවහන් නිර්මාණය කිරීමට ය. එමඟින් ඇය ආත්ම තෘප්තියක් ලබනවා මෙන් ම, පාරිභෝගිකයාට සුදුසු, ඔවුන්ගේ අත මිට ගැවසෙන මුදලට සරිලන පරිදි මේ නිෂ්පාදන සිදු කරයි.

“ඉස්සර මම තමයි තනියම ඇඳුම් නිර්මාණ කටයුතු කළේ. දැන් මගේ දුව ටිකක් ලොකු නිසා, එයාවත් එකතු කරගෙන, අපි දෙන්නම එක්ක තමයි මේ රෙදිපිළි නිර්මාණය කරන්නේ.”

වර්තමානයේ සිටින බොහෝ මවුපියන් උත්සාහ කරන්නේ, තම දරුවන් සමාජයේ ප්‍රකට පුද්ගලයන් කිරීමට ය. එහෙත් ධම්මිගේ අරමුණ වන්නේ, දියණියත් සමඟ තම ස්වයං රැකියාව දියුණු කිරීමට ය.

“මගේ සැමියා මට ඉස්සර ඉඳන්ම උදවු කරනවා. දියණිය හැරුණහම මගේ පුතා මගේ වැඩවලට නිතරම උදවු කරනවා. ඒ සෑම දෙනාගේ ම උදවු නිසා, අද මම ස්ථාවර තත්ත්වයකට පත්වෙලා තියෙනවා.”

සාමය, සමඟිය සහ සතුට නිරතුරුවම රැඳුණු පවුලක එක ම උරුමක්කාරිය වන්නේ, එම නිවෙසේ මව ය. ධම්මි වර්තමානය ගත කරන්නේ තම පවුලෙන් ලැබිය හැකි උපරිම ආදරයත්, සහයෝගයත් ලැබූ වාසනාවන්තියක ලෙසිනි.

“අපි මහන රෙදිපිළි සහ පාවහන් කඩවලට දානවා. මම අවුරුදු 05 ක් නොවිදිමත් අධ්‍යාපනයේ ළමයින්ට මහන්න ඉගැන්වූවා. ඉන් පසුව පෞද්ගලික රූපලාවන්‍ය පන්ති පැවැත්වූවා.”

තමා කුඩා කල සිට ම රුචියක් දැක්වූ ක්ෂේත්‍රයට පෙම්බැදි ධම්මි, එතැනින් නැවතුණේ නැත. ඉන් අනතුරුව ඇය තම උගත් දැනුම අන්‍යයන්ට ‍බෙදා දුන්නේ සතුටු සිතිනි.

ධෛර්යවන්තව, නොපසුබස්නා උත්සාහය පෙරදැරිව සිය වෘත්තියෙන් ඉදිරියටම ගිය ධම්මි වැනි යුවතියක් වීමට, ඔබටත් හැකි ය. ඊට අවැසි වන්නේ, තමාට හැකි ක්ෂේත්‍රය තෝරාගෙන, උනන්දුවෙන් සහ උත්සාහයෙන් යුතුව, බාධක කම්කටොළු බිඳගෙන, නොපසුබස්නා වීර්යයෙන් යුතුව කටයුතු කිරීම පමණකි.

 


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.

Or log in with...