තේජවන්ත මිනිසකුට සෙවණ සැදූ මඩුවන්වෙල වලව්ව

ඉරෝ­ෂිණී දීපිකා

ලා කහ පැහැ සේල ඔතා, නුබ කුස දෙස දෑස් දල්වා බලා සිටින තල මල් ගොන්න, කොලොන්න ප්‍රදේශය කලඑළි කරමින් ඇත. ඇරපෝරුව හා බුළුතොට යන ගංගා නිල් දිය රැලි නංවමින්, ගහකොළ නිලට හරවමින් ගලා බසින්නේ, අතීතයේ ශ්‍රී විභූතිය නැවත නැවතත් සිහි කැඳවමිනි. ඒ අතරේ, මුකුළු සිනහා නංවමින් හෝ හඬ නගා ගලා බස්නා දූලි ඇල්ලේ ගීතවත් රාවය මදින් මද ඇසේ. එපමණකුදු නොව, ගොන්නංඇල්ල, නෙරළුඇල්ල එක්ව, කොලොන්න ප්‍රදේශයට තව තවත් සුන්දරත්වය එක් කරමින් ඇත. එසේ ම මඩුවන්වෙල වලව්ව ද, සුළඟ සමඟ වෙලී, සිසිල් දිය රැලි නංවමින්, මුළු පෙදෙසටම සිසිලසක් එක් කරමින් සිටී.

බුළුතොට හෙල්වැටියේ ශේෂ කඳු තුළ, මුහුදු මට්ටමින් අඩි 913කට උසින් පිහිටි, වවුල්පනේ හුණුගල් ගුහාව අවුරුදු මිලියන 500ක් පමණ අතීතය පිළිබඳ සාක්ෂ්‍ය සපයමින් සි‍ටී. මේ සියලු සොඳුරු දසුන් අතරේ, තේජවන්ත, ප්‍රතාපවත් බව විදහාලන, සුදු පාලන සමයේ විසූ මඩුවන්වෙල දිසාවේගේ වලව්ව, කොලොන්නේ අභිමානය හඬගා කියමින් සිටී.

මේ වලව්ව පිහිටා ඇත්තේ, සබරගමු පළාතේ රත්නපුර දිස්ත්‍රික්කයේ කොලොන්න ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ ය. එහි යන ඔබ, ඇඹිලිපිටියට ගොස්, සුරියකන්ද මහා මාර්ගයේ මාර්ගයේ ගමන් කළ යුතු ය. එහි ගොස්, 14 වැනි සැතැපුම් කණුව ආසන්නයේ දී ඔබට රමණීය පරිසරයක පිහිටි මඩුවන්වෙල වලව්ව දැකගත හැකි ය. මේ වලව්ව, අක්කර 20 ක පමණ බිම් පෙතක් තුළ පිහිටා තිබේ.

මහ මඟ සිට වලව් බිමට පිවිසෙන ස්ථානයේ පිහිටා ඇති පිවිසුම් දොරටුවෙන් ඇතුළු වී, බිම් කඩ මත රැඳී සෙවන සදන රූක්ෂ තුරුවල සිසිල් සුව විඳිමින්, ගහ කොළවලින් පිරි භූමියේ සුන්දරත්වය විඳිමින් ඉදිරියටම යනවිට, විහඟ කූජනයේ මිහිර විඳ ගැනීමට හැකිවේ. මේ සියලු දසුන්, වලව් බිම අවට සුන්දරත්වය තීව්‍ර කිරීමට සමත් ය. ඉදිරියටම යන ඔබට, ලා කොළ පැහැයෙන් විචිත්‍රවත් වූ, වලව් ගොඩනැගිල්ල දුරට දැකගත හැකි ය.

අනතුරුව, වලව්වට ඇතුළු වන්නට සකසා ඇති ඇතුළු වන දොරටුව දැක ගැනීමට හැකි ය. එය, ගල් උළුවස්ස ලෙස හඳුන්වයි. මෙහි, මකර තොරණක හැඩය ගත් ගල් ආරුක්කුවකි. එය මනරම් ලියවැලින් අලංකෘතව ඇත. මෙහි දෙපස කැටයම් කළ නෙළුම් පොහොට්ටු දෙකකි. මේ ගල් උළුවස්ස, එතරම් උස නොවූ එකක් වන අතර, එයට හේතුව මඩුවන්වෙල දිසාවේ එතරම් උස මහත පුද්ගලයකු නොවීම බව පැවසේ. එසේ ම, එවකට ඔහු හමුවට පැමිණි සුදු මහතුන් අසු පිටින් පැමිණෙනවිට, එහි තම හිස වැදේ ය යන බිය නිසා, එම ස්ථානයේදී හිස නමයි. මෙය මෙසේ සකසා ඇත්තේ, ඔවුන් නොදැනුවත්වම ඔහුට ගෞරව කර පැමිණෙන අයුරක් විද්‍යමාන වන ලෙසට ය. එබැවින් මෙය, දිසාවේ විසින් හිතාමතාම කළ දෙයක් ලෙස හැඳින්විය හැකි ය.

මඩුවන්වෙල වලව්ව පවුරු තුනකින් අලංකාරවී ඇත. එහි පිටත පවුර ශක්තිමත් කළු ගලින් නිමවා තිබේ. මෙහි ඇතුළු පවුර 'පහන්පවුර' නම් වේ. එහි අලංකාර පහන් කුටි රැසකි. එකල වලව්වට ආලෝකය ලබා ගැනීම සඳහා මෙහි පහන් දල්වා තිබෙන්නට ඇතැයි සැලකේ. එය එක්තරා ආකාරයක විස්මිත නිර්මාණයක් බවට ද හඳුනාගත හැකි ය.

එම ස්ථානයෙන් වලව්වට ඇතුළු වනවිට දැකිය හැක්කේ උසට වැඩුණු බෝධියකි. එය, වලව්වට ගෙන එන්නේ අමුතුම සිසිලසකි. මෙහි මිදුලේ නිර්මාණය කර ඇති වතුර මල මෙන් ම එය පිහිටි ජල තටාකය ද වලව් මිදුලට ගෙන එන්නේ සොඳුරු බවකි. එම බෝධියෙන් සෙවණ ලැබෙන්නේ වලව්වේ පිරිත් මණ්ඩපය ලෙස භාවිත වූ, ඉදිරිපසින් ම පිහිටා ඇති මණ්ඩපයට ය.

මේ වලව්ව, එක්තරා ආකාරයකින් ගත්විට අපූර්ව ගෘහ නිර්මාණ සැලසුමකි. 1930 දශකය වනවිට මේ වලව්වේ කාමර 121ක් හා මැද මිදුල්21ක් තිබී ඇත. එහෙත් අද වනවිට ශේෂ වී ඇත්තේ ඉන් කාමර 43ක් හා මැද මිදුල් 7ක් පමණකි. මේ වලව්ව නිමවා ඇත්තේ අඩි 3ක් පමණ උස් වූ ශක්තිමත් කළු ගල් වේදිකාවක් මත ය. මෙයට ඇතුළු වීම සඳහා දොරටු තුනක් ඇත. එහි පියගැට පෙළ පාමුලින්, අලි, ඇත් රූපවලින් යුතු සඳකඩපහණ දැකිය හැකි ය. එහි පිහිටි ප්‍රධාන දොරටුවෙන් ඇතුළු වීමෙන් පසුව, මහ බංගලාව නමැති ආලින්දයට පිවිසිය හැකි ය.

එයට ප්‍රවිශ්ට වූ විට, මඩුවන්වෙල දිසාවගේ ඡායාරූපයකි. එම රූපය දෙස කොයි පැත්තක සිට බැලුව ද, ඔහුගේ ජීවමාන ස්වරූපය විද්‍යමාන වේ. මේ ඡායාරූපයේ රාමුව නිර්මාණය කිරීමට, සියඹලා හා කනමැදිරිය ගස්වල අරටුව භාවිත කර ඇති අතර, එහි සියුම් කැටයම් දක්නට ලැබේ. එසේ ම, බොරදම් , අලංකාර ලියවැල් සහ කුඩා තොරණක් ද මේ රාමුවට අයත්ව ඇත. මේ ඡායාරූපයට පසෙකට වන්නට ඔහුගේ බිරිය වු කලවානේ කුමාරිහාමිගේ ඡායාරූපයකි. මහ බංගලාව නමින් හැඳින්වෙන කාමරයේ කළු ගලින් කළ පැන්තාලියක් , පුටුවක්, කැසිකිලි ගලක්, ගව හිසක් හා නාන කාමරයක සුන්බුන් දැකිය හැකි ය.

මේ ශාලාව අසලම පිහිටා ඇත්තේ පුංචි බංගලාව නමැති ශාලාව ය. එයට සවිකර ඇත්තේ, කටුවන ලන්දේසි බලකොටුවට පහරදී රැගෙන ආ දොර උළුවස්ස ය. මෙහි උළුවහු කඳන්වල බොරදම් නිර්මාණය කර තිබේ. දොර තනි කොස් ලීයෙන් නිමවා ඇත. පුංචි බංගලාව, එවකට රැස්වීම් ශාලාවක් ලෙස භාවිත කර තිබේ. මෙහි ඉස්තෝප්පුවල පිහිටි ලී කුලුනු,මහනුවර යුගයේ කැටයම් හා සමාන බවක් දක්නට ලැබේ.

වලව් බිමේ මැද මිදුල් කිහිපයකි. ඒවාට මනාව හිරු ආලෝකය ලැබෙන පරිදි පිහිටුවා තිබී ඇත. වලව්වේ වෙසෙන සේවක සේවකාදීන් විවේක අවස්ථාවල මේ මිදුල් අසල සිට, කතාබස් කරන්නට ඇතැයි සැලකේ. මේ වලව්ව තුළ අමුත්තන් සඳහා පළිඟු කැඩපතක් සවි කර තිබු ස්ථානයක් ද දැකිය හැකි අතර, මැද මිදුල් වටවී ඇති ඉස්තෝප්පු බිමේ, පිඟන් කටු ගල්වා සරසා, බිමට අලංකාර බවක් එක්කර ඇත.

මඩුවන්වෙල දිසාවේගේ සයනාගාරයේ සිට උළුවස්සෙන් එළියට එනවිට ම, වික්ටෝරියා රැජනගේ රූපය හා ඉංග්‍රීසි ලාංඡනය වන රන් පවුම, තම පයට පෑගෙන ලෙස සකස් කර ඇත. එය එක්තරා ආකාරයකට, එදවස සිටි සුදු පාලකයන්, මහ රැජන වැන්නන්, තමා ප්‍රතික්ෂේප කරන බව මෙන් ම, තමා නියම සිංහල හදවතක් ඇත්තකු බව පෙන්වීමේ කැඩපතක් බඳු ය. මේ කාමරය පිහිටා ඇති කොටසේ, සතර වටේටම අගුළු දැමිය හැකි ලෙස, මැද මිදුලක් අයිනේ වු ආලින්දයක් ආකාරයට පිහිටා තිබේ . එහි බිම මැද රන් පවුම් හා මැණික් ඔබ්බවා තිබී ඇත. මේ නිවෙසේ පිරිත් මණ්ඩපය පිහිටි ස්ථානයේ මෙන් ම, තැනින් තැන මෙවැනි නිර්මාණ සකස් කර ඇත. එය මේ වලව්වට එක් කරන්නේ අපූර්ව චමත්කාරයකි.

මෙහි ඇති කාමර අතර, බුරුත මාලිගය නමැති කාමරය වැදගත් ස්ථානයකි. එයට හේතුව එය මුළුමනින්ම බුරුත ලීයෙන් සකසා තිබී ම ය. එසේ ම, ඇත්දත් ඇණ අල්වා,කළුවර ලීස්තර කැටයමින් සරසා ජනෙල්වලට වීදුරු සවි කර තිබේ. තමා හමුවට නිතර පැමිනෙන සුදු නිලධාරින් සමඟ කතාබස් කිරීම සඳහා මේ කාමරය භාවිත කර ඇත.

වලව්වේ ඇති බුරුත ලී සොල්දර තට්ටුව යටට වන්නට පිහිටි කාමරය සැකසීමේදී, එහි බිත්තිවලට මිනිරම් කපරාරු කර, හුණු පිරියම් කර සකසා ඇත. එලෙස සකසා ඇත්තේ, ඒ තුළ සිසිලසක් ඇති කිරීම සඳහා ය. මේ කාමරය, මේ ආකාරයට නිර්මාණය කර තිබෙන්නේ, ශිත දේශගුණයට හුරු වූ සුදු නිලධාරීන්ගේ සුව පහසුව පිණිස බව සඳහන් වේ.

වලව්වේ ඇති කොරිඩෝව, අමුත්තන් පිළිගැනීමේ ශාලාව ලෙස භාවිත වී තිබේ. නිල් වීදුරු කවුළු, මෙහි අනෙක් ස්ථානවල මෙන් බිමට යෙදූ පිඟන් කටු සැරසිලි,රන් පවුම් හා වටිනා මැණික් එබ්බවු ලාංඡන,පිඟන් කටුවලින් නිර්මාණය කළ ,මකර ,අලි සහ නෙළුම් මල් රූප, මේ කොරිඩෝවට එක් කරන්නේ අපූර්ව චමත්කාරයකි. එසේ ම මෙහි ඇති තවත් වැදගත් අංගයක් ලෙස, වික්ටෝරියා රැජනගේ පින්තූරය සහිත පිඟන් කටු බිමට අතුරා තිබීම සඳහන් කළ හැකි ය.

මඩුවන්වෙල දිසාවේ හට කලාකාමී වින්දනය ලබනු වස් සැකසූ 'දික් ගෙයි නැටුම් කාමරය', වලව්වේ පිහිටා ඇති තවත් අපුරු ස්ථානයකි . එම කාමරය ළඟින් ම පිහිටා තිබෙන්නේ, තමා හමුවට පැමිණෙන ඉංග්‍රීසි ප්‍රභූන්සමඟ ක්‍රීඩා කිරීමට සැකසූ 'බිලියඩ් කාමරය' ය.

මෙහි, විසු රදළ පිරිසගේ කෑම කාමරය, මුළුතැන්ගෙය වැනි ස්ථාන වලව්වේ මැද හරියට යනවිට දැකිය හැකි ය. අලුත් බුදු මැදුර , පැරැණි බුදු මැදුර, තිඹිරිගෙය, ගබඩා කාමර, ධාන්‍ය කාමර වැනි බොහෝ කාමර ද, මේ වනවිට ශේෂ වී ඇති කාමර අතර දැකිය හැකි ය. මේ ස්ථානයේ , නඩු ඇසීමේ කාමරයක් ද ඇත. මහ බංගලාව අසලින් නඩු ශාලාවට යාමට කොරිඩෝවක් පිහිටා තිබේ.

මේ වලව්වේ වහලයට උළු වර්ග කිහිපයක් ‍යොදාගෙන ඇත. නුවර යුගයේ පෙති උළු, නඩු ශාලාව හා මුළුතැන් ගේ කොටසක පමණක් සිංහල ගැමි උළු සෙවිලි කර ඇත. එසේ ම, මෙහි මැද මිදුල්වලට හා වලව් වත්තට එකතු වන සියලු ම වතුර, මඩුවන්වෙල වැව දක්වා යැවෙන ජලවහන පද්ධතියක් තබුණු බවට සාක්ෂි අදටත් ශේෂව පවතී. මේ වලව්ව තුළ, රජ මැදුරක මෙන්, රහස් කුන්ඩ හා කුරුබිලි ද දැකිය හැකි ය.

වලව්වට ජලය සැපැයූ සිසිල් ජලය පිරි ළිඳ මෙන් ම, වසර සිය ගණනක් පැරැණි කුඹුක්, කොහොඹ, හික් වැනි ගස් ද මේ බිමට එක් කරන්නේ අපූර්ව චමත්කාරයකි. වර්තමානය වනවිට දෙස් විදෙස් සංචාරකයන්ගේ ආකර්ෂණය දිනූ මෙබිම තුළ, අකාලයේ මියගිය සිය දියණියගේ සොහොන් කොත ද දැකිය හැකි ය. මඩුවන්වෙල දිසාවේගේ මරණයෙන් පසු මේ බුදලය උරුමක්කාරයා වූයේ, දිසාවේගේ සොහොයුරකුගේ පුත්‍රයා වු, ව්‍යවස්ථාදායක සභාවේ හා ප්‍රථම පාර්ලිමේන්තුවේ කථානායක වූ සර් ප්‍රැන්සිස් මොලමුරේ මහතාට ය.

අනතුරුව එතුමාගේ මරණින් පසු, ඔහුගේ දියණිය සීතා මොලමුරේ මැතිනියට මෙය හිමි විය. එහෙත් 1964 වසරේදී මඩුවන්වෙල වලව්ව හා එයට අයත් නින්ද ගම් රජයට පවරා ගැණුනි. 1972 වසරේදී මඩුවන්වෙල වලව්ව පුරා විද්‍යා දෙපාර්තමේන්තුව භාරයට ගත් අතර, මේ වනවිට මෙරට ශේෂව ඇති වලව් අතරින් වැඩි ම ජනතා ආකර්ෂණය ලද මෙන් ම, ඕනෑම කෙනකුට නැරැඹිය හැකි වලව්වක් ලෙස ද මෙය හැඳින්විය හැකි ය.

එමෙන්ම , පනාමුරේ වැනි ස්ථාන නරඹා, මඩුවන්වෙල ප්‍රදේශයේ ඇති ආකර්ෂණීය ඉසව් නැරැඹීමට අදහස් කරන ඔබට, මඩුවන්වෙල වලව්ව යනු, ජීවිත කාලයේදී නැරැඹිය යුතු අනගිතම ස්ථානයකි.

 

ඡායාරූප අන්තර්ජාලයෙනි

 


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
5 + 6 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.

Or log in with...